Pages

Sunday, December 28, 2014

පොදු අපේක්ෂකයාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැනනගින ගැටළු ටිකක් !


ඔන්න තවත් ජනාධිපතිවරණයක් අත ලඟය. දැන් ඉතින් චන්ද අපේක්ෂකයන්ගෙයි සහය දෙන පාර්ශව වලයි ගාම්භීර කතා මඩ ප්‍රහාර විවේචචන වලින් මාධ්‍ය පිරී ඇත. මෙදා සැරේ මේ ජනාධිපතිවරනයටනම් පොඩි විශේෂත්වයකුත් තියෙනවා. විශේෂ කාරනා එකක් නෙවෙයි කීපයක්ම තිබුණත් විශේෂිතම සිද්ධිය තමයි මේ ජනාධිපතිවරනයට මහින්ද රාජපක්ෂ මහත්තය තරඟ කරන්නේ තුන්වන වතාවට වීම. මීට කලින් මෙහෙම දෙයක් වෙලා නෑ. මේකේ තියෙන සාධාරන බව නීත්‍යානුකූල මව සදාචාරාත්මක බව ගැන මැතිවරනය නිල වශයෙන් ප්‍රකාශ කරන්න කලින් ඉඳලා එක එක කතා තිබුනා. මේක වැඩිපුරම විවේචනය කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් විධායක් ජනාධිපති ක්‍රමයට තදින්ම විරුද්ධ වීමත් ඊට හේතු වෙන්න ඇති. ජනාධිපතිවරනය ගැන කතා එළිබැහැපු මුල් කාලෙනම් මහින්ද මහත්තයාගේ ප්‍රචාරය විතරයි කැපිල පේඅන්න තිබුණේ. ඇයි ඉතින් විරුද්ධ පාර්ශවයේ අපේක්ෂකය කවුද කියලවත් දැනගෙන හිටපු එකක්යෑ.
                              ඔන්න ඒ කාලේ එක එක කටකතා ගියා ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව චන්ද සටනට එන අපේක්ෂකය කවුද කියලා. කටකතා ගිය එක නමක්වත් නෙවෙයි අන්තිමට කියවුනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම. දැන් එතුමා මේ ජනාධිපතිවරනයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධාන විරුද්ධවාදියා වන පොදු අපේක්ෂකයායි. පොදු අපේක්ෂක තුමාගේ චන්ද වැඩපිළිවෙල පටන්ගත්තට පස්සේ දැන් එතුමාගේ ප්‍රචාරක කටයුතු මාධ්‍ය පුරාවට යනවා. පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන සටන් පාඨය හා තේමාව වෙන්නේ ඒකාධිපති පාලනයයි ව්ංචා දූෂණයි වලක්වන මෛත්‍රී පාලනයක් කියන එක. බැලූ බැල්මට කිසි වරදකුත් නෑ. ඒත් එතුමා වටා එක් රොක් වී සිටින අනෙකුත් දේශපාලන කණ්ඩායම් ඇතුලු විවිධ පාර්ශව සමග එක්ව කටයුතු කිරීමේදී එතුමාට කටයුතු කරන්නට වෙන්නේ කොහොමද කියන එකයි අනුග්මනය කරන්න වෙන ප්‍රතිපත්ති ගැනයි නම් ප්‍රශ්න ටිකක් මතුවෙනවා. එලෙස මතුවන ගැටළු ටිකක් මෙසේ ඉදිරිපත් කරන්න පුළුවන්.

1) දින 100ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කෙසේද? ඒ සඳහා කෙරෙන සංශෝධන මොනවාද? ඊට පාර්ලිමෙන්තු අනුමැතිය ගන්නේ කෙසේද?

2) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඇත්ත වශයෙන්ම මෙරට බහුතර ජනතාවකට අවශ්‍යද කියා පොදු අපේක්ෂකයා සොයා බලා ඇත්ද? ඇත්තෙන්ම මේ රටේ වැඩි දෙනෙකුට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යද?

3)විධායක ජනාධිපති සතු බලතල වලින් කොපමණ පාර්ලිමෙන්තුවට හා අගමැතිට පවරාගන්නේද?

4)පොදු අපේක්ෂකයා ජනාධිපති වී පත්කරන අගමැතිවරයාට ජනාධිපතිවරයාටත් වඩා බලතල පවරනවාද?

5)විධායක බලතල අහෝසි කිරීම හෝ අඩු කිරීමෙන් පසු පොදු අපේක්ෂකයා තවදුරටත් එම තනතුරේ රැඳී සිටිනවාද?

6)එසේ රැඳී සිටියොත් අගමැතිවරයාට වැඩි බලතල දී ඔහු යටතේ සිටීමට පොදු අපේක්ෂකයා කැමතිද? ජනාධිපති සතුව අගමැතිට වඩා යම් මට්ටමකට බලතල තබාගතහොත් ඔහු යටතේ සිටීමට  පොදු අපේක්ෂකයා විසින් පත්කරන අගමැති කැමති වෙයිද?

7)විධායක ජනාධිපති සතුව පලාත්සභා විසිරුවීමේ බලය ඇතුළුව පාලන බලතල තිබෙන බැවින් එම බලතල පොදු අපේක්ෂකයා ජයගත් පසු ඒ ආකාරයෙන් තබාගන්නවාද? නැත්නම් පැවරීමක් හෝ අහෝසි කිරීමක් කරනවාද?

8)පලාත්සභා විසිරුවීම ඇතුලු පාලන බලතල අහෝසි කරන්නේනම් පලාත්සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ අරිනවාද? නැත්නම් පලාත් සභා පාලන බලතල පාර්ලිමෙන්තුවට හෝ අගමැති වෙත පවරනවාද?

9)දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසයට වැඩි බරක් තිබෙන උතුර නැගෙනහිර පලාත් සභා වල බෙදුම්වාදී අරගලකාරී තත්වයක් ඇතිවී අන්තවාදී කණ්ඩායම් ස්වයංපාලන අයිතීන් ඉල්ලා සිටිමින් වෙන් වීමට තැත් කළහොත් ඊට ඉඩ දී සිටිනවාද? නැත්නම් එම තත්වය පාලනය කරනවාද? පාලනය කරන්නේනම් ඒ කෙසේද?

10)පොදු අපේක්ෂකයා වටා එක් වී සිටින විවිධ වූ දේශපාලන කණ්ඩායම් හා සහය කණ්ඩායම් ඇතුළු ඔවුන්ට සහය දෙන කණ්ඩායම් සමග මෛත්‍රිපාල මහතා ඇතිකරගෙන තිබෙන පොදු එකඟතාවයන් මොනවාද? පොදු අපේක්ෂකයාට මේ සියළු දෙනාගේ ප්‍රතිපත්ති සමග එකට ක්‍රියාකළ හැකිද?

11)පොදු අපේක්ෂකයා සමග සිටින දෙමළ සන්ධානය හෙළ උරුමය වැනි කණ්ඩායම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත වල සිටිති. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග සමාජවාදී කොටස් වල ප්‍රතිපත්ති නොගැලපෙයි. මෛත්‍රීපාල මහතාට සහය දෙන ජාත්‍යන්තර සංවිධාන සමග ඒ මහතාගේ කණ්ඩායමේ ජාතික මතධාරීන්ගේ මතවාද ගැටෙයි. මෙවැනි පරස්පරතා සමග නිරවුල් දේශපාලන ගමනක් යන්නේ කෙසේද?

12)මේ වනවිට පොදු අපේක්ෂකයාට විදේශ තානාපතිවරුන් ජාත්‍යන්තරය හා රාජ්‍ය නොවන සංවිධාන ජාලය විසින් ඔවුන්ගේ උවමනා එපාකම් ඉටුකිරීමට කවර හෝ මට්ටමක බලපෑමක් කර තිබෙනවාද? එසේ කර නැද්ද?

13)පොදු අපේක්ෂකයා ජයගත් පසු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවටත් මහින්ද රාජපක්ෂ මහතාටත් ජාත්‍යන්තරයෙන් එල්ලවන යුධ අපරාධ චෝදනා හමුවේ ක්‍රියා කරන්නේ කෙසේද?

14)පොදු අපේක්ෂකයා උතුරේ දෙමළ සංධානය අනුගමනය කරන ඊලාම් වාදයත් නැගෙනහිර මුස්ලිම් කොංග්‍රසය අනුගමනය කරන බෙදුම්වාදයත් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද? ඔවුන්ට එලෙස ඉදිරියට ක්‍රියාකරමින් බෙදුම්වාදය ඉදිරියට ගෙනයෑමට ඉඩ දෙනවාද? නැත්නම් බෙදුම්වාදයන් දේශපාලනිකව ප්‍රතික්ෂේප කරනවාද?

15)උතුරේ මේ වන විටත් දෙමළ ජනයාට තිබෙන්නේ යැයි දෙමළ සන්ධානය ඇතුළු බෙදුම්වාදීන් කියන ප්‍රශ්නවලට විසඳුම් ලෙස කවර හෝ දේශපාලන විසඳුමක් ඔවුන් වෙත ලබාදෙනවාද? එසේ නොකරනවාද? ලබාදෙන්නේනම් ඒ කවරාකාර විසඳුමක්ද?

16)රටේ සිංහල බෞද්ධ ජාතික චින්තන කණ්ඩායම් සමග පොදු අපේක්ෂකයා කටයුතු කරන්නේ කෙසේද?

17)ඊලාම්වාදී බෙදුම්වාදයත් මුස්ලිම් කොන්ග්‍රසය අනුගමනය කරන ස්වයං පාලන බෙදුම්වාදයත් ගැන පොදු අපේක්ෂකයා දරන මතය කුමක්ද?

18) මේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවහොත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් ඉදිරියට කරන්නේ කුමක්ද? විපක්ෂ නායකත්වය ගැනීමට කටයුතු කරනවාද? දේශපාලනයෙන් සමුගන්නවාද? නැත්නම් වෙනත් දේශපාලන ක්‍රියාමාර්ගයක් ගන්නවාද?

මේ ප්‍රශ්න මාලාවේ නොකියවුනු තවත් බොහෝ ප්‍රශ්න තවත් බොහෝ දෙනෙකුට තිබිය හැක. මෙලෙස ඉදිරිපත් කළේ පොදුවේ කාට කාටත් පැන නැගියහැකි ගැටළු කිහිපයකි. මෙය කිසිවෙකුට පක්ෂග්‍රාහීව ඉදිරිපත් කරන දෙයක්ද නොවන බව අවධාරනය කරමි.

Sunday, December 21, 2014

බමියුඩා ත්‍රිකෝණය ගැන මෙහෙයවූ ත්‍රාසජනක පරීක්ෂණ මාලාවක්


බමියුඩා ත්‍රිකෝණය ගැන අහල නැති කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති. මේ බමියුඩා ත්‍රිකෝණය ලොව අභිරහස් වලින් ගහන ප්‍රදේශයක්.උතුරු ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ මියාමි ප්‍රදේශයත් දකුණු ඇමරිකා මහද්වීපයට ඉහල පූටෝ රිකෝ දූපතත් බමියුඩා දූපතත් යාවන ත්‍රිකෝණාකාර ප්‍රදේශය මීට අයත් වේ. මේ ප්‍රදේශය හරහා ගමන්ගත් නැවු හා ගුවන්යානා වල අනපේක්ෂිත අතුරුදන් වීම් ලොවම මවිත කරවන්නක් විය. මේ වීඩියො එකෙන් දැක්වෙන්නේ එම ප්‍රදේශය ගැන කළ ත්‍රාසජනක පරීක්ෂණ මාලාවක් සහ ඒ ඇසුරෙන් සොයාගත් වැදගත් තොරතුරු ටිකකි.

Thursday, December 11, 2014

අන්තර්ජාලයේ සිංහල භාවිතා කරන්නන්ට ඔන්න සුභ ආරංචියක්




මේ තොරතුර වැදගත් වෙන්නේ ගොඩක්ම අන්තර්ජාලය තුල සිංහල භාවිතා කරන අයටයි.මේක සිංහල බ්ලොග් ලියන අයටත් ගොඩක් වැදගත් දෙයක් වෙයි. ඒ නිසාම බ්ලොග් එකේ පලකරන්නයි හිතුවේ. මේක ගූගල් භාශා පරිවර්තන සේවයට අළුතෙන් එක් වී ඇති සිංහල භාශා පරිවර්තන සේවාව ගැනයි. ගූගල් භාශා පරිවර්තන වෙබ් ලින්ක් එකට පිවිසෙන ඔබට "Detect Language " යන ටැබ් එකට ගොස් ඒ තුල " Sinhala" යනුවෙන් සිංහල භාශාව සඳහන් වනවා පහසුවෙන් සොයාගන්න පුලුවන්. එය " Click " කළ විට මුලින් ඇති "Text box " එකට "සි" ලෙස පහතින් අකුරක් එක් වේ. එය ලඟින්ම ඇති ඊ හිස ක්ලික් කළ විට සිංහල යතුරු පුවරුව සොයාගන්න පුලුවන්. මේ මගින් අපට පහසුවෙන් සිංහල වචන ටයිප් කර අනෙක් "Text box " එකේ පරිවර්තනය බලාගන්න පුළුවන්. ලින්ක් එක බලන්න.

https://translate.google.lk/

Tuesday, December 2, 2014

ලොව අති දැවැන්ත යන්ත්‍රෝපකරණ පෙලක්


ලොව විශාල රටවල දැවැන්ත ව්‍යාපෘතී ඉදිකිරීම් කටයුතු ප්‍රවාහනය ආදිය වැඩි දියුණු කිරීමට භාවිතා වෙන්නේ සාමාන්‍ය මට්ටමේ යන්ත්‍රෝපකරණ නෙවෙයි. මේ වීඩියෝවෙන් පෙන්වන්නේ එලෙස අති දැවැන්ත යන්ත්‍ර සූත්‍ර වාහන ආදිය යොදාගනිමින් කෙරෙන වැඩකටයුතු වලින් ස්වල්පයක්. අපට අමුත්තක් දැනුනත් ඒ රටවලට ඒ තරම් ගනනක් නැතුව ඇති. නිතර දකින්න නොලැබෙන මේ විස්තර ස්වල්පය සහිත වීඩියෝව බලන්න.

