Pages

Tuesday, May 27, 2014

දියමන්ති ගැන දැනගන්න




දියමන්ති ගැන අහපු නැති කෙනෙක් හිටියොත් ඒ බොහෝ කලාතුරකින්. දියමන්ති ගැන සාමාන්‍ය වශයෙන් අපි දන්නේ මොනවද? ගොඩක් අය කියයි දියමන්ති වල වටිනාකම ඉහලයි කියල. සමහර විට කෙනෙක් කියයි දියමන්ති වීදුරු කැපීම වගේ කටයුතු වලට යොදාගන්නවා කියලා. ඒ දියමන්ති වල තියෙන අසාමාන්‍ය දැඩි බව නිසා. දියමන්ති කියන්නේ කාබන් මූලද්‍රව්‍යයේ තවත් එක් ආකාරයක් බවත් සාමාන්‍ය දැනුමෙන් ගොඩ දෙනෙක් දන්නවා ඇති.
                      
 
  දැලි කුඩු හා මිනිරන් කියන්නෙත් කාබන් වලම තවත් ආකාර දෙකක්. නමුත් දියමන්ති වල මේ ආකාරන්ට වඩා බොහෝ වෙනස් ස්වභාවය හා අසාමාන්‍ය දැඩි බව ඇති කරන්නේ කාබන් පරමානු එකට එක බැඳී තිබෙන ස්වභාවය හා ව්‍යුහය අනුවයි. වෙනත් කාබන් ස්වරූප වල මෙන්ම දියමන්ති වලද කාබන් පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳී ඇති අතර මේ බන්ධන සකස් වන ව්‍යූහය අනෙකුත් කාබන් විශේෂ වලට වඩා වෙනස් වේ. දියමන්ති වල කාබන් පරමානු දැලිස් ආකාරයට සහසංයුජ බන්ධනයන්ගෙන් බැඳී පවතින්නේ විශාල බලයන් දැරිය හැකි මට්ටමට එකිනෙකට ඉතා ශක්තිමත්ව බැඳෙමිනි. දියමන්ති වෙනත් කාබන් ස්වරූප වලට පරිවර්තනය වීමක් සිදුවුනත් එසේ පරිවර්තනය වන සීඝ්‍රතාවය ගනණය කළ නොහැකිතරම් කුඩාය.
                           දියමන්ති ඉහල උෂ්ණත්ව වලදී ද්‍රව වීම සිද්ධ උනත් ඒ අප සාමාන්‍යයෙන් සිතන ආකාරයේ ඉහල උෂ්ණත්ව තත්වයන් යටතේද නොව ඊටත් වඩා බෙහෙවින් ඉහල මට්ටම් වලදීයි. එයද සිදුවන්නේ අධික පීඩනයක් යටතේය. සාමාන්‍යයෙන් 3500 °C උෂ්ණත්වයක් හා සාමාන්‍ය වායුගෝල පීඩනය මෙන් 63.5 ගුණයක පීඩනයක් යටතේ දියමන්ති ද්‍රව තත්වයට පත්වේ. දියමන්ති පතල් වලින් කැණීම් කටයුතු කර ලබා ගත්තද එසේ පොළවේ මතුපිට ආසන්නයට දියමන්ති පැමිණෙන්නේ ගිණිකඳු පිපිරීමෙන් පසු ගලා යන ලාවා ස්ථර ඝණ වීමෙනි. ඒ අධික උෂ්ණත්ව හා පීඩන තත්වයන් යටතේ පොළව මතුපිට සිට කිලෝමීටර් 150ක් 190ක් පමණ ගැඹුරේදී කාබන් විපර්‍යාසයන්ට ලක්වීමෙන් උත්පාදනය වන දියමන්ති ගිණිකඳු පිපිරී මැග්මා ධාරාවන් ගලායෑමත් සමගයි. වර්තමානයේ දියමන්ති ආකර වල තිබෙන්නේ වසර දහස් ගණනකට ඉහත මෙලෙස පොළව මතුපිට ආසන්නයට පැමිණි දියමන්ති ප්‍රමාණයන් වේ. දියමන්ති වලට විශාල වටිනාකමක් ලැබී තිබෙන්නේ දුර්ලභ නිසා මෙන්ම එහි ඇති දෘඪ භාවය නිසා විවිධ කාර්මික හා තාක්ෂණික වැඩකටයුතු වලට යොදා ගැනීමේ හැකියාව නිසයි.

