Pages

Monday, August 31, 2015

වී අර්බුදය හා මතක් කර ගතයුතු අතීතය

මෑතක ඇතිවූ වී අර්බුදය මාධ්‍ය බොහොමයක ප්‍රධාන මාතෘකාව වෙලා. ඒ අතර පහුගියදාක අපට රූපවාහිනී ප්‍රවුර්තියකින් දැනගන්න ලැබුණා වී මිලදී ගැනීම කඩිනම් කරමින් අර්බුදය නිමා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නු බවක්. ඒ වගේම අගමැති උපදෙස් මත වී අලෙවි මණ්ඩලය ලහි ලහියේ වී මිල දී ගැනීමට කටයුතු කරන බවක්ද පුවත මගින් පෙන්නුම් කළා. එහිදී මාධ්‍ය මගින් පෙන්වා දෙන්නට උත්සහ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නුවනින් හා දක්ෂතාවයෙන් වී ප්‍රශ්නය සමතයකට පත් වන බවකුයි. මෙය පිටතින