Thursday, November 27, 2014

Baobab "බඕබාබ්" ගස


Baobab "බඕබාබ්" ලෙස හඳුන්වන මෙම ශාකය වැඩෙන්නේ අතිශය ශුෂ්ක වියලි පරිසරයන් වලයි. මේ ගසේ විශේෂත්වය වන්නේ කොල ඉතා අඩු වීමත් කඳේ මහත මාංශල ගතිය වැඩිවීමත් යන ලක්ෂණයි. එසේ වන්නේ ඇයි? ඒකට හේතුව වෙන්නේ මේ ශාක වැවෙන පරිසරයේ දැඩි ශුෂ්ක බව නිසා ගස හැකිතාක් ජලය සංරක්ෂණය කිරීමට හැඩගැසී තිබීම. මේ ශාකයේ පත්‍ර ප්‍රමාණය ඉතා අඩු වීම තුලින් පරිසරයට ජලය වාශ්ප වීම අඩුවී තිබෙනවා. ඒ අතරම කඳේ මාංශල ගතිය වැඩි වීම නිසා ගසට වැඩි ජල ප්‍රමාණයක් රඳවගන්න පුලුවන් වෙනවා. මේ ගසකට සාමන්‍ය වශයෙන් ජල ගැලුම් 30000ක් පමණ රඳවාගන්න හැකි බව සඳහන්.

Saturday, November 8, 2014

අමුතුම මාදිලියේ ගුවන් යානා කීපයක්


අප එදිනෙදා ජීවිතයේ ගුවන්යානා බොහොමයක් දැක තිබෙනවාට කිසිදු සැකයක් නෑ. මේ වීඩියෝ එකෙන්නම් පෙන්වන්නේ එලෙස අප එදිනෙදා බහුලව දකින මාදිලියේ ගුවන් යානානම් නොවෙයි.

Saturday, November 1, 2014

දුම් රිය තාක්ෂණය ගැන තොරතුරු ටිකක්.


ඔන්න දුම් රිය ගැන දුම් රිය තාක්ෂණය ගැන උනන්දු වෙන අයට දැනගන්න වටිනා තොරතුරු ටිකක් අන්තර්ගත වීඩියෝවක්.

Sunday, October 19, 2014

ලොව උසම දිය ඇල්ල "ඒන්ජල්"



ඒන්ජල් දියඇල්ල ගැන අහපු නැති කෙනෙක් නැතුව ඇති.මේක තියෙන්නේ ලතින් ඇමරිකානු රටක් වන වෙනිසුවේලා කියන රටේ.දිය ඇල්ලේ උස මීටර් 979ක් ඒ කියන්නේ අඩි 3212ක්.එහි සීඝ්‍රම බෑවුම හරහා දිය කඩා හැලෙන උස මීටර් 807ක් එනම් අඩි 2648ක්. මේ දියඇල්ලේ උඩ ඉඳන් වැටෙන වතුර කොටසක් පොලවට වැටෙන්නත් ඉස්සර වෙලා ජල වාෂ්ප බිඳු බවට පත්වෙනවා. ජිමී ඒන්ජල් කියන ඇමරිකානු ගුවන් නියමුවා මුල් වරට මේ දියඇල්ල පිහිටි ප්‍රදේශය ඉහලින් පියාසර කරලා තියෙනවා. දිය ඇල්ලට ඒන්ජල් කියන නම ලැබිලා තියෙන්නේ ඉන් පසුව කියලයි බොහෝ දෙනා කියන්නේ. වීඩියෝව බලන්න.

https://www.youtube.com/watch?v=28se8ZM8vcI

Monday, October 13, 2014

බට්ටිට ගරහන උපාසකයෝ හා බට්ටිව මාකට් කරන්නෝ

රත්නපුරේ බට්ටි දැන් ප්‍රසිද්ධ චරිතයක් වෙලා හැමෝම ඇය ගැන කතාකරනවාය.  කොටසක් පොලිස් කාරයාගේ වැරදි කියමින් ඔහුට දොස් පවරති. තවත් කොටසක් බට්ටිට දෙස් දෙවොල් දෙති. පොලිස්කාරයාට බනින එවුන්ගෙන් සමහරු  බට්ටිට ගුටි කන්න වෙච්චි එකේ වරද කිවුවත් බට්ටිගේ ජීවන වුර්තියට හොඳක් කියන අය නෙවෙයි. බට්ටි ගණිකා වුර්තියේ නියැලෙන කෙනෙක් උනා. ඒක ගැන ඒ තරම් යහපත් මතයක් අපේ රටේ නෑ. බට්ටි ගැන සමාජ විද්‍යා විශ්ළේෂණ කරන්න යන්න ඕන නෑ. මේ සිද්ධිය ගැන ඇඟට පතට දැනෙන දේ කෙලින් කතා කරමු.
                              

 ගණිකා වුර්තිය හරි කියන්න බැරි සදාචාරාත්මක හේතු අනුව. නමුත් මනුස්සයෝ උනහම ලිංගික ආශාව ගෑනු පිරිමි හැමට ස්වභාවධර්මයෙන්ම ලැබෙනවා. බට්ටිලා වගේ අය නැති කරන්න කවදාවත් බැරි වෙයි. ඒත් එහෙම අය නොසිටියයුතුයි කියලා කෙනෙක් හිතනවනම් ගෑනු පිරිමි හැම කෙනාම පිළිගත් ක්‍රමයකට විවාහ ජීවිත ගතකර ඒ තුල ලිංගික හැසිරීම පවත්වගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ නොයෙකුත් හේතු නිසා දැන් ඉස්සර වගේ ස්ථිර විවාහ ජීවිත වලට ඇතුල් වෙන්න බැරි ඒ වගේම ඊට උනන්දුවක් නොදක්වන පිරිසකුත් ඉන්නවා. එහෙම වෙනකොට සල්ලි වලට උනත් තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගන්න කැමති අය කොටසක් හැදෙන්නේ ඉබේටමයි. බට්ටිලා වගේ අයගේ වුර්තියට පදනමක් වැටෙන්නෙත් එහෙමයි. කෙටියෙන් කිවුවොත් බට්ටිලා වගේ අයගෙන් කම් සැප බලාපොරොත්තු වන අය නොහිටියානම් බට්ටිලා වගේ අය ඉන්න හේතුවකුත් නැතිවෙනවා.

                            ඒත් ඒ වටපිටාව සේරම අමතක කරලා බට්ටි පොලිස්කාරයාගෙන් ගුටි කාපු එක හරි කියන්නයි බට්ටිට ගරහන්නයිනම් ගොඩදෙනෙක් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා.මේ අයට මතක්කරන්න තියෙන්නේ බට්ටිලා වගේ අයට ඔය තත්වය අත්කරල දෙන්න බලපාන සමාජ තත්වය ඇතිකරන්න බට්ටිට ප්‍රහාර එල්ල කරන අයත් එක් අතකින් වගකියන්න ඕනේ කියන එක. එහෙම කියන්නේ ඔය බොරු උපාසක සිල්වත්තු මනුස්සයන්ගේ ගෑනු පිරිමි  ලිංගික සම්බන්ධතා වල හරි වැරැද්ද මොක උනත් පුරුද්දක් හැටියට ඒව ඕනවටත් වැඩිය පිළිකුල් කරන අතරෙම එකාට එකා ආත්ම වන්චාවෙන් කටයුතු කර ලිංගික පීඩනයකුත් ඇතිකරදෙන නිසා. මේ බොරු සිල් අරගත්තු උපාසකයන්ට බට්ටිලාගේ සමාජ තත්වය තේරෙන්නේ නෑ. සමහර විට ඔය වගේ අය තමන්ගේ නෝනලා එක්ක රන්ඩු වෙලා ලිංගික අහේනියෙන් ඉන්න වෙලාවට බට්ටි වගේ අයගෙන්හරි තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න පසුබට වෙන එකක් නෑ. මොක උනත් වෙන දේ තමයි හොර උපාසකයො ගෑනියෙක් ලවා තමන්ගේ ලිංගික කටයුත්ත කරගත්තට පස්සේ ඒකේ තෘප්තිය අවසන් උනහම ආයෙමත් ඒ ගෑනුන්ටම ගරහන්නතරම් මානසික පෙරලියක් වෙන එක.
                  

බට්ටිට ගහපු පොලිස්කාරයාටනම් තද වෙන්න ඇත්තේ මිනිහ සල්ලි නොදී බට්ටිව ඇඳට ගෙනියන්න ගිහිල්ල වැඩේ වැරදුන තැන කියලනම් හොඳටම විශ්වාසයි. ඒත් සල්ලිත් නොදී වැඩේ කරන්නනම් ඒකටත් විසඳුමක් නැත්තේ නෑ. දැන් කැශුවල් සෙක්ස් වලට කැමති ගෑනුත් ඕන හැටියට ඉන්නව. පොලිස් සාජන් උන්නැහේට සමහර විට පොලිස් සේවයේම ඉන්න එහෙම එක්කෙනෙක් හොයාගන්න පුලුවන් වෙන්නත් තිබුණා උත්සහ කරල බැලුවනම්. එහෙම උනානම් බට්ටිලා පස්සේ යන්න ඕනත් නෑ බට්ටිලාට ගුටි අනින්න ගිහිල්ලා චාටර් වෙන්න ඕනත් නෑ. ගණිකා වුර්තිය පිළිගන්නම ඕනේ කියලා කියන්න හදිස්සි නොවුනත් එක දෙයක් කියන්න තියෙනව. ඒ මේ ලෝකේ ජීවය කියන දේ පවතින තාක් ගෑනු පිරිමි ලිංගික සම්බන්ධතා කියන එකත් ඒ ආකාරයෙන් පවතිනව කියන එකයි. ඒ නිසා අපි දෙයක් අසම්මතයි කියනවනම් ලිංගික සම්බන්ධතා වල සම්මතය කියන්නේ මොකක්ද කියලත් කියන්නම ඕනේ. ලිංගිකත්වය කියන වචනෙත් අරහං වෙච්චි සිල්වතුන් සම්මතේටත් ගරහන හැටි අපි දැකලා තියෙනවා. ඒකෙන් ලබන මානසික තෘප්තිය මොකක්ද කියන එකත් ලිංගිකත්වය ගැන පැහැදිලි දැක්මක් ඇති කාටත් ප්‍රශ්නයක්.

                   ඔය ඔක්කොම පලහිලවු අස්සේ බට්ටිව මාකට් කරන කණ්ඩායමකුත් සිටින බව පෙනෙන්නට ඉන්නවා. ඒ අතර සමාජවාදී දේශපාලනේ කරන අයත් සිටිති. මේ අය බට්ටිව වට කරගෙන ඉන්නේ බට්ටිට ඇති ආදරේකට වඩා සිද්ධියේදී තමන්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන් මේ සිදුවීම මොන විදිහට පාවිච්චි කළොත්ද කියල විමසිල්ලෙන්. යම් විදිහකින් ගණිකා වුර්තිය නීතිමය වශයෙන් පිළිගන්න කටයුතු සිද්ධ උනොත් බට්ටිව මාකට් කරන සමාජවාදියෝම සදාචාරය අල්ලගෙන ඒකට විරුද්ධ වෙන්නත් බැරි නෑ. දේශපාලනේ කියන්නේ ඒ තරමට අවස්ථාවාදී ලැජ්ජාවක් නැති එකක්. බට්ටි ගැන සැබවින්ම මානුශික විදිහට හිතල මේ සිද්ධිය දිහා බලන පිරිසකුත් නැතුව නෙවෙයි. නමුත් බොහොමයක් දෙනා තම තමන්ගේ සුපුරුදු ගතිය පෙන්වමින් ගණිකා වුර්තියේ වරදත් බට්ටිගේ චරිතයේ වරදත් පෙන්වමින් පොලිස් සාජන්වරයාගේ ක්‍රියාකලාපය සාධාරණ යැයි කිවුහ. ගණිකාවන්ගේ වැරදි කතාකරන විට ගණිකාවන් ආශ්‍රයට යොමුවී සිටින පිරිමින් කොටසක් ඉන්න බවත් සිහිතබාගතයුතුමයි. ඕනාවට වඩා සදාචාරසම්පන්න සමාජ පසුතලයන්හි ඇති අප්‍රසිද්ධ ලිංගික දුරාචාරයන් ගැන කතාකරන්නට ගියොත් පොත් ගනන් ලිවියහැකිවේ. ලිංගිකත්වයට සදාචාරයක් කියා දෙයක් අවශ්‍ය වේ. ඒත් එය ඕනාවට වඩා වැඩි වූ කළ ඇතිවන ලිංගික පීඩනයද සමාජය මොහොතින් වැනසියහැකි භයානක දෙයකි. ලංකාවේ අනගි සදාචාරයේ ඇතුල් පැත්තත් අන්ත අමිහිරි බව පමණක් මතක්කරන්නට දෙමින් ලිපිය අවසන් කරමි.

Saturday, October 4, 2014

අනාගතේ ඉගිලෙන කාර් එකක්

ලෝකයේ ප්‍රවාහන තාක්ෂණය වේගයෙන් ඉදිරියට යමින් පවතිනවා. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ අනාගතයේ එලිබහින ඉගිලෙන කාර් එකක්. ගුවන් යානා තාක්ෂණයේ හා සාමාන්‍ය ඔටෝ මොබයිල් තාක්ෂණයේ සම්මිශ්‍රණයක් යැයි කිව හැකියි.

Thursday, September 25, 2014

දොස්තරගේ යෝජනාව

ඔන්න ඉතින් මේ කතාවනම් හිනාවෙනවටත් වඩා හිතන්න යමක් තියෙන එකක්. මේක සමහර විට අපේ යාළුවෝ කට්ටිය අහලත් ඇති. වැල්වටාරම් මොකටද? ඔන්න මේකයි සිද්ධිය. එක්තරා දොස්තර කෙනෙක් ලඟට ළමයෙක් වඩාගත්තු කාන්තාවක් ඇවිත් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවලු. ඩොක්ට මම තව පාරක් ගැබ්ගෙනයි තියෙන්නේ, මට තවත් පොඩි දරුවෙක් ඉන්න නිසා එකලඟ ළමයි හදන්න බෑ ඒක කරදරයිනේ. බැරිද ඇබෝශන් එකක් කරලා දෙන්න? දොස්තර කල්පනා කරලා කිවුවලු මම කිසි කරදරයක් නැති ලේසි වැඩක් කියන්නම් කැමතිනම් කරන්න කියලා. අර කාන්තාව බොහොම සතුටින් ඇහුවලු අනේ ඩොක්ට මොකක්ද ඒ වැඩේ කියලා. දොස්තර මහත්තයා මෙහෙම කිවුවලු. ඇබෝශන් කරන්න ගියහම අමාරුයි කරදරයිනේ ඒක නිසා අපි ඔය අතේ ඉන්න ළමය මරමු ඇයි ඉතින් බඩේ ඉන්න ළමය කියල මොකද ඒ ළමයටත් තියෙන්නේ පනනේ කියලා. අර කාන්තාව විශ්මයට පත්වෙලා ඇහුවලු ඩොක්ට ඇයි එහෙම කියන්නේ ළමයෙක් මරන එක මොන අපරාදයක්ද කියලා. එතකොට දොස්තර මහත්තයා අහනවලු ඇයි දැන් නෝන ආවේ ඒ වැඩේ කරන්න කැමැත්තෙන් ඒකට හිත හදාගෙන නේද කියලා. අර කාන්තාව එතනින් එහා මොනවත් කියන්නේ නැතුව ළමයා හදාගන්න හිතාගෙන පිටවෙලා ගියා. මේකෙන් විහිලුව වගේම යම් වරදක් තමන්ට අවශ්‍ය තැනදි අවස්ථාවාදීව හරි කියලා ගන්න බෑ කියන එකත් හිතන්න අවස්ථාවක් සලසලා තියෙනවා.