Sunday, May 25, 2014

පොඩි විකට රසාංගයක්

 

 ඔන්න ඉතින් අපේ යාලුවො කට්ටියට පොඩ්ඩක් විනෝද වෙන්නත් එක්ක පොඩි විකට ජවනිකාවක් එක්කළා. බලන්නකෝ වීඩියෝ එක. සමහර විට ඔයාල මේක කලින් බලලත් ඇති. නැවත නැවතත් බලලා රස විඳින්න පුලුවන් එකක් නිසයි දැම්මේ.



Thursday, May 22, 2014

පොල් ගහට ධාතු වැඩලා



ඔන්න එක්තරා ගමක ජීවත් වෙච්ච සාමාන්‍ය ගම් වැසියෙක් හිටියා ඒ තරම් වත්කමක් නැති. ඉතින් මේ මනුස්සයාට හරිහමන් රස්සාවක් කියල දෙයක් තිබිලත් නෑ. ඔහේ දවස ගෙවාගන්නේ එදාට මොනව හරි කුලී වැඩක් කරලා. කුලී වැඩනම් කොච්චර කියලා කරන්නද? ඇරත් පවුල් කාරයෙක් උන ඒ මනුස්සයා කුලී වැඩ වලින් හම්ම්බ වෙන සොච්චම් මුදල ජීවත් වෙන්න කොහෙත් ම ප්‍රමාණවත් උනේ නෑ. ඉතින් මේ වගේ අයට මොනව හරි අමතර ආදායමක් තියෙන්නත් එපායෑ. ඔන්න මෙයාටත් අමතර ආදායම් මාර්ගයක් තිබුණා. ඒ තමයි හොරාට පොල් කඩන එකැ. මොනව කරන්නද ඉතින් ජීවත් වෙන්නත් ඕනේ නිසා මිනිහා ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් විදිහට මේක තෝරාගත්තා. ඇරත් නිකම් පොල් වේලිලා වැටිලා ප්‍රයෝජනයකට නැති වෙන එකත් එක්ක බලපුවාම මේ වැඩෙ කාට හරි ප්‍රයෝජනවත් නේ. එහෙමයි කියලා මම මේ හොරකම හරි කියනව එහෙම නෙවෙයි ආයිබොවන්ඩ. එහෙමට කියලා ප්‍රශ්නයක් නැති උනත් වත්තේ පොල් ගස් එකක් දෙකක් තියෙන මිනිස්සු දවසේ උවමනාව සපුරාගෙන බෙදාහඩාගන්නෙත් ගහේ ඵලදාවම නිසා අර මනුස්සයාගේ පොල් හොරකම ඒ වගේ අයට ටිකක් දැනෙන මට්ටමේ එකක් උනා.
                                      ඔන්න ඉතින් අර පොල් හොරකමේ යන මනුස්සයා රාත්‍රී කාලයේ තමයි අමතර රාජකාරියට බහින්නේ. මේ වෙනකොට ගමේ කීපදෙනෙකුටම ඔය වැඩේ කරදරයක් වෙලා තිබිලත් තියෙනවා. එහෙමට මේක කරදරයක් වෙච්චි එක මනුස්සයෙක් පොල් හොරා අල්ලගන්න ක්‍රමයක් කල්පනා කරාලු. අර පොල් හොරා හැමදාම වගේ එකම වෙලාවට තමයි පොල් කඩන කාර්‍ය කරල තියෙන්නේ. ඉතින් ඔරා අල්ලන්න ගිය පොල්ගස් අයිතිකාරයට වැඩේ පහසු