Saturday, September 20, 2014

Wednesday, September 3, 2014

ජෝන් කොතලාවල ගැන අහපු නැති කතාවක්.


                 සර් ජෝන් කොතලාවල් කියපුවහම මේ රටේ නොදන්න කවුරුවත් හොයාගන්න හරි අමාරුයි. ඒ ඔහුගේ චරිතයේ තියෙන විශේෂත්වය නිසා. ජෝන් කොතලාවල කියන්නේ මේ රටේ හිටපු අගමැතිවරයෙකුත් වෙනවා. ජෝන් කොතලාවල චරිතය ගොඩ දෙනෙකුට මතක තියෙන්නේ නෙයිනගේ සූදුපොල වටලපු ඉතිහාසගත සිදුවීමත් එක්කයි.
                                            මේ කියන්න යන්නෙ උන්නැහේ කරපු වීරකමක් ගැනනම් නෙවෙයි. තේරෙන බාසාවෙන්ම කිවුවොත් සිරාම වැඩක් ගැන. ඔන්න මෙතුමා අගමැති වෙලා හිටපු කාලේ එංගලන්තේ රජ පවුලේ කුමාරිකාවක් ලංකාව බලන්න ආවලු පොඩි සංචාරයක් දාන්න. ඉතින් මේ කුමාරිය රටේ වැදගත් සුන්දර ස්ථාන බලන්න එක්ක යන එකයි එයාට අවශ්‍ය පහසුකම් සපයන වැඩෙයි කළේ කොතලාවල උන්නැහේ. අපරාදෙ කියන්න බෑ මනුස්සයා ඒක හොඳට වගකීමෙන් කරලා. ඔන්න ඉතින් මේ කුමාරිකාව රටේ සිත්ගත් ලස්සන තැන් වලට එක්ක යනකොට මතකසටහන් හැටියට පින්තූර ටිකක් ගන්න කැමරාකරුවෙකුත් එක්ක යන්න අමතක කළේ නෑ. කැමරාකාරයත් අපේ රටේම මනුස්සයෙක්. ඉතින් ඕන් දවසක් කොතලාවල උන්නැහේ අපේ රටේ විශ්මිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් වෙච්ච සීගිරිය බලන්න මේ කුමාරිකාව එක්කරගෙන ගියා අර කැමරාකාරයත් එක්ක. මෙහෙම ගිහිල්ල ඔන්න දැන් කට්ටියම සීගිරි ගල නගිනවලු බිතුසිතුවම් බලන්න හිතාගෙන. ඔය අස්සේ තමයි මාර වැඩේ උනේ. මෙන්න බොලේ එක පාරටම හෙන හයියෙන් හුලං පාරක් ඇවිල්ලා අර කුමාරියගේ ගවුම උඩ ගියාලු. මේක දැක්ක කොතලාවල උන්නැහේ කැමරා කාරයට කෑගහල කිවුවලු  "ගනින් යකෝ පින්තූරයක්"  කියලා. ඔන්න ඕකයි සිද්ධිය. මේක ගොඩක් අය දන්නෙ නැති හින්දා ටිකක් හිනා වෙන්නත් එක්ක බ්ලොග් එකෙත් දැම්ම ඔන්න.

Saturday, August 30, 2014

යෝධ පිඹුරෙක් කිඹුලෙකු ගිල දමන ආකාරය

වන සතුන්ගේ රාජධානිය තුල ආහාර දාමයන් එකිනෙක් සම්බන්ධ වෙන්නේ හරිම සංකීර්ණ විදිහට. එතනදි එක් සතෙක් තවත් සතෙකුගේ ගොදුරක් බවට පත් වීම සාමාන්‍ය දෙයක්. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ පිඹුරෙකුට ගොදුරුවන කිඹුලෙක්.


Saturday, August 23, 2014

ත්‍රිමාණ මුද්‍රණශිල්පය හෙවත් 3D ප්‍රින්ටින් ගැන දැනගන්න.


අප සාමාන්‍ය මුද්‍රණ කටයුතු වලදී කරන්නේ ත්‍රිමාණ දේ පැතලි තලයකට මුද්‍රණය කරන එක. ඒ කියන්නේ මුද්‍රණ කඩදාසි වලට වගේ පසුතලයකට ගන්න එක. නමුත් ත්‍රිමාණ මුද්‍රණ ශිල්ප ක්‍රමයේදී ත්‍රිමාණ ආකෘතිය ඒ ආකාරයෙන් ත්‍රිමාණ වස්තුවක් ලෙස නිර්මාණය කරගන්න පුළුවන්.මේ වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ ත්‍රිමාණ මුද්‍රණශිල්පක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයයි.මේ ආකාරයට ලෝහ උපකරන වුවත් නිර්මාණය කිරීමේ හැකියාව ඇත.

Saturday, August 16, 2014

මොනවද මේ වොලෝකොප්ටර් ? මෙන්න දැනගන්න


සාමාන්‍ය හෙලිකොප්ටර් ගැනනම් අපි කවුරුත් අහලා ඇති. මේ හෙලික්ප්ටර් වලට බොහෝවිට තියෙන්නේ බඹර එකක් හෝ දෙකක්. නමුත් වොලෝකොප්ටර් වලට බඹර වැඩි සංඛ්‍යාවක් තියෙනවා. වොලෝකොප්ටර් වල අන්තර්ගත තාක්ෂණය ගැන මේ වීඩියෝවෙන් වැඩි විස්තර බලාගන්න.

Sunday, August 10, 2014

රජ්ජුරුවන්ට අමතකයි



ගමක වෙච්ච තවත් රසවත් සිද්ධියක් මතක් වෙච්ච වෙලාවේ බ්ලොගේට දාන්න හිතුනා. වැඩි විස්තර ඕන නෑ මෙන්න මේකයි කතාව. දන්නවනේ වෙසක් කාලෙට වෙසක් කූඩු වෙසක් තොරන් වගේ වෙසක් නාට්ටිත් පෙන්නනවනේ. මේ කතාව ගමක වෙසක් කාලේ පෙන්නපු වෙසක් නාටියක් ගැන. 
                                      මේ වෙසක් නාට්ටියට අදාල කතා වස්තුවනම් මට මතකයක් නෑ. ඒත් කතාව කියවල විනෝද වෙන්න ඒක එච්චර බාධාවක් නෙවෙයි. ඉතින් මේ නාට්ටියට අනුව ඒකේ එකජවනිකාවක් තියෙනවලු කතාවේ රජතුමාට සන්නසකින් පණිවිඩයක් ලැබෙන. මේ කතාවේ හැටියට රජතුමා සන්නස බලලා සිහිය නැතුව ඇදගෙන වැටෙන්න ඕනලු. නාට්ටියේ රජ්ජුරුවන්ට රඟපාන නළුවට හැම දෙයක්ම ඉක්මනින් අමතක වෙන ගතියක් තිබිල තියෙනවා. ඒ නිසා අර ජවනිකාවේ හැටියට සන්නස කියවපුගමන් සිහිය නැතුව වැටෙන්න මේ රජ නළුවට අමතක වෙයිද කියල ගැටළුවකුත් නාට්ටියේ සංවිධායක මඩුල්ලට ආවා. එක් සංවිධායකයෙක් මේ ගැටළුවට විසඳුමක් හොයාගත්තලු. ඒ තමයි රජ්ජුරුවන්ට යවන සන්නසේ  "මේක බලලා සිහිය නැතුව වැටෙන්න" කියලා වාක්‍යක් ලියලම යවන එක. එතකොට සන්නස දිගඇරපු ගමන් ඒකේ ලියල තියෙන එක දැකලා කරන්න තියෙන පාට් එක මතක් වෙනවනේ.
                                         ඔන්න වෙසක් දවසේ නියමිත වෙලාවට නාටිය පටන්ගත්තා. දැන් ඉතින් අර සන්නස ගේන කොටසටත් ආවලු. ඔන්න පණිවිඩ කාරයා සන්නස ගෙනැත් රජ්ජුරුවන්ට භාරදුන්නා. සංවිධායක් මණ්ඩලේත් දැන් මේක දිහා බලාගෙන ඉන්නේ. රජ්ජුරුවෝ සන්නස දිගඇරියා. ලියලා තිබුණ එක දැකපු රජතුමා "මේක බලලා සිහිය නැතුව වැටෙන්න" කියලා මහ හඬින් කියාගෙනම වේදිකාව උඩ ඇදගෙන වැටුනලු. නාට්ටිය බලන්න ඇවිත් හිටපු කට්ටියට සේරම අමතක වෙලා බක බක ගා හිනායන්න ගත්තලු වෙච්ච වැඩේට.

Monday, August 4, 2014

මහාචාර්යවරයාගේ අපූරු විහිළුව


ඔන්න මේ කතාවනම් අපේ රටේ වෙච්ච දෙයක් ගැන නෙවෙයි පිට රට විශ්ව විද්‍යාලයක වුන අපූරු සිද්ධියක් ගැන. ඔය රට මොකක්ද කියලනම් මටත් එච්චර මතකයක් නෑ. කොහොම උනත් කතාව මේකයි. ඔන්න මේ කතාවට අදාල විශ්වවිද්‍යාල මහාචාර්යවරයා ශිෂ්‍යයන් අමතා දේශන පවත්වන හැම විටම මොකක් නමුත් අසභ්‍ය විහිළුවක් දේශනය අතරතුර විෂයට අදාලව කරන්නත් අමතක කළේ නැහැලු. මහාචාර්යවරයාගේ මේ ක්‍රියාකලාපය පිරිමි සිසුන්ට මහත් විනෝදජනක එකක් උනත් අදාල විශයට මේ මහාචාර්යවරයාගේ දේශන වලට සහභාගී වන සිසුවියන්ටනම් මේක ඒ තරම් ඇල්ලුවේ නෑලු. මේ සිසුවියන්ගෙන් ගොඩදෙනෙකුට මේක තරමක් අප්‍රසන්න දෙයක් උනා. සුපුරුදු විදිහට කාලය ගතවෙද්දී ඔන්න එක දවසක් අර මහාචාර්යවරයාගේ අසභ්‍ය විහිළු තහළු හිසරදයක් වෙච්ච සිසුවියන් පිරිස එකතුවෙලා මහාචාර්යවරයාට පාඩමක් උගන්වන්න තීරනය කළාලු. මේ අයගේ සැලැස්ම උනේ ඊලඟ වතාවේ මහාචාර්යවරයා පුරුදු විදිහට අසභ්‍ය කතාවක් පටන්ගත්තොත් සිසුවියන් සියළුදෙනා නැගිට පන්තියෙන් පිටවී යෑමයි.
                                                හැබැයි මේ සිසුවියන්ගේ සැලැස්ම ගැන මහාචාර්යවරයාට රහසින් ආරන්චි වෙලා තියෙනවා. කොහොමෙන් කොහොහොමෙන් හරි ඔන්න ඊලඟ දවසේ මහාචාර්යවරයා පුරුදු විදිහටම දේශනය පටන්ගෙන ටිකදුරක් කරගෙන ගියා. ඔන්න ඉතින් මනුස්සයා හැමදාම කරන වැඩේ එදත් කරන්න හිතාගෙන මෙන්න මෙහෙම කිවුවලු. ඔය ළමයි දන්නවද ස්වීඩනයේ ගණිකාවන්ගේ එක දවසක ආදායම ඩොලර් 3000ක් කියලා. මේක අහපු ගමන් අර සිසුවියන් සේරම මහාචාර්යවරයා තවත් අසභ්‍ය කතා කියන්න ඉස්සර වෙලා නැගිටලා පන්තියෙන් එලියට යන්න ලෑස්ති උනාලු. මේක දැකපු මහාචාර්යවරයා එකවරම අර සිසුවියන් අමතා මෙහෙම කිවුවා. "ඔයගොල්ලෝ දැන්ම මේ කලබලෙන් කොහෙද යන්න හදන්නේ, ස්වීඩනයට යන්න හෙට රෑ 10 වෙනකල් ප්ලේන් එකක් නෑ" කියලා.