උනා. දවසක් පොල් හොරා එන වෙලාව මතක තියාගෙන ඉඳලා වත්ත අයිති කාරයා හෙමීට එලියට බැහැලා ටෝච් එකකුත් ඉනේ ගහගෙන. මිනිහා ගිහින් හොර රහසේ වත්ත අයිනේ පඳුරක් යටට වෙලා වත්තේ හතර මායිම ගැන හෝදිස්සි කළා. ඔන්න කිවුවත් වගේ පොල් හොරා වෙලාවටම ඇවිල්ලා වටපිට බලලා වත්තට ඇතුල් උනා.  ඇතුල් වෙලා හොඳ ඵලදාවක් තියෙන ගහක් බලලා හෙමීට ගහට නගින්න පටන්ගත්තා. අයිතිකාරයා හෙමීටම මේක බලාගෙන ඉඳලා ගහට කිට්ටු කළා. හැබැයි ගහේ බාගයක් දුර නැගල හිටපු පොල් හොරාත් අයිති කාරයා ගහ යටට එනවා දැක්කලු. දැන් ඉතින් මොකද කරන්නේ? වැඩේ අතටම මාට්ටු. පොල් හොරාට අපූරු අදහසක් ඔලුවට ආවේ ඔය අතරේ. මේ ගමේ ගොඩක් අය හොඳ සැදැහැවත් පිංවතුන් කියලත් මිනිහට මතක් උනා. මිනිහා එක පාරටම අනේ සාධු සාධු කියකියා ගහේ ඉතිරිටිකත් නගින්න තියාගත්තා හෙන සාධුකාරයක් දීගෙනම. පොල් ගස් අයිතිකාරයට මේක හෙන ප්‍රෙහෙලිකාවක්.
                                                අයිතිකාරයත් අතඇරියේනෑ. අර මනුස්සයා ගහෙන් බහිනකම්ම හිටියා. මිනිහා ගහෙන් බැස්සෙත් සාධුකාරය දීගෙනමයි. බැහැලා ගහ මුලට එනකොටම අයිතිකාරයා මිනිහා අල්ලගත්තා. අල්ලන ඇහුවලු පොල් හොරකමේ ආවේ ඇයි කියලා. පොල් හොරා ඩුන්න අපූරු උත්තරේට වත්ත අයිතිකාරයාටත් සිනා පහල උනේ ඉබේට. පොල් හොරා කිවුවලු පොල් ගහට සර්වඥ්ඥ ධාතු වඩිනවා මිනිහා දැකලා ධාතු වඳින්න ගහට නැග්ගයි කියලා. අනේ ඉතින් මේ ගොබිලා ගමේ මදාවි වැඩ නොකරන තලත්තෑනි අහින්සකයෙක් නිසා අයිතිකාරයත් ආයේ පැත්තපලාතේ හොරකමේ එන්න එපයි කියලා අඩපාලි කියලා මිනිහව අතඇරලා. හැබැයි ඉතින් මේ සිද්ධියෙන් පස්සේ තව වැඩක් වෙලා. ඒ තමයි සිද්ධිය ගම පුරා ආරංචි උනාට පස්සේ අර පොල් හොරකමේ ගිය මනුස්සයා පාරේ තොටේ දකිනකොට පොඩි එවුන් තරුණ කොල්ලෝ එහෙම "අනේ සාධු සාධු දාතු වැඩලා" කියලා කියනවලු. අරමනුස්සයාට සුද්ද සිංහල තමයි එවලෙට මතක් වෙන්නේ. ඔන්න ඉතින් ගමක වෙච්ච රසවත් සිද්ධිය මේ විදිහට ලියල දැම්මා විනෝදෙටත් එක්ක.