Wednesday, July 30, 2014

අපූරු ලැට් එක


                      ඔන්න එක ගමක  වන්දනා නඩයක් අටමස්ථානේ වැඳපුදාගන්න ගියාලු. කට්ටිය වන්දනාවේ ගිහිල්ලා එලිමහනේ කූඩාරම් ගහගෙන තමයි නැවතිලා ඉඳලා තියෙන්නේ. ඔන්න ඔය අතරේ රෑ දෙගොඩහරියේ මේ නඩේ හිටපු එකෙකුට බොග සෙට් උනාලු. දැන් ඉතින් මේ වෙලාවේ ලැට් හොයන්නේ කොහෙන්ද? පොර නඩේ හිටපු තව දෙතුන්දෙනෙකුට එයාගේ උවම්නාව කියලා බොගේ දාගන්න දිහාවක් හොයන්න ගියාලු කට්ටියත් එක්ක. ගෙනාපු බාල්දියකට අහල පහල වැවකින් වතුර ටිකකුත් අරන් ඒ ලඟම තිබුන කැලේ ටිකක් ඇතුලට ඇතුලට ගිහිල්ල තරමක් එලිමහන් තැනකට කට්ටිය ඇවිත් අර බොග සෙට් වෙච්ච යාළුවට වතුර බාල්දියත් දීල අනෙක් කට්ටිය ටිකක් ඈතට වෙලා මුර කරනවලු කවුරුත් ඒ පැත්තට එනවද කියලා බලන්න.
                    අර යාළුව වැඩේ කරගෙන ඇවිල්ල අනෙක් සගයෝ ටිකට කිවුවලු අපරාදේ කියන්න බෑ ගෙදර ලැට් එකේ වගේ බොග දාන්න තැනක් සෙට් උනා කියලා. කට්ටියට දැන් මේක ප්‍රෙහෙලිකාවක්ලු කොහොමද මේ කැලෙයක් ලඟ කක්කුස්සියක්  තියෙන්නේ කියලා. වැඩේ තේරුනේ උදේ පාන්දර අහල පහල වෙනත් වන්දනා නඩයක ගෑනු කෙනෙක් මහා සද්දෙන් කාටදෝ බනිනව ඇහෙද්දි. එයා බැනල තියෙන්නේ බොග දාපු එකෙකුට. බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි. අර බොග සෙට් වෙච්ච එකා කලින් දවසේ රෑ යාළුවෝටිකත් එක්ක බොග දාන්න ගිහින් ගෙදර ලැට් එකේ වගේ බොග දැම්මා කියලා කියලා තියෙන්නේ අර ගෑනු කෙනා උදේට උයන්න ලෑස්ති කරල ගඩොල් කැට කීපයක් තියල හදපු ලිපකට බොගේ පාත් කරලා. ඇයි ඉතින් ලැට් එකේ වගේ කකුල් දෙක තියන්න ගල් දෙකත් තිබිලනේ. කොහොමෙන් කොහොමෙන් හරි අර බොග දාපු එකයි යාළුවෝ සෙට් එකයි මොනවත් කතා නොකර ඉඳලා නඩේ පිටින්ම හෙමීට එතනින් මාරු වෙලා ගියාළු.

Tuesday, July 22, 2014

ගහපන් බුදු හුලඟේ




මේ කතාවනම් ඔන්න සමහර විට ගොඩ දෙනෙක් අහපු එකක් වෙන්නත් පුළුවන්. ගමක වෙච්ච ඇත්ත සිද්ධියක් නිසාත් හාස්‍යජනක  බව නිසාත් බ්ලොගේ දාන්න හිතුවා. වැඩිය විස්තර ඕන නෑ මෙන්න මේකයි සිද්ධිය. 
           එක ගමක හිටියලු මනුස්සයෙක් බණ්ඩා කියලා. පොරට හොස්ස අගින් මැස්ස යන්න බැරි පොඩි දේට කිපෙනසුළු ගතියක් තිබුණලු. ඉතින් මිනිහට ගමම කියන්නේ කුලප්පු බණ්ඩා කියලාලු. ඔන්න කුලප්පු බණ්ඩා දවසක් හේනට ගිහිල්ලා අමු බඩ ඉරිඟු කරලක් කාලා එන ගමන් බඩේ අමාරුවක් හැදිලා බොග සෙට් උනා. මිනිහට තිබුණ හදිස්සිය නිසාම අවශ්‍යතාවය කොහොම හරි ඉෂ්ඨ කරගන්න ඕන නිසා ගහක් යටට ගිහින් බොග දැම්මලු. දැන් තියෙන ප්‍රශ්නේ තමයි හෝදගන්න වතුර ටිකක් නැති එක. මනුස්සය හෙමීට ගෙදර පිලිකන්න පැත්තෙන් එනකොට  වතුර මුට්ටියක් එලියේ තියනවා දැකලා. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ හොයපු දේ හම්බ උනානේ වතුර මුට්ටිය හලාගෙන මිනිහා පුක හේදුවාලු. ටික වෙලාවකින් පවුල ඇවිල්ලා අර වතුර මුට්ටිය අරන් කිවුවලු මම මේ කොච්චි මිරිස් ටිකක් තම්බලා මුට්ටිය එලියේ තියල තිබ්බ වතුර පිටින් ඒක ගන්නත් අමතක උනා කියලා. කුලප්පු බණ්ඩට එලොව පොල් පෙනුනේ එතකොට. ඒ වෙනකොටත් යන්තමට වගේ පුක දැවිල්ල අල්ලලයි තිබුණේ. ටික වෙලාවක් යනකොට තව වැඩි උනාලු. ඉවසගන්න බැරි තැන මිනිහා දිවුවා ඇලට ගිහින් විනාඩි 10ක් 15ක් විතර ඇලේ බැහැලා හිටියා. ගොඩට ඇවිත් බැලුවා ඒත් වැඩක් උනේ නෑ දැවිල්ල ආයෙමත් ආවා. බැරි තැන මිනිහා ගලක් උඩට නැගලා පුක එලියට එන්න සරම උස්සගෙන ගහපන් බුදු හුලඟේ කියලා කිවුවලු හුලං පාරක් බලාපොරොත්තුවෙන්.

Saturday, July 19, 2014

Tuesday, July 15, 2014

කිරිබයියෝ රට ලැබෙයිද?




මේ සිද්ධිය උනේ ටිකක් ඉස්සර එක්තරා ගමක චන්ද පැවතුන කාලෙකයි ඕං. දන්නවනේ ඉතිං චන්දෙකදි චන්දෙ  ඉල්ලන අපේක්ෂකයන්ගේ සහයට ලඟින්ම ඉන්න ගෝලබාලයෝ සෙට් එකකුත් ඉන්නවනේ. ඕං ඉතින් මේ ගමෙත් චන්දේ ඉල්ලපු එක චන්ද අපේක්ෂකයෙක් තමන්ගේ හොඳම ගෝලයත්  එක්ක චන්ද ප්‍රතිඵල අහනවලු. හොඳම ගෝලයගේ නම කිරිබයිය ලු.
                                                       රෑ ජාමේ වෙනකොට චන්ද ප්‍රතිඵල ප්‍රකාෂය ආරම්ඹ්හ වෙලා. ප්‍රතිඵලත් හතක් අටක් විතර කියවුනාලු. දැන් අර චන්ද අපේක්ෂකයට මනුස්සයගේ ජයග්‍රහනය ගැන තිබුණේ අවිනිස්චිත බවක්. චන්දෙන් දිනනවට සාමාන්‍ය වශයෙන් එදා කිවුවේ රට ලැබෙනව කියලාලු. ඔන්න ඉතින් මේ මනුස්සයට තිබුණ දෙගිඩියාවට අස්වැසුමක් ලබාගන්නත් එක්ක කිරි බයියගෙන් ඇහුවලු කිරි බයියෝ රට ලැබෙයිද කියලා. කිරි බයියත් කිවුවලු ආයෙත් එහෙනං කියලා අර මනුස්සයට මද සැනසීමක් ඇතිකරමින්. තවත් ප්‍රතිඵල කීපයක් නිකුත් උනාලු. මනුස්සයගේ දෙගිඩියාව තවත් එහෙමමයි. ආයෙමත් කිරිබයියගෙන් ඇහුවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. කිරිබයියත් පෙර සේම උත්තර දුන්නා. මේ විදිහට චන්ද ප්‍රතිඵල ලැබෙන හැම වාරයක් පාසාම අර මනුස්සය කිරිබයියගෙන් අහනවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඉතින් කිරිබයියටත් මේක සෑහෙන කරදරයක් වෙලා තිබුණේ. ඇයි උත්තර දීල ඉවරෙකුත් නෑනේ. පහුවෙනකොට කොහොම කොහොම හරි කිරිබයියටත් තේරිලා තිබුණා මේ මනුස්සයා පරදිනවා කියලා. එහෙම හිතාගෙන ඉන්නකොට ආයෙමත් චන්ද අපේක්ෂකතුමා කිරිබයියගෙන් සුපුරුදු ප්‍රශ්නේ ඇහුවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඒ පාර කිරිබයියගෙත් ඉවසීමේ සීමාව පැනලයි තිබුණේ. මිනිහා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා එක පාරම රට නෙවෙයි තොට ලැබෙන්නේ මේක තමයි කියලා සරමත් උස්සලා පුක පෙන්නලා දිවුවලු පස්ස නොබලම. කොහොමෙන් කොහොමෙන් හරි අර චන්ද අපේක්ෂක තුමා පරාද වෙලා තිබුණලු. ඒ විතරක්යෑ කිරිබයිය කරපු වැඩෙත් ගමටම ආරංචි වෙලා දැන් මිනිහා පාරක තොටක දකිනකොටත් ගමේ නොසන්ඩාලයෝ අහනවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඒ වෙලාවට ඉතින් මනුස්සය හොඳවයින් කුණුහරප සංග්‍රහයක් කරනවලු එහෙම අහපු එවුන්ට.
                                  
                         

Thursday, July 10, 2014

විදුහල්පතිගේ යුනියන් ජැක් එක


 මේක එක්තරා ගමක ඉස්කෝලෙක වෙච්ච සිද්ධියක්. මේකයි වෙලාතියෙන වැඩේ ඕං. සාමාන්‍යයෙන් ඉස්කෝලෙක විදුහල්පති මාරු වෙනකොට පරන විදුහල්පතිවරයා පාසලට අයත් බඩුබාහිරාදිය අළුත් විදුහල්පතිට භාරදෙන්න ඕනෙ. ඉතින් මේ ඉස්කෝලෙත් හිටපු විදුහල්පතිවරයාට මාරුවීමක් හම්බ වෙලයි තිබුණේ. ඉතින් මනුස්සයා අළුත් විදුහල්පතිට බඩු බාරදෙන්න මෙයා ආපු දවස්වල ලැබුණු බඩු ලැයිස්තුව පරික්ෂා කළා. මේ බඩු ලැයිස්තුවේ ඉංග්‍රීසියෙන් තමයි බඩු වල විස්තරේ ලියවිලා තිබිලා තියෙන්නේ. 

ඉතින් මනුස්සයා බඩු වල විස්තරේ  මුල ඉඳලා අගටම කියවලා අදාල බඩුමුට්ටු ටික ලෑස්ති කරල තියලා අළුත් විදුහල්පතිට භාරදීල ගියාලු. අළුත් විතුහල්පතිත් ඔන්න බඩු භාරගෙන එකින් එක පරික්ෂා කරන්න ගත්තා. ඔය අතරේ මේ අළුත් විදුහල්පතිට දකින්න ලැබුණේ මේසයක් උඩ තිබුණ අඬු දුග අඬු කීපයක් දෙකට තුනට නමලා තිබුණ යකඩ ගැජට් එකක්. මිනිහට ප්‍රෙහෙලිකාවක් උනේ මේක ගැන සඳහනක් බඩු ලැයිස්තුවේ නොතිබීම. තවත් ටිකක ලැස්තුව කියවලා බලනකොට මේ ලැයිස්තුවේ සඳහන් තවත් එක භාණ්ඩයක් මේ බඩු ගොඩේ නැති වගකුත් මෙයාට තේරුනා. ඒ තමයි යුනියන් ජැක් (  Union Jack )යනුවෙන් සඳහන් වෙච්චි භාණ්ඩය. යුනියන් ජැක් කියන්නේ එංගලන්ත කොඩියට. ඉතින් මනුස්සයා හතර වටේ හොයලා බලනකොට පරන අල්මාරියක යට තට්ටුවේ කොනක තිබිලා රෙදි කෑල්ලක් හම්බ උනාලු. බැලින්නම් එංගලන්ත කොඩිය. ඒ කියන්නේ අර භාණ්ඩ ලැයිස්තුවේ යුනියන් ජැක් එක.
  
අර මේසේ උඩ දෙකට තුනට නමල තිබුණ යකඩ ගැජට් එක මොකක්ද කියල ගැටළුවකුත් දැන් ආවා. ටිකක් කල්පනා කරද්දී තමයි වෙලා තියෙන වැඩේ තේරුනේ. බැලින්නම් පරන විදුහල්පතිට බඩු ලැයිස්තුඒ අනෙක් සේරම හම්බ වෙලා. යුනියන් ජැක් එක හම්බ වෙලා නෑ. මදිවට මනුස්සයා යුනියන් ජැක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉඳල තිබිලත් නෑ. සේරටම වඩා පරන විදුහල්පති එයා වැඩ භාරගන්නකොට එයාට හම්බවෙච්ච ලැයිස්තුවේ මේක තිබුණද නැද්ද කියලා මිනිහට ගානකුත් නැතුවයි ඉඳලා තියෙන්නේ. මේක හොයාගන්න බැරුව තමයි මිනිහා ඒක මොකක්ද කියලා දන්නෙත් නැති නිසා අර යකඩේ ඒ වෙනුවට තියලා තියෙන්නේ.

මරු මිනිහ ටෝටල්


මේ දවස්වල ලංකාවයි දකුණු අප්‍රිකාවයි අතරේ පැවැත්වෙන ක්‍රිකට් තරඟමාලාව නරඹන අතරේ ඔන්න පොඩි කතාවකුත් මතක් උනා. ඒ තරමට හාස්‍යජනක නැතත් මේක තරමක් විනෝදාශ්වාදය ගෙන්දුන් සිද්ධියක්. ඔන්න දවසක් අපේ ටීම් එකයි තව කොහේදෝ රටක ටීම් එකකුයි අතරේ ක්‍රිකට් තරඟාවලියක් පැවතිච්ච කාලෙක කඩවල් සාප්පු ගානේ ටීවී දාගෙන මැච් එක පෙන්නනවලු. මැච් එකක් තිබුන දවසක ඔන්න ඔය විදිහට මැච් එක දාලා තිබුණ කඩේක ටීවී එකේ යන මැච් එක බලන්න සෙනග පොරකාගෙන ඉන්නවලු.
                එදා ඔන්න මැච් එකේ එක පිලක් පන්දුවට පහර දීමේ වාරය අවසන් වෙලා ලකුණු පුවරුව ටීවී එකේ දාන වෙලාව ආවා. මේ අස්සේ පොඩි අඩියක් ගහලා ටිකක් ඩෝප් පිට හිටපු මනුස්සයෙකුත් ටීවී එකේ ගිය මැච් එක බලන්න එබුනලු. මිනිහා අර ටීවී එකේ දාල තිබුණ ලකුණු පුවරුව කියවන්න ගත්තා වෙරි පිටම. ඔන්න ඉතින් ආරම්භක පිතිකරුවාගේ ඉඳලා පහලට මිනිහා නම කියව කියවා ඒ එක එක්කෙනා ගහපු ලකුණු ගාන කියනවලු. මෙහෙම කියව කියවා ඉඳලා ඔන්න අන්තිමටම මෙහෙම කිවුවලු. අප්පේ මරු මිනිහ තමයි ටෝටල්, මිනිහ තනියම ලකුණු 250ක් ගහලා කියලා කියලා. මේක ඇහුන විතරයි මැච් එක බලන්න ආපු එවුන් සේරම බක බක ගාලා හිනා වෙන්න ගත්තලු . කට්ටියගෙන හූ හඬ මැද අර මනුස්සය හෙමීට පල්ලම් බැහැල ගිහිල්ලා. මිනිහට ඩෝප් බැස්සද දන්නේ නෑ වෙච්චි වැඩේට.

Monday, June 30, 2014

වචන පෙරලියක් කළ හරිය




මේ සිද්ධිය වෙලා තිබුණේ මීට ගොඩක් කාලෙකට ඉස්සර තලවකැලේ පැත්තේ තේ වත්තක් ආශ්‍රිතව. ඉතින් මේ කියන්න යන කතාවේ තේවත්ත අයිති කෙනා සුද්දෙක්ලු. මිනිහට ඕන උනා වත්ත තුබුණ ඉඩමේ පැත්තකින් වෙන්න බංගලාවක් හදාගන්න. එහෙම හිතලා ඒ පලාතේ හොඳට මේසන් වැඩයි වඩු වැඩයි දෙකම දන්න සුපිරි බාස් කෙනෙකුට වැඩේ බාර දුන්නලු ඔන්න. ඉතින් මේ බාස් සිංහල මනුස්සයෙක් මිනිහට ඉංග්‍රීසි මෙලෝ හසරක් බෑ. ඒ වගේම සුද්දට සිංහලත් බෑ. මේ දෙන්න අදහස් හුවමාරු කරගත්තේ වත්තේ වැඩ බලන මහත්තයෙකුගේ මාර්ගයෙන්.
                                   ප්‍රශ්න මොක උනත් ඉතින් අර බාස් උන්නැහේ අපරාදේ කියන්න බෑ වැඩේ සුපිරියටම කරා. ලස්සනට බංගලාව හදල තිබුණා. දැන් ඉතින් ඔන්න අළුත හදපු බංගලාව බලන්න සුද්දා හදිසියේම ආව. ඇවිත් බැලුවා බංගලාව දිහා. මිනිහටත් අදහගන්න බෑ වැඩේ. ඒ තරමට සුපිරි. ඉතින් ඔන්න අර සුද්දට මේක ගැන ප්‍රශංසා කරන්න ඕන උනාලු. ඒත් මිනිහා සිංහල දන්නෙත් නෑ හරියකට. කරුමෙට එදා අර වත්තේ වැඩ බලන මහත්තයා ඉඳලත් නෑ. ඉතින් සුද්දා බාස් දිහා බලලා ඉංග්‍රිසියෙන් පොඩි යමක් කියලා මිනිහා එහෙන් මෙහෙන් අල්ලගත්ත සිංහල කෑල්ලකුත් දාලා මෙන්න මෙහෙම කිවුවලු "ඕල් බිල්ඩින් ලෙවල් මට්ටම්" කියලා. අර බාස්ට මේක හරියට තේරුනේ නෑ. මිනිහට මේක තේරුම් ගියේ වැඩේ සවුත්තුයි කියලා බංගලාව කඩලා බිමට ප්ලැට් කරන්න කිවුවා වගේ. එහෙම හිතල බාස් උන්නැහේ ගෝලයෝ ටිකත් එක්ක එකතු වෙලා අර බංගලාව පහුවදා එලි වෙනකොට කඩලා බිමට සමතලා කරලා තිබුණලු. ඇයි ඉතින් ලෙවල් මට්ටම් කියල සිංහලෙන්ම කියලනේ.

Friday, June 27, 2014

කලින් ඉදිරිපත් කළ පින්තූර ප්‍රෙහෙලිකාවට උත්තරේ මෙන්න.



මිනිස් රූප හා මුහුණු මම අංක කර තිබෙනවා. සමහර මුහුණු වල මායිම් ක්ළුපාට කඩඉරි වලින් ලකුණු කරලා ඇති.

Tuesday, June 24, 2014

මොළේ පාවිච්චි කරලා උත්තරේ හොයමු බලන්න.


 මේ පින්තූරේ ඇතුලේ මිනිස් රූප හා මුහුණු 9ක් සැඟවිලා තියෙනවා. බලන්න කාටද හොහොයාගන්න පුලුවන් කියලා.


Sunday, June 22, 2014

නානා ලිඳේ



ඔන්න එක ගමක හිටියලු මනුස්සයෙක් නානා කියල. දවසක් මේ නානා ළිඳකට ගියාලු වතුරටිකක් ගන්න. ඉතින් බොලේ වෙච්ච ඇබැද්දියක මහත කියන්නේ මේ යෝදය පය ලිස්සලා ළිඳට වැටිලා. ඉතින් මිනිහා ළිඳ ඇතුලේ ජබ ගහ ගහ ඉන්නකොට ඒ අහලින් ගිය මනුස්සයෙකුට අහම්බෙන් වගේ මේ සද්දේ ඇහිලා තියෙනවා. මිනිහා නිකමට වගේ ඇහුවලු කවුද ළිඳේ කියලා. නානා එක පාරටම උත්තර දුන්නලු මම නානා කියලා. අර මනුස්ස්යත් කියපි එහෙනම් නාගෙනම වරෙන් කියලා. බැලින්නම් මිනිහට ඒක ඇහිල තියෙන්නේ මම නානවා කියන්න වගේ. ඇයි ඉති නානා ළිඳ ඇතුලෙනේ. කොහොමෙන් කොහොමෙන් හරි නානා මුලු දවසම ළිඳේ ඉඳල බොහොම අමාරුවෙන් ගොඩ ආවේ ළිඳට ආපු තව මනුස්සයෙකුගේ උදවුවෙන්.

Thursday, June 19, 2014

දේශපාලකයෙකුගේ රසකතාවක්


ඔන්න මේකතාව අපේ රටේ දේශපාලකයෙකුට වෙච්චි වැඩක් ගැන. කවුරු කවුරුත් දන්නවනේ ඉතින් අපේ දේශපාලනේ හැටි. දේශපාලකයෝ ඉතින් තමන්ගේ දේශපාලන චරිතේ පුම්බගන්න පුලුවන් හැම උත්සහයක්ම ගන්නවනේ. මේ අයට සාමාන්‍ය වශයෙන් මළ ගෙවල්, මගුල් ගෙවල්, පිරිත් ගෙවල් ඕන එකක් ඔට්ටුයි. එහෙම තැන් වලට ටිකක් හොට දාලා තමන්ගේ ප්‍රදේශයේ චන්ද දායකයෙක්නම් මනුස්සයා ගැන වර්ණනා කරලා පොඩි කතාවක් එහෙම කරලා යන්න මේ අය හරි දක්ෂයි.
                                      ඉතින් මේ සිද්දියත් ඒ වගේම එකක් ඕං. දවසක් එකතරා දේශපාලකයෙක් තමන්ගේ චන්ද බල ප්‍රදේශයේ පොඩි සංචාරයක් දානා ගියාලු. ඒ යන අතරමගදී එක්තරා නිවසක මරනයක් සිදුවෙලා තියෙන බවක් මේ මනුස්සයා දැක්කා. ඒ වෙනකොට අහල පහල අයයි මැරුන කෙනාගේ නෑ හිතමිතුරු කට්ටියයි සෑහෙන පිරිසක් මළ ගෙදරට එක් රැස්වෙලා තමයි හිටියේ. ඔන්න ඉතින් අර දේශපාලකතුමාත් මේ අවස්ථාවෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න කියලා හිතාගෙන මළගෙදරට රිංගුවා මිනිහගේ ගෝලබාලයොත් එක්ක. ඔන්න ඉතින් මිනිහා ගෙදර අයට පුලුවන් හැටියට උදවු පදවු ටිකක් කරලා යන්න ඉස්සර වෙලා රැස්ව හිටපු පිරිස අමතලා වචන ස්වල්පයක් කතා කරන්න හිතුවා.
                                         ඔන්න මනුස්සයා ඉතින් පුරුදු විදිහට කතාව පටන්ගෙන මියගිය කෙනාගේ ඥාතීන්ට තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරලා එහෙම ගුණ කථනය පටන්ගත්තා. ඒ වෙනකොට අපේ දේශපාලකතුමාට එහෙන් මෙහෙන් කනට වැටිල තිබුණේ මැරිච්ච කෙනා දොස්තර කෙනෙක් කියලා. ඉතින් ඒ අනුව තමන්ගේ ගුණකථනය මෙයා ඉදිරියට කරගෙන ගියා. එහෙම කරගෙන යද්දී වැඩි ලකුණු දාගන්න බොරුවට කිවුවලු අනේ අපේ තාත්තත් ලෙඩවෙලා හිටපු දවසක මේ දොස්තර මහත්තයාගෙන් බෙහෙත් අරන් තමයි සුව උනේ කියලා. මේක අහගෙන හිටපු මළ ගෙදර මිනිස්සුන්ට ශෝකය ටිකකට අමතක වෙලා හිනා පහල උනාලු. හැමෝම මූනෙන් මූන බලාගෙන සිනාසෙන ගමන් අර මනුස්සයගේ කතාව අහගෙන හිටියා. බැලින්නම් සිද්ධිය මේකයි, මැරිලා තියෙන්නේ දොස්තර කෙනෙක් උනාට එයා පශුවෛද්‍යවරයෙක්ලු. ඉතින් අර දේශපාලකතුමාගේ මොළේ තරම ගැන රැස්වෙලා උන්නු කාට කාටත් හොඳ වැටහීමක් එදා ලැබිල තියෙනවා. 

Tuesday, June 17, 2014

අලුත් වාහනේට ආශිර්වාදය ලබාගත්ත හැටි

  

ඔන්න දවසක් සිංහල මනුස්සයෙකුයි දෙමළ මනුස්සයෙකුයි මුස්ලිම් 
මනුස්සයෙකුයි සල්ලි දාලා හවුලේ වාහනයක් ගන්න අදහස් කළාලු. ගත්තේ බස් එකක් පාරේ දාලා දුවල කීයක් හරි හම්බ කරගන්න. ඉතින් මේ තුන්දෙනා කතා කරගත්ත විදිහටම තීරනයකට ඇවිල්ලා තුන්දෙනාගෙම සල්ලි වලින් බස් එක ගත්තා. දැන් ඉතින් ඉස්සරෝම සුභ කටයුත්තකට අත ගහනකොට ආගමේ ආශිර්වාදයත් ගන්න එපායෑ. එහෙම හිතලා සිංහල මනුස්සයා මුලින්ම වාහනේ අරන් පංසලට ගිහිල්ල පිරිත් කියලා සුක්කානම වටේ පිරිත් නූලක් ගැටගහගත්තලු. දෙමල මනුස්සයා වාහනේ කෝවිලට ගෙනියලා සුක්කානමේ පඬුරක් ගැටගැහුවලු. එහෙම කරලා ඒ දෙන්නා ඇවිත් අර මුස්ලිම් මනුස්සයාට කිවුවලු අපිනම් ආගමේ විදිහට ආශිර්වාදෙ ගත්තා දැන් උඹත් ආගමේ විදිහට කැමති දෙයක් කරපන් කියලා. මුස්ලිම් මනුස්සයා වැඩිය බල බල හිටියේ නෑ වාහනේ ගරාජ් එකකට ගෙනියලා බාස් කෙනෙකුගෙන් යකඩ කපන කතුරක් ඉල්ලගත්තලු. එහෙම ඉල්ලගෙන මිනිහ වාහනේ දුම් බටෙන් අඟලක විතර කෑල්ලක් කපලා දැම්මලූ. ඔන්න ඉතින් බ්ලොගේට දැම්ම කතාව මතක් උන වෙලාවේ.

Sunday, June 15, 2014

ජඩ මාධ්‍ය මාෆියාවේ ප්‍රතිමූර්තිය

  
පකිස් පෙට්ටියට මේ වගේ දෙයක් ලියලා දාන්න හිතුනේ අපි නිතර යන එන බ්ලොග් එකක පලවෙච්ච ලිපියක් කියෙවුවට පස්සේ ඕං. මේකට මුල් වෙලා තිබුණේ දිවයින පත්තරේ පලවුන කතුවැකියකින්  ප්‍රකාශ වුන දෙයක්. එය සැබවින්ම ආන්දෝලනාත්මක හා කතා කළ යුතුම් මට්ටමේ සිද්ධියක් ලෙස හැඟී ගිය නිසා පකිස් පෙට්ටියටත් මේ ගැන යමක් දැම්මොත් හොඳයි කියලා මටත් හිතුනා. ලිපියෙන් මගේ අදහස ඉදිරිපත් කිරීමට පෙර අමාවක බ්ලොග් පේජ් එකේ පලවුන ලිපියෙන්  උපුටාගත් කොටසක් ඉදිරිපත් කරන්නම්. එවිට කාට කාටත් කාරනාව පැහැදිලි වෙයි කියලා හිතනවා. උපුටා ගැනීම  පහත දැක්වේ.
  