Monday, May 19, 2014

කරනවනම් පරිස්සමෙන් ඕං


මේකත් පොඩි රසකතාවක් තමයි. රස කතාවක් වගේම මේ වගේ වැඩ වලදි සුලු අතපසු වීම් කොහෙන් කෙළවර වෙනවද කියල හිතන්න පැත්තකුත් තියෙන එකක්. මේ අපූරු අකරතැබ්බ වෙලා තියෙන්නේ මීට කලකට ඉහත. ඒ කොටු පනින්න ගිය මනුස්සයෙකුට වෙච්ච පොඩි වැරදීමක් දුරදිග ගිහින් වැඩ සේරම පොරගේ ගෑනිට මාට්ටු වෙච්ච සිද්ධියක්.
                              
                          ඕං ඉතින් මෙහෙමයි සිද්ධිය වෙලා තියෙන්නේ. මේ කතාවට මුල් වෙච්ච මනුස්සයා විවාහක කෙනෙක්. ඒ උනාට මිනිහාට ටිකක් විතර කුකුල් වැඩ කරන්න හිත තිබුණා. ඒ නිසාම මේ මනුස්සයා වෙනත් ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වගෙන ගිහිල්ලයි තිබුණේ. ඔන්න ඉතින් කාලයක් යනකල් මේ ගැන මිනිහගේ කසාද ගෑනි දැනගෙන ඉඳලත් නෑ. ඒ කියන්නේ බොහොම පරෙස්සමෙන් කරල තියෙනව වැඩේ කාටත් නොදැනෙන්න. වැඩේ කියන්නේ මේ මනුස්සයා ගෑනු දෙන්නවම හොඳට මැනේජ් කරගෙනත් ගිහිල්ලා. අනියම් එක්කෙනා ගාවට හොර රහසේ ගිහිල්ලා එයාගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරලා සද්ද නැතුව ගෙදර එනවා. සමහර විට මිනිහගේ පවුල මිනිහා යන එන තැන් ගැන වැඩිය හොයන්නත් නැතුව ඇති.
                            කොහොම උනත් වැඩේ පත්තු වෙච්ච හැටි තමයි මෙතන තියෙන රසවත් සිද්ධිය. මේ මනුස්සයාගේ පවුල හැමදාම පුරුද්දක් විදිහට මෙයාගේ රෙදි ටික හෝදනවලු. ඕං ඉතිං දවසක් පුරුදු විදිහටම පවුල මේ මනුස්සයාගේ රෙදි ටිකත් අරගෙන හෝදන්න ලෑස්ති වෙනකොට සැකකටයුතු යමක් රෙදි ගොඩේ තිබිලා අහුවෙලා. ඒතමයි ගෑණු උදවිය අඳින මල් මෝස්තර දාපු ජංගියක්. මේක තමුන්ගේ එකකුත් නොවන වග වහා තේරුම්ගත් අර නෝනා මේක මෙයාගේ මනුස්සයාගේ රෙදි ගොඩට ආවේ කොහොමද කියලා සැක කරා. ගෑනි කිවුවත් වගේ සැක කරේම අර මනුස්සයා වෙනත් ගෑනියෙක් ආශ්‍රය කරනවා කියලා. මේක මෙතනට ආපු විදිහනම් ප්‍රෙහෙලිකාවක් තමයි. නමුත් ගෑණිගේ සැකයනම් එන්න එන්නම වැඩි වෙලා. අන්තිමට මෙයා අර ජංගියත් කෝටුවක ගහගෙන පොලීසියට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා.
               ඔන්න ඉතින් පොලීසියේ සුලු පැමිණිලි අංශය දක්වාම වැඩේ දුරදිග ගියාට පස්සේ තමයි අර මිනිහට එලොව පොල් පෙනුනේ. මිනිහා දැනගත්තා වැඩේ අතේ පත්තු උනයි කියලා. දැන් මිනිහට ප්‍රෙහෙලිකාව කොහොමද අර අනියම් භාර්‍යාවගේ ජංගි පොඩ්ඩ පොරගේ ගෙදරට ආවේ කියලා. බැලින්නම් වෙලා තියෙන්නේ මනුස්සයා කලින් දවසේ රෑ අර අනියම් බිරිඳගේ ගෙදර නිදාගෙන පාන්දර එලිවෙන ජාමෙට ඇවිල්ල තියෙන්නේ. ඉතින් පොඩි සෙල්ලමක් දාන්න ඇඳුම් ටික ගලවලා දෙන්නගේම ඇඳුම් තියල තියෙන්නේ එක තැන. එලිවෙන ජාමේ මද අඳුරේ අර මනුස්සයා ආපහු ඇඳුම් ටික අඳිද්දී පොරගේ ජොකා කියලා ඇඳගෙන තියෙන්නේ අර ජංගිය. වැඩේ තේරෙනකොට ප්‍රමාද වැඩියි.
                           කොහොම වෙතත් ප්‍රශ්නේ ගොඩක් දුර ගිහිල්ලා නෑ. මිනිහගේ වාසනාවට මේක ගොඩින් බේරගන්න පුලුවන් වෙලා. මේ බ්ලොග් අවකාශයේනම් මම හිතන්නේ නෑ කොටු පනින අය ඇතිය කියලා. මෙහෙම වැඩ හරිමයි කියලා මම කියන්නෙත් නෑ. කරා කියලා කරන එකා ගැන අමනාපෙකුත් නෑ. ඒත් ඉතින් පරෙස්සමෙන්. සිද්ධිය රසවත් නිසයි බ්ලොග් එකට දැම්මෙ ඕං.