"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත. කොහොමටත් ස්‌ත්‍රී දූෂකයන්ට හෝ ළමයින් අපහරණය කරන අයට මරණ දණ්‌ඩනය දෙන්නේ ද නැත. ඒ නිසා ආයුධ බැලීමට යැමේදී හෝ මේ අපරාධකරුවන්ට මරණ දණ්‌ඩනය හිමිවිය යුතු බවට මතයක්‌ සමාජ සාධාරණත්වයට ගරු කරන ජනතාව තුළ ඇත. ඒ නිසා ආයුධ පෙන්වන නීතිය අපරාධකරුවන් එක්‌ක යැමට මග වියදම් හෝ යාන වාහන පොලිසියට නැත්නම් ඒවා තම සාක්‌කුවෙන් හෝ ලබාදීමට පොදු ජනතාව එකඟ බව අපගේ විශ්වාසය ය.
එහෙත් දේශපාලනය බලවත් වන තැන සහ පොලිස්‌ නිල බලය මතුවන තැන පෙර කී "ආයුධ ටි්‍රප් එක" යැමට පොලිසියට ද බැරි වෙයි. තරුණ කොල්ලන් දෙදෙනකුට දස වධ දී වෙඩි තබා මැරවූ අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ව සිටි කාකි කෝට්‌කාරයාට ආයුධ පෙන්වීමට යැමට පොලිසියට බැරි විය. එසේම විදේශික කාන්තාවක්‌ දූෂණය කළ කිහිපදෙනෙක්‌ම ආයුධ ටි්‍රප් එක 'මිස්‌වීමෙන්' දැනට 'ඇතුළේ' හෙවත් හිරගෙදර සිටිති. මුන්ට බත් ගිල්ලවීමට සිදුවී ඇත්තේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. කුඩුකාරයන් වැඩි දෙනකුට ද ආයුධ බැලීමට යැමට බැරි විය. මේ අය එක්‌කෝ ආයුධ පෙන්වීමට ගෙන යා යුතුය. නැත්නම් මාංචු පිටින් ගඟට පැන පිහිනීමේ මහා තරගයට සහභාගි කරවිය යුතු ය. ප්‍රාණඝාතය පව් තමයි. එහෙත් සමාජය හදන්නට නරක උන් දෙතුන් දෙනකු යම ලොවට යෑවිය යුතුම නම් කුමක්‌ කරන්නද?"
                    
http://bitternight.blogspot.com/2014/05/blog-post_22.html

\\"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත.\\

ඉහත වාක්‍ය ඛණ්ඩයෙන් පුවත්පත් කතුවරයා කියා ඇත්තේ කුඩු කාරයන්ට හා ස්ත්‍රී දූෂකයන් වැනි අයට මරන දඬුවම දියයුතු බවත් එය මුලු සමාජයම ඉල්ලා සිටින බව හා එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන නිසා එවැනි වැරදි වලට සැකපිට අතඩංගුවට පත්වන්නන් ආයුද පෙන්වීමට යැයි කියා ගෙනගොස් මරා දැමීම සාධාරන බවයි. දිවයින කතුවරයා කුඩු මුදලාලිලාට දෙන දඬුවම ගැන කතා නොකර කුඩුකාරයන් ගැන කතාකිරීම එක ප්‍රෙහෙලිකාවක්. ඇතැම් විට කුඩු කාරයන් යන්නෙන් සියලු දෙනා ඇඟෙවුවද දන්නෙත් නෑ. අනෙක ස්ත්‍රී දූෂකයන් ගැන කතා කරනකොටනම් ඔය දූෂණය මනින්නට යන ක්‍රමවේදය ගැන බරපතල ගැටළු තියෙනවා. ඒ වගේම බොරු චෝදනා එල්ල වීමේ අවධානම ත් ලිංගික කරුණු සම්බන්ධයෙන් කෙනෙකුට කෙනෙක් අවංක නොවීමත් කියන සිද්ධි එක්ක බලනකොට ස්ත්‍රී දූෂණ ඔප්පු කරන එක ලේසි පහසු කටයුත්තක් වෙයි කියලනම් කොහොමත් හිතන්නට බෑ.
                              
   දිවයිනට විතරක් නොව ලංකාවේ බොහෝ පත්තර වලට මරන දඬුවම් උමතුවක් කලක සිට ඇත. මොවුන්ට මරන දඬුවම් උමතුව තිබුණත් එයින් පමණක් ප්‍රශ්න විසඳන්නේ කෙසේදැයි ඔවුන් විග්‍රහ කරන්නේත් නැති බව පැහැදිලියි. සේරටම වඩා භයානක දේ මේ ජඩ මාධ්‍යකරුවන් නීතියේ ඇති අඩුපාඩු නොකියන එක. අපි කවුරුත් දන්නවා සාමන්‍ය වශයෙන් පොලීසියත් නීතියත් දුප්පත් පොහොසත් කම අනුව වෙනස් ආකාරයකට ක්‍රියා කරනව කියලා.ඒ වගේ තත්වයක මරන දඬුවම් දෙන්න ගියොත් සල්ලි කාරයෝ වැරදි කරලා බේරෙයි දුප්පත් අහිංසකයෝ ගස් යයි නැති වැරදි වලටත්. මේව දිවයින වගේ පත්තර කතුවරුන්ට නොතේරෙනව නෙවෙයි. ඔවුන්ට මේ දේවල් තේරුනත් හිතුවක්කාරකමකින් හා උඩඟුකමකින් ඔවුන් කියාසිටින්නේ වැරදි ඇතිව හෝ නැතිව මිනිසුන් එල්ලුම් ගස් යවා මරා දමන ආකාරය දැකීමෙන් බියට පත්ව වෙනත් අය වැරදි නොකරනු ඇත යන කතාවයි.
                              
        මිනිසුන් එල්ලුම්ගස් යවා මරා දමන ආකාරය දැකීමෙන් දිවයින පත්තර භාශාවෙන්ම දිවයිනේ කතෘවරයා කාලකන්ණි සන්තෝශයක් ලබන්නේදැයි අප දන්නේ නැත. එහෙත් මේ කාලකන්ණි කතුවැකිය පුරාවට අඟවා තිබෙන ජඩ මාධ්‍ය ප්‍රතිපත්තිය හා දිවයින කතුවරයාගේ මානසිකත්වය මේ රටේ සුදුවන අපරාධ වලටත් වඩා භයානක බවනම් කිවයුතුයි. එසේ කියන්නේ මේ තුට්ටු දෙකේ පත්තර කාරයා නීතියේ හා පොලීසියේ අඩුපාඩු ගැන කතා නොකර තම හිතුවක්කාර මිනුම් දඬුවට අනුව මරන දඬුවම ක්‍රියාත්මක කළයුතු බවටත් එසේ බැරිනම් සැකකරුවන් වරදකරුවන් බව ඔප්පු නොකර ආයුද බලන්නට යැයි කියා රැගෙනගොස් පොලිස් වෙඩි පහරින් මරා දැමියයුතු බවටත් පාරම්බාන හින්දාය.
                              
   පොලීසිය ජරාවකන බව මේ රටේ කිසිවෙකුටත් අමුත්තක් නොවේ. එලෙසම සල්ලිකාරයන් හමුවේ එක් විදිහකටත් දුප්පතුන් හමුවේ තව විදිහකටත් පොලීසිය ක්‍රියා කරයි. නීතිය ගැන කියන්නට ඇත්තේත් මීට වෙනස් දෙයක් නොවේ. පෙරකදෝරුවන් නඩු කතා කරන්නේ පිනටද? ඔවුන් තමන්ට වැඩි වාසියක් අත්කරදෙන පාර්ශවය වෙනුවෙන් පෙනීසිටීමට වගබලාගන්නේ විත්ති පාර්ශවය ඇත්තෙන්ම වරද කර තිබුණත් කෙසේ හෝ නිදොස් කර නිදහස් කරගැනීමේ අරමුණින්. ඒ වගේම වරදක් නොකර සැක පිට අත්ඩංගුවට ගන්නා පුද්ගලයන්ට බලෙන් වරද පැටවීමට ඇති ඉඩකඩක්ද තිබේ. කිසියම් වරදකට සැකපිට අතඩංගුවට ගත් පුද්ගලයෙකු දුප්පතෙකුනම් ඔහු වෙනුවෙන් පෙරකදෝරුවන් පෙනීහිටීමට ඉදිරිපත් වන්නේ නැත. අනෙක් අතට එවැන්නෙකුට ඇපදීමටවත් ඒ පුද්ගලයාගේ නෑහිතවතුන්ට හැකියාවක් නොතිබෙන්නටද පුලුවන. යම් වරදකට සැකපිට යම් වත්පොහොසත්කමක් ඇත්තෙකු හා දුප්පත් කෙනෙකු සැකපිට අතඩංගුවට පත්වුවොත් පොහොසත් කෙනා ඇත්ත වරදකරුවා වුවත් ඒ බව වසන් කර දුප්පත් කෙනාට වරද පැටවීමේ යම් ප්‍රවනතාවයක්ද මේ අනුව ඇතිවේ. දිවයින පත්තරේ බකපණ්ඩිත කතුවරයාට අප කියන්නේ එල්ලුම්ගස් ගැනයි මරන දඬුවමයි ගැන කතා කරන්න ඉස්සර වෙලා මේ අඩුපාඩු ගැන කතාකරොත්  හොඳයි කියන එක. ඒ ටික කරන්නේ නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ සරල භාශාවෙන් නිකම් ගොන් කතා නොකියා හිටපන් කියන එක මිස වෙන මොකක්ද?

Thursday, June 12, 2014

මෙට්‍රික් ක්‍රමයට හැරිච්ච කාලේ මතක කාටද?




මේ කතාව මම අහපු එකක්. නමුත් ඔය දේවල් වෙච්චි කාලේ මම ඉපදිලත් නෑ. සමහර විට අපේ යාළුන්ගෙන් කාට කාට හරි මේ රසවත් සිද්ධිය මතක ඇති. ඔන්න ඉතින් මේකයි කතාව. ඔය කවුරු කවුරුත් දන්නවනේ මිනුම් ක්‍රම ගැන. ඒ වගේම වර්තමානයේ මිනුම් කටයුතු කරද්දී භාවිතා වන මෙට්‍රික් ඒකක භාවිතයට එන්න ඉස්සර වෙලා පාවිච්චි වුනේ පැරණි සීජීඑස් ක්‍රමය කියලත් ගොඩක් අයට මතක ඇති. ඒ කියන්නේ අපි හිතුවොත් උදාහරනයකට දිග මැනීම කියලා පැරණි ඒකක ක්‍රමයට යාර, අඩි, අඟල් තමයි භාවිතා වෙන්නේ. මෙට්‍රික් ක්‍රමයටනම් මීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර්. මුළු ලෝකෙම මෙට්‍රික් ක්‍රමයට ඒකක ගණනය කිරීම් සම්මත කරගන්නකොට ලංකාවෙත් මේ වැඩේ උනා. ඒ කාලේ අපේ රටෙත් පාසල් ළමයි ඇතුලු පිරිස් මේ ගැන විවිධ බැනර් ප්‍රදර්ශනය කරමින් බස් බොඩි වල ලියමින් හරි උනන්දුවෙන් මේ පණිවිඩේ රටටම ගෙනියන්න කටයුතු කළාලු. ඔන්න ඉතින් මෙහෙම බිත්ති වල බස් බොඩි වල ලියපු වදන් වැකි බොහොමයක සඳහන් උනාය කියන්නේ "අපිත් මෙට්‍රික් ක්‍රමයට හැරෙමු" කියන වාඛ්‍ය ඛණ්ඩය. ඔය අතරේ සමහරු විහිලුවට මේ වාක්‍යයේ "හැරෙමු" කියන කෑල්ලේ (හැ ) යන්න මැකුවලු. දැන් මේක කාටත් පෙනුනේ       " අපිත් මෙට්‍රික් ක්‍රමයට  රෙමු" කියලා. මේක ඒ කාලේ සෑහෙන විනෝදාශ්වාදයක් ඇතිකරපු සිද්දියක් වෙලා තිබුණ කියලත් ආරංචියි ඕං.

Tuesday, June 10, 2014

සිග්නල් හුටපටේ

             

මේකත් පුංචි රසකතාවක් ඕං. ඉතින් මෙන්න මෙහෙමයි සිද්ධිය. දවසක් එක්තාරා යාළුවෝ දෙන්නෙක් පොඩි පාටියකට ගිහිල්ල මත්පැන් එහෙම ටිකක් විතර සප්පයම් වෙලා ලාවට වැදිල ඉන්න වෙලාවේ යන්න පිටත් උනාලු. ඒ වෙනකොට තරමක් රෑ බෝවෙලයි තිබුණේ ඔන්න. ඉතින් දෙන්නත් එක්ක යන්න පිට ටුනේ එක යාළුවෙකුගේ කාර් එකෙන්. ඔන්න ඉතින් ටික දුරක් වාහනේ පදවගෙන යනකොට පොඩි අකරතැබ්බක් උනාලු මගදි. උනේ හදිසියේම හෙඩ් ලැයිට් ක්‍රියා විරහිත වීම. සමහර විට ෆියුස් පිච්චෙන්න ඇති. හේතුව මොක උනත් දැන් දෙන්නට ගානට වැදිල හින්ද ලෙඩේ හොයන්නත් අමාරුයි. දැන් ඉතින් මොකද කරන්නේ?. ඔන්න එක්කෙනෙකුට පොඩි අදහසක් පහල උනා. මිනිහා කිවුවා කාර් එක එලවගෙන ගිය යාළුවාට අපි යන දිහාවටම යන වෙන වාහනයක් පස්සෙන් යමු කියලා. අනෙක් යාළුවත් ඒක අනුමත කරලා දෙන්නම දැන් ඒ පැත්තට යන වාහනයක් පස්සෙන් ඒගොල්ලන්ගේ කාර් එකත් එලවගෙන ගියා ඕං.
               ඔන්න ඉතින් කිසි කරදරයක් නැතිව වාහනේ එලවපු යාළුවා බොහොම සාර්ථකව අර ඉදිරියෙන් යන වාහනේ ෆලෝ කරා. මෙහෙම ඒ වාහනේ පස්සෙන් සෑහෙන දුරක් ගියාට පස්සේ ඔන්න අර ඉස්සරහෙන් ගිය වාහනේ එක පාරටම නැවැත්තුවාලු  කිසිම සිග්නල් එකක්වත් නොදී. සිග්නල් ඉතින් බ්‍රේක් තමයි. ඒත් පස්සෙන් ගිය යාළුවෝ දෙන්නට පොඩ්ඩක් වැදිල හින්ද මේ කිසිදෙයක් එච්චර ගානක් නෑ. හිටපු ගමන් මේ වෙච්ච වැඩේට වාහනේ එලවපු යාළුවට පොඩි කේන්තියකුත් ආවා. මිනිහා කාර් එකෙන් බැහැලා අර ඉස්සරහ වාහනේ එලවපු මනුස්සයගෙන් ඇහුවලු තමුසේ මොකද ස්ලෝඩවුන් සිග්නල් එකක්වත් අතින්හරි දාන්නේ නැතුව එකපාරට වාහනේ නැවැත්තුවේ කියලා. දන්නැද්ද ඉතින් ඩෝප් ගතියත් තිබුනනේ. මෙහෙම අහද්දී අර ඉස්සරහ වාහනේ මනුස්සයා ඇහුවලු. යකෝ මගේ ගෙදර මිදුලේ මගේ වාහනේ නවත්තන්න තමුසෙලට සිග්නල් දෙන්නේ මොන මගුලටද කියලා. බැලින්නම් අර දෙන්නා ඉස්සරහින් ගිය වාහනේ පස්සේ ඒ මනුස්සයාගේ ගෙදරටම ගිහිල්ලා.
 
                                      

Thursday, June 5, 2014

ලිංගික උපදෙස් වැඩසටහනක රසකතාවක්

ඔන්න දවසක් දා වෛද්‍ය කණ්ඩායමක් සාමාන්‍ය ජනයා සහභාගී කරවාගෙන ලිංගිකත්වය ආශ්‍රිත ගැටළු ආදිය සාකච්ඡා කරන වැඩසටහනක් පවත්වන්න තීරනය කළාලු. ඔන්න ඉතින් දිනයක් යොදාගෙන සැලසුම් කරපු විදිහටම මේ අය වැඩසටහන පටන්ගත්තා. මේ වැඩසටහනට බොහොම උනන්දුවෙන් කට්ටිය සහභාගී වෙලත් තියෙනවා. ඉතින් වැඩසටහන පටන්ගෙන බොහොම සුහදශීලීව මේ වැඩසටහනට සහභාගී වූ අයත් එක්ක අදහස් හුවමාරු කරගනිමින් වෛද්‍ය උපදේශන කණ්ඩායමත් බොහොම සාර්ථකව කටයුත්ත ඉදිරියට කරගෙන ගියා.
                 ඔන්න මෙහෙම වැඩසටහන කරගෙන යද්දී ප්‍රජනනය ගැන දැනුම ලබාදෙන කොටසට අවතීර්ණ උනා. උපදේශන මඩුල්ල ප්‍රජනන ක්‍රියාවලිය ගැන විස්තර කරන ගමන් අදාල දේශනය පවත්වපු වෛද්‍ය නිලධාරියා, කාන්තාවක් ගැබ්ගැනීමට හා දරුවෙකු ලැබීමටනම් අනිවාර්‍ය ලෙසම පිරිමියා ඇය සමග යෝනි මාර්ග සංසර්ගයේ යෙදියයුතු බවත් කිසිවිටක ගුද මාර්ගික සංසර්ගයෙන් දරුවන් නොලෑබෙන බවත් කියමින් ඒගැන කරුණු පැහැදිලි කළාලු. ඔන්න බොලේ මේක අහගෙන හිටපු එක වැඩිහිටි පුද්ගලයෙක් විහිලුවටද මන්දා ඇහුවලු එහෙම කොහොමද වෙන්නේ, ගුද මාර්ග සංසර්ගයෙන් ළමයි හම්බවෙන්න බැරිනම් කොහොමද මේ රටේ මෙච්චර දේශපාලකයෝ ඉන්නේ කියලා. අපේ රටේ සමහර දේශපාලකයන්ගේ වැඩ දැක්කහමනම් කතාව ඇත්තද කියලත් හිතෙනවා. ඉතින් මතක් වෙච්ච වෙලාවේ හිනා කතාව බ්ලොගේ දැම්ම ඕං.

Wednesday, June 4, 2014

චීන මහා ප්‍රාකාරය තුලින් රිංගන ඩේවිඩ් කොපෆීල්ඩ්


චීන මහා ප්‍රාකාරය තුලින් මනුස්සයෙක් රිංගන මේ දර්ශනය විශ්වාස කරන්නත් පුලුවන්ද බලන්න. මැජික් උනත් හරිම අද්භූත සිදුවීමක්.


Sunday, June 1, 2014

සැමියගේ පටලැවිල්ල




ඔන්න තවත් පොඩි රසකතාවක් කියන්නයි මේ සූදානම. මේකත් වෙලා තියෙන්නේ ටිකක් ඈත ගමක. ඔන්න මෙහෙමයි සිද්ධිය ඕං. මේ ගමේ කසිප්පු ගුබ්බෑයමක් පටන්ගෙන කරගෙන යන්න පටන්ගත්තලු ටිකක් මදාවි වැඩ කරපු මනුස්සයෙක්. මේ වැඩෙත් එක්ක ඉතින් ගමේ මිනිස්සු මතට පුරුදු වෙන්න පටන්ගත්තා. ඔන්න ඉතින් ඒත් එක්කම ගැමියන්ගේ ආර්ථික තත්වය වගේම සෞඛ්‍යතත්වය වගේ දේවලුත් ටිකෙන් ටික පිරිහෙන්න ගත්තේ ඉබේටම. ඔක්කොටම වඩා පවුල් ප්‍රශ්න ආරවුල් වැඩි වෙච්ච එක ගමටම හිසරදයක් උනාලු.
                   දැන් ඉතින් මේක ගමේ ගෑනු උදවියට හොඳටම දැනෙන්න පටන් අරගෙන. ගමේ ගොඩ දෙනෙකුට මේ තත්වය හිසරදයක් වෙලා මේකට පිළියමක් කරන්න එක එක සැලසුම් කරා. මේ අතර ගමේ කුලඟන සමිතිය ඇතුලු කාන්තා සමිති වලිනුත් එක එක යෝජනා ගෙනැත් පවුල් ප්‍රශ්න වලදී කාන්තාවන් කෙසේ ක්‍රියා කළයුතුද කියන එක සාකච්ඡා කරන්න පොඩි රැස්වීමක් කැඳෙවුවලු ගමේ ගෑනු උදවිය එකතු කරගෙන.
              ඉතින් රැස්වීම පටන් අරගෙන එක එක ප්‍රශ්න කතා කරලා තම තමන්ගේ ස්වාමි පුරුෂයන් එක්ක රණ්ඩු වෙන්නේ නැතිව හැකි තරම් මේ ගැටළු විසඳගන්න පුළුවන්නම් ඒකට මුල් තැනක් දෙන්න කට්ටිය තීන්දු කරගත්තලු. මේ අතරේ රැස්වීමේ මුලසුන ගෙන කතා කළ ගෑනු කෙනා කිවුවලු මේවගේ ප්‍රශ්නවලදී සැමියාට ආදරයෙන් කතා කර ප්‍රශ්න විසඳාගන්න උත්සහ කරන්න කියලා. ඔන්න බොලේ මේක කිවුව ගමන්ම වැඩසටහනට සහභාගි වෙලා හිටපු එක ගෑනු කෙනෙක් නැගිටලා කිවුවලු සැමියා ගැන මම බලාගන්නම් මේ ගමේ ඉන්න අනෙක් පත්තිතිනි අම්මලා එයාට ආදරෙන් කතා කරන්න ඕන නෑ කියලා. දැන් සංවිධායක මඩුල්ලම බැලුවලු මොකක්ද මේ හතර බීරි කතාව කියලා. බැලින්නම් මේකයි සිද්ධිය. අර සැමියා ගැන එයා බලාගන්නම් කියලා කියලා කියපු ගෑනු කෙනාගේ මනුස්සයගේ නම "සැමී" ලු. ගමේ අය මිනිහට කියන්නේ "සැමිය" කියලා හරියට නිකම් නලීන් අයියට නලියා කියනවා වගේ. ඉතින් මේ ගෑනු කෙනා අර කතාව වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ "සැමියා" කියලා හැමෝම කියන එයාගේ මනුස්සයට ආදරෙන් කතා කරන්න කියලා ගමේ ඔක්කොම ගෑණු අයට කිවුවා කියලා. කොහොමෙන් කොහොමෙන් හරි කතාව පත්තරේටත් ගියා ඕං. රසවත් සිද්ධියක් මතක් වෙච්ච වෙලාවේ මමත් ඒක බ්ලොගේ දැම්මා අපේ යාළුවො සේරටම කියවල ටිකක් හිනා වෙන්න.

Tuesday, May 27, 2014

දියමන්ති ගැන දැනගන්න




දියමන්ති ගැන අහපු නැති කෙනෙක් හිටියොත් ඒ බොහෝ කලාතුරකින්. දියමන්ති ගැන සාමාන්‍ය වශයෙන් අපි දන්නේ මොනවද? ගොඩක් අය කියයි දියමන්ති වල වටිනාකම ඉහලයි කියල. සමහර විට කෙනෙක් කියයි දියමන්ති වීදුරු කැපීම වගේ කටයුතු වලට යොදාගන්නවා කියලා. ඒ දියමන්ති වල තියෙන අසාමාන්‍ය දැඩි බව නිසා. දියමන්ති කියන්නේ කාබන් මූලද්‍රව්‍යයේ තවත් එක් ආකාරයක් බවත් සාමාන්‍ය දැනුමෙන් ගොඩ දෙනෙක් දන්නවා ඇති.
                      
 
  දැලි කුඩු හා මිනිරන් කියන්නෙත් කාබන් වලම තවත් ආකාර දෙකක්. නමුත් දියමන්ති වල මේ ආකාරන්ට වඩා බොහෝ වෙනස් ස්වභාවය හා අසාමාන්‍ය දැඩි බව ඇති කරන්නේ කාබන් පරමානු එකට එක බැඳී තිබෙන ස්වභාවය හා ව්‍යුහය අනුවයි. වෙනත් කාබන් ස්වරූප වල මෙන්ම දියමන්ති වලද කාබන් පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳී ඇති අතර මේ බන්ධන සකස් වන ව්‍යූහය අනෙකුත් කාබන් විශේෂ වලට වඩා වෙනස් වේ. දියමන්ති වල කාබන් පරමානු දැලිස් ආකාරයට සහසංයුජ බන්ධනයන්ගෙන් බැඳී පවතින්නේ විශාල බලයන් දැරිය හැකි මට්ටමට එකිනෙකට ඉතා ශක්තිමත්ව බැඳෙමිනි. දියමන්ති වෙනත් කාබන් ස්වරූප වලට පරිවර්තනය වීමක් සිදුවුනත් එසේ පරිවර්තනය වන සීඝ්‍රතාවය ගනණය කළ නොහැකිතරම් කුඩාය.
                           දියමන්ති ඉහල උෂ්ණත්ව වලදී ද්‍රව වීම සිද්ධ උනත් ඒ අප සාමාන්‍යයෙන් සිතන ආකාරයේ ඉහල උෂ්ණත්ව තත්වයන් යටතේද නොව ඊටත් වඩා බෙහෙවින් ඉහල මට්ටම් වලදීයි. එයද සිදුවන්නේ අධික පීඩනයක් යටතේය. සාමාන්‍යයෙන් 3500 °C උෂ්ණත්වයක් හා සාමාන්‍ය වායුගෝල පීඩනය මෙන් 63.5 ගුණයක පීඩනයක් යටතේ දියමන්ති ද්‍රව තත්වයට පත්වේ. දියමන්ති පතල් වලින් කැණීම් කටයුතු කර ලබා ගත්තද එසේ පොළවේ මතුපිට ආසන්නයට දියමන්ති පැමිණෙන්නේ ගිණිකඳු පිපිරීමෙන් පසු ගලා යන ලාවා ස්ථර ඝණ වීමෙනි. ඒ අධික උෂ්ණත්ව හා පීඩන තත්වයන් යටතේ පොළව මතුපිට සිට කිලෝමීටර් 150ක් 190ක් පමණ ගැඹුරේදී කාබන් විපර්‍යාසයන්ට ලක්වීමෙන් උත්පාදනය වන දියමන්ති ගිණිකඳු පිපිරී මැග්මා ධාරාවන් ගලායෑමත් සමගයි. වර්තමානයේ දියමන්ති ආකර වල තිබෙන්නේ වසර දහස් ගණනකට ඉහත මෙලෙස පොළව මතුපිට ආසන්නයට පැමිණි දියමන්ති ප්‍රමාණයන් වේ. දියමන්ති වලට විශාල වටිනාකමක් ලැබී තිබෙන්නේ දුර්ලභ නිසා මෙන්ම එහි ඇති දෘඪ භාවය නිසා විවිධ කාර්මික හා තාක්ෂණික වැඩකටයුතු වලට යොදා ගැනීමේ හැකියාව නිසයි.

Sunday, May 25, 2014

පොඩි විකට රසාංගයක්

 

 ඔන්න ඉතින් අපේ යාලුවො කට්ටියට පොඩ්ඩක් විනෝද වෙන්නත් එක්ක පොඩි විකට ජවනිකාවක් එක්කළා. බලන්නකෝ වීඩියෝ එක. සමහර විට ඔයාල මේක කලින් බලලත් ඇති. නැවත නැවතත් බලලා රස විඳින්න පුලුවන් එකක් නිසයි දැම්මේ.