Saturday, May 17, 2014

ඌට වේවැලක් තිබේ


මීට වසර ගණනාවකට ඉස්සර සිළුමිණ පත්තරේ ගැමි රස කතා කියලා හරි අපූරු කතා පෙලක් පළ වුනා මට තවම මතකයි. ඒ කතා වලට මුල් වෙලා තිබුණේ ගම් වල වෙච්චි රසවත් හාස්‍යජනක සිද්ධි. ඉතින් මේ කතාවත් මගේ මතකයේ රැඳුනු එකළ සිළුමිණ පත්තරේ පළවුන රසවත් කතාවක්. ඔන්න මෙහෙමයි සිද්ධිය.
               මෙය  එක්තරා ගම්බද පාසලක සිදුවූවකි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි විදුහලේ පහල පංතියක සිංහල භාශාව උගන්වමින් සිටි ගුරුතුමිය ළමයින්ට කපුටා ගැන වාක්‍ය රචනාවක් ලියන්නට කියා ඇත. ළමයින් සියලු දෙනා මහත් උනන්දුවෙන් එම කාර්‍ය කළෝය. වැඩේ අවසන් වූ පසු ගුරුතුමිය ළමයින්ගේ පොත් පරික්ෂා කර බලමින් ළමයින් ලියා තිබූ රචනා ඇගයීමකට ලක්කර අඩු පාඩුද පෙන්වා දෙන්නට විය. ගුරුතුමිය ළමුන් ලියූ රචනා වල පොදුවේ දුටු අඩුපාඩුවක් වී තිබුණේ "කපුටා කළුයි", "කපුටාට හොටක් තිබේ", "කපුටාට අත්තටු දෙකක් ඇත" යනාදී වශයෙන් සෑම තැනම කපුටා යන වචනය යෙදී තිබීමයි. ඒ ගැන සිය අවධානය යොමුකළ ගුරුතුමිය සිසු දරුවන් අමතා කියා ඇත්තේ එලෙස කපුටා යන යෙදුම ඕනාවට වඩා වැඩි වාර ගණනාවක් එක දිගට යෙදීමෙන් රචනාව තරමක් නීරස වන බවත් ඒ වෙනුවට "ඌ", "උගේ" ආදී වචන ගැලපෙන ලෙස යොදාගතයුතු බවයි. පංතියේ ළමුන් සියලු දෙනාද ගුරුතුමිය පෙන්වාදුන් මේ අඩුපාඩුව හොඳින් තේරුම්ගත් බවක් ද පෙනෙන්නට තිබුණි.
                              

      ළමුන්ගේ වාක්‍ය රචනාව ගැන එලෙස අදහස් දැක්වූ ගුරුතුමිය එදින පංතිය අවසානයේ ළමුන්ට උපදෙස් දී ඇත්තේ පසුදින පංතියට පැමිණෙන විට පාසලේ විදුහල්පතිවරයා ගැන රචනාවක් ලියාගෙන එන ලෙසටයි. ළමුන්ද පසුදින පාසලට පැමිණ ඇත්තේ ගුරුතුමිය කී කාර්‍ය ඒ ආකාරයෙන්ම ඉටුකරමිනි. සුපුරුදු පරිදි ළමුන්ගේ පොත් පරික්ෂා කර බැලූ ගුරුතුමියට සිනහ පහල වුනේ ඉබේටමය. ඒ කපුටා ගැන ලියූ වාක්‍ය රචනාවේ ගුරුතුමිය පෙන්වාදුන් අඩුපාඩුව ඉතා අපූරුවට විදුහල්පතිවරයා ගැන ලියූ රචනාවේදී ළමුන් මගහරවාගෙන තිබෙනු දැකීමෙනි. එහිදී අප පාසලේ විදුහල්පතිවරයා වන්නේ කියා නම ඇතුලත්කර ඒ මහතායි යනුවෙන් සඳහන් කොට ඉන් පසුවට ඌ දිනපතා බයිසිකලයෙන් පාසලට පැමිණේ, ඌ ජාතික ඇඳුමෙන් සැරසී පාසලට එයි, ඌට වේවැලක් තිබේ, යනාදී වශයෙන් ළමුන් විසින් විදුහල්පති යන යෙදුම වෙනුවට ගුරුතුමියගේ උපදෙස් පිළිපදිමින් "ඌ", "උගේ" වැනි වචන ගළපා තිබෙන ආකාරය ඇයට බලාගත හැකිවී ඇත.
                              
  මදක් කල්පනා කළ ගුරුතුමියට තමා කලින් රචනාවේ අඩුපාඩු පෙන්වාදීමේදී යම් අතපසු වීමක් සිදුවී තිබුණු බව වැඩි වේලාවක් යන්නට පෙර වැටහිණි. ඒ "ඌ", "උගේ" වැනි යෙදීම් සාමාන්‍ය වශයෙන් ලියන භාශාවේදී සතුන් සම්බන්ධයෙන් යොදාගත්තද මනුස්සයන් සම්බන්ධයෙන් එලෙස ඒ වචන යෙදීම නොකරන බව කීමට ඇයට අමතක වී තිබීමයි. කෙසේ වෙතත් මේ සිදුවීම කළකට අමතක නොවන රසවත් සිද්ධියක් විය.

Thursday, May 15, 2014

ඇනිමේෂන් ජෝක්






ඇනිමේෂන් ජෝක් ටිකක්. ඇඟේ ලේ පිරිසිදු කරගන්න.

වෙසක් සුභාසිරි




 හැමට වාසනාවන්ත සිරි සුභ වෙසක් මංගල්ලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බ්ලොග් එක ආරම්භ කරන්නයි අදහස් කළේ.