Thursday, May 22, 2014

පොල් ගහට ධාතු වැඩලා



ඔන්න එක්තරා ගමක ජීවත් වෙච්ච සාමාන්‍ය ගම් වැසියෙක් හිටියා ඒ තරම් වත්කමක් නැති. ඉතින් මේ මනුස්සයාට හරිහමන් රස්සාවක් කියල දෙයක් තිබිලත් නෑ. ඔහේ දවස ගෙවාගන්නේ එදාට මොනව හරි කුලී වැඩක් කරලා. කුලී වැඩනම් කොච්චර කියලා කරන්නද? ඇරත් පවුල් කාරයෙක් උන ඒ මනුස්සයා කුලී වැඩ වලින් හම්ම්බ වෙන සොච්චම් මුදල ජීවත් වෙන්න කොහෙත් ම ප්‍රමාණවත් උනේ නෑ. ඉතින් මේ වගේ අයට මොනව හරි අමතර ආදායමක් තියෙන්නත් එපායෑ. ඔන්න මෙයාටත් අමතර ආදායම් මාර්ගයක් තිබුණා. ඒ තමයි හොරාට පොල් කඩන එකැ. මොනව කරන්නද ඉතින් ජීවත් වෙන්නත් ඕනේ නිසා මිනිහා ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් විදිහට මේක තෝරාගත්තා. ඇරත් නිකම් පොල් වේලිලා වැටිලා ප්‍රයෝජනයකට නැති වෙන එකත් එක්ක බලපුවාම මේ වැඩෙ කාට හරි ප්‍රයෝජනවත් නේ. එහෙමයි කියලා මම මේ හොරකම හරි කියනව එහෙම නෙවෙයි ආයිබොවන්ඩ. එහෙමට කියලා ප්‍රශ්නයක් නැති උනත් වත්තේ පොල් ගස් එකක් දෙකක් තියෙන මිනිස්සු දවසේ උවමනාව සපුරාගෙන බෙදාහඩාගන්නෙත් ගහේ ඵලදාවම නිසා අර මනුස්සයාගේ පොල් හොරකම ඒ වගේ අයට ටිකක් දැනෙන මට්ටමේ එකක් උනා.
                                      ඔන්න ඉතින් අර පොල් හොරකමේ යන මනුස්සයා රාත්‍රී කාලයේ තමයි අමතර රාජකාරියට බහින්නේ. මේ වෙනකොට ගමේ කීපදෙනෙකුටම ඔය වැඩේ කරදරයක් වෙලා තිබිලත් තියෙනවා. එහෙමට මේක කරදරයක් වෙච්චි එක මනුස්සයෙක් පොල් හොරා අල්ලගන්න ක්‍රමයක් කල්පනා කරාලු. අර පොල් හොරා හැමදාම වගේ එකම වෙලාවට තමයි පොල් කඩන කාර්‍ය කරල තියෙන්නේ. ඉතින් ඔරා අල්ලන්න ගිය පොල්ගස් අයිතිකාරයට වැඩේ පහසු උනා. දවසක් පොල් හොරා එන වෙලාව මතක තියාගෙන ඉඳලා වත්ත අයිති කාරයා හෙමීට එලියට බැහැලා ටෝච් එකකුත් ඉනේ ගහගෙන. මිනිහා ගිහින් හොර රහසේ වත්ත අයිනේ පඳුරක් යටට වෙලා වත්තේ හතර මායිම ගැන හෝදිස්සි කළා. ඔන්න කිවුවත් වගේ පොල් හොරා වෙලාවටම ඇවිල්ලා වටපිට බලලා වත්තට ඇතුල් උනා.  ඇතුල් වෙලා හොඳ ඵලදාවක් තියෙන ගහක් බලලා හෙමීට ගහට නගින්න පටන්ගත්තා. අයිතිකාරයා හෙමීටම මේක බලාගෙන ඉඳලා ගහට කිට්ටු කළා. හැබැයි ගහේ බාගයක් දුර නැගල හිටපු පොල් හොරාත් අයිති කාරයා ගහ යටට එනවා දැක්කලු. දැන් ඉතින් මොකද කරන්නේ? වැඩේ අතටම මාට්ටු. පොල් හොරාට අපූරු අදහසක් ඔලුවට ආවේ ඔය අතරේ. මේ ගමේ ගොඩක් අය හොඳ සැදැහැවත් පිංවතුන් කියලත් මිනිහට මතක් උනා. මිනිහා එක පාරටම අනේ සාධු සාධු කියකියා ගහේ ඉතිරිටිකත් නගින්න තියාගත්තා හෙන සාධුකාරයක් දීගෙනම. පොල් ගස් අයිතිකාරයට මේක හෙන ප්‍රෙහෙලිකාවක්.
                                                අයිතිකාරයත් අතඇරියේනෑ. අර මනුස්සයා ගහෙන් බහිනකම්ම හිටියා. මිනිහා ගහෙන් බැස්සෙත් සාධුකාරය දීගෙනමයි. බැහැලා ගහ මුලට එනකොටම අයිතිකාරයා මිනිහා අල්ලගත්තා. අල්ලන ඇහුවලු පොල් හොරකමේ ආවේ ඇයි කියලා. පොල් හොරා ඩුන්න අපූරු උත්තරේට වත්ත අයිතිකාරයාටත් සිනා පහල උනේ ඉබේට. පොල් හොරා කිවුවලු පොල් ගහට සර්වඥ්ඥ ධාතු වඩිනවා මිනිහා දැකලා ධාතු වඳින්න ගහට නැග්ගයි කියලා. අනේ ඉතින් මේ ගොබිලා ගමේ මදාවි වැඩ නොකරන තලත්තෑනි අහින්සකයෙක් නිසා අයිතිකාරයත් ආයේ පැත්තපලාතේ හොරකමේ එන්න එපයි කියලා අඩපාලි කියලා මිනිහව අතඇරලා. හැබැයි ඉතින් මේ සිද්ධියෙන් පස්සේ තව වැඩක් වෙලා. ඒ තමයි සිද්ධිය ගම පුරා ආරංචි උනාට පස්සේ අර පොල් හොරකමේ ගිය මනුස්සයා පාරේ තොටේ දකිනකොට පොඩි එවුන් තරුණ කොල්ලෝ එහෙම "අනේ සාධු සාධු දාතු වැඩලා" කියලා කියනවලු. අරමනුස්සයාට සුද්ද සිංහල තමයි එවලෙට මතක් වෙන්නේ. ඔන්න ඉතින් ගමක වෙච්ච රසවත් සිද්ධිය මේ විදිහට ලියල දැම්මා විනෝදෙටත් එක්ක.

Monday, May 19, 2014

කරනවනම් පරිස්සමෙන් ඕං


මේකත් පොඩි රසකතාවක් තමයි. රස කතාවක් වගේම මේ වගේ වැඩ වලදි සුලු අතපසු වීම් කොහෙන් කෙළවර වෙනවද කියල හිතන්න පැත්තකුත් තියෙන එකක්. මේ අපූරු අකරතැබ්බ වෙලා තියෙන්නේ මීට කලකට ඉහත. ඒ කොටු පනින්න ගිය මනුස්සයෙකුට වෙච්ච පොඩි වැරදීමක් දුරදිග ගිහින් වැඩ සේරම පොරගේ ගෑනිට මාට්ටු වෙච්ච සිද්ධියක්.
                              
                          ඕං ඉතින් මෙහෙමයි සිද්ධිය වෙලා තියෙන්නේ. මේ කතාවට මුල් වෙච්ච මනුස්සයා විවාහක කෙනෙක්. ඒ උනාට මිනිහාට ටිකක් විතර කුකුල් වැඩ කරන්න හිත තිබුණා. ඒ නිසාම මේ මනුස්සයා වෙනත් ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වගෙන ගිහිල්ලයි තිබුණේ. ඔන්න ඉතින් කාලයක් යනකල් මේ ගැන මිනිහගේ කසාද ගෑනි දැනගෙන ඉඳලත් නෑ. ඒ කියන්නේ බොහොම පරෙස්සමෙන් කරල තියෙනව වැඩේ කාටත් නොදැනෙන්න. වැඩේ කියන්නේ මේ මනුස්සයා ගෑනු දෙන්නවම හොඳට මැනේජ් කරගෙනත් ගිහිල්ලා. අනියම් එක්කෙනා ගාවට හොර රහසේ ගිහිල්ලා එයාගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරලා සද්ද නැතුව ගෙදර එනවා. සමහර විට මිනිහගේ පවුල මිනිහා යන එන තැන් ගැන වැඩිය හොයන්නත් නැතුව ඇති.
                            කොහොම උනත් වැඩේ පත්තු වෙච්ච හැටි තමයි මෙතන තියෙන රසවත් සිද්ධිය. මේ මනුස්සයාගේ පවුල හැමදාම පුරුද්දක් විදිහට මෙයාගේ රෙදි ටික හෝදනවලු. ඕං ඉතිං දවසක් පුරුදු විදිහටම පවුල මේ මනුස්සයාගේ රෙදි ටිකත් අරගෙන හෝදන්න ලෑස්ති වෙනකොට සැකකටයුතු යමක් රෙදි ගොඩේ තිබිලා අහුවෙලා. ඒතමයි ගෑණු උදවිය අඳින මල් මෝස්තර දාපු ජංගියක්. මේක තමුන්ගේ එකකුත් නොවන වග වහා තේරුම්ගත් අර නෝනා මේක මෙයාගේ මනුස්සයාගේ රෙදි ගොඩට ආවේ කොහොමද කියලා සැක කරා. ගෑනි කිවුවත් වගේ සැක කරේම අර මනුස්සයා වෙනත් ගෑනියෙක් ආශ්‍රය කරනවා කියලා. මේක මෙතනට ආපු විදිහනම් ප්‍රෙහෙලිකාවක් තමයි. නමුත් ගෑණිගේ සැකයනම් එන්න එන්නම වැඩි වෙලා. අන්තිමට මෙයා අර ජංගියත් කෝටුවක ගහගෙන පොලීසියට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා.
               ඔන්න ඉතින් පොලීසියේ සුලු පැමිණිලි අංශය දක්වාම වැඩේ දුරදිග ගියාට පස්සේ තමයි අර මිනිහට එලොව පොල් පෙනුනේ. මිනිහා දැනගත්තා වැඩේ අතේ පත්තු උනයි කියලා. දැන් මිනිහට ප්‍රෙහෙලිකාව කොහොමද අර අනියම් භාර්‍යාවගේ ජංගි පොඩ්ඩ පොරගේ ගෙදරට ආවේ කියලා. බැලින්නම් වෙලා තියෙන්නේ මනුස්සයා කලින් දවසේ රෑ අර අනියම් බිරිඳගේ ගෙදර නිදාගෙන පාන්දර එලිවෙන ජාමෙට ඇවිල්ල තියෙන්නේ. ඉතින් පොඩි සෙල්ලමක් දාන්න ඇඳුම් ටික ගලවලා දෙන්නගේම ඇඳුම් තියල තියෙන්නේ එක තැන. එලිවෙන ජාමේ මද අඳුරේ අර මනුස්සයා ආපහු ඇඳුම් ටික අඳිද්දී පොරගේ ජොකා කියලා ඇඳගෙන තියෙන්නේ අර ජංගිය. වැඩේ තේරෙනකොට ප්‍රමාද වැඩියි.
                           කොහොම වෙතත් ප්‍රශ්නේ ගොඩක් දුර ගිහිල්ලා නෑ. මිනිහගේ වාසනාවට මේක ගොඩින් බේරගන්න පුලුවන් වෙලා. මේ බ්ලොග් අවකාශයේනම් මම හිතන්නේ නෑ කොටු පනින අය ඇතිය කියලා. මෙහෙම වැඩ හරිමයි කියලා මම කියන්නෙත් නෑ. කරා කියලා කරන එකා ගැන අමනාපෙකුත් නෑ. ඒත් ඉතින් පරෙස්සමෙන්. සිද්ධිය රසවත් නිසයි බ්ලොග් එකට දැම්මෙ ඕං.

Saturday, May 17, 2014

ඌට වේවැලක් තිබේ


මීට වසර ගණනාවකට ඉස්සර සිළුමිණ පත්තරේ ගැමි රස කතා කියලා හරි අපූරු කතා පෙලක් පළ වුනා මට තවම මතකයි. ඒ කතා වලට මුල් වෙලා තිබුණේ ගම් වල වෙච්චි රසවත් හාස්‍යජනක සිද්ධි. ඉතින් මේ කතාවත් මගේ මතකයේ රැඳුනු එකළ සිළුමිණ පත්තරේ පළවුන රසවත් කතාවක්. ඔන්න මෙහෙමයි සිද්ධිය.
               මෙය  එක්තරා ගම්බද පාසලක සිදුවූවකි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි විදුහලේ පහල පංතියක සිංහල භාශාව උගන්වමින් සිටි ගුරුතුමිය ළමයින්ට කපුටා ගැන වාක්‍ය රචනාවක් ලියන්නට කියා ඇත. ළමයින් සියලු දෙනා මහත් උනන්දුවෙන් එම කාර්‍ය කළෝය. වැඩේ අවසන් වූ පසු ගුරුතුමිය ළමයින්ගේ පොත් පරික්ෂා කර බලමින් ළමයින් ලියා තිබූ රචනා ඇගයීමකට ලක්කර අඩු පාඩුද පෙන්වා දෙන්නට විය. ගුරුතුමිය ළමුන් ලියූ රචනා වල පොදුවේ දුටු අඩුපාඩුවක් වී තිබුණේ "කපුටා කළුයි", "කපුටාට හොටක් තිබේ", "කපුටාට අත්තටු දෙකක් ඇත" යනාදී වශයෙන් සෑම තැනම කපුටා යන වචනය යෙදී තිබීමයි. ඒ ගැන සිය අවධානය යොමුකළ ගුරුතුමිය සිසු දරුවන් අමතා කියා ඇත්තේ එලෙස කපුටා යන යෙදුම ඕනාවට වඩා වැඩි වාර ගණනාවක් එක දිගට යෙදීමෙන් රචනාව තරමක් නීරස වන බවත් ඒ වෙනුවට "ඌ", "උගේ" ආදී වචන ගැලපෙන ලෙස යොදාගතයුතු බවයි. පංතියේ ළමුන් සියලු දෙනාද ගුරුතුමිය පෙන්වාදුන් මේ අඩුපාඩුව හොඳින් තේරුම්ගත් බවක් ද පෙනෙන්නට තිබුණි.
                              

      ළමුන්ගේ වාක්‍ය රචනාව ගැන එලෙස අදහස් දැක්වූ ගුරුතුමිය එදින පංතිය අවසානයේ ළමුන්ට උපදෙස් දී ඇත්තේ පසුදින පංතියට පැමිණෙන විට පාසලේ විදුහල්පතිවරයා ගැන රචනාවක් ලියාගෙන එන ලෙසටයි. ළමුන්ද පසුදින පාසලට පැමිණ ඇත්තේ ගුරුතුමිය කී කාර්‍ය ඒ ආකාරයෙන්ම ඉටුකරමිනි. සුපුරුදු පරිදි ළමුන්ගේ පොත් පරික්ෂා කර බැලූ ගුරුතුමියට සිනහ පහල වුනේ ඉබේටමය. ඒ කපුටා ගැන ලියූ වාක්‍ය රචනාවේ ගුරුතුමිය පෙන්වාදුන් අඩුපාඩුව ඉතා අපූරුවට විදුහල්පතිවරයා ගැන ලියූ රචනාවේදී ළමුන් මගහරවාගෙන තිබෙනු දැකීමෙනි. එහිදී අප පාසලේ විදුහල්පතිවරයා වන්නේ කියා නම ඇතුලත්කර ඒ මහතායි යනුවෙන් සඳහන් කොට ඉන් පසුවට ඌ දිනපතා බයිසිකලයෙන් පාසලට පැමිණේ, ඌ ජාතික ඇඳුමෙන් සැරසී පාසලට එයි, ඌට වේවැලක් තිබේ, යනාදී වශයෙන් ළමුන් විසින් විදුහල්පති යන යෙදුම වෙනුවට ගුරුතුමියගේ උපදෙස් පිළිපදිමින් "ඌ", "උගේ" වැනි වචන ගළපා තිබෙන ආකාරය ඇයට බලාගත හැකිවී ඇත.
                              
  මදක් කල්පනා කළ ගුරුතුමියට තමා කලින් රචනාවේ අඩුපාඩු පෙන්වාදීමේදී යම් අතපසු වීමක් සිදුවී තිබුණු බව වැඩි වේලාවක් යන්නට පෙර වැටහිණි. ඒ "ඌ", "උගේ" වැනි යෙදීම් සාමාන්‍ය වශයෙන් ලියන භාශාවේදී සතුන් සම්බන්ධයෙන් යොදාගත්තද මනුස්සයන් සම්බන්ධයෙන් එලෙස ඒ වචන යෙදීම නොකරන බව කීමට ඇයට අමතක වී තිබීමයි. කෙසේ වෙතත් මේ සිදුවීම කළකට අමතක නොවන රසවත් සිද්ධියක් විය.

Thursday, May 15, 2014

ඇනිමේෂන් ජෝක්






ඇනිමේෂන් ජෝක් ටිකක්. ඇඟේ ලේ පිරිසිදු කරගන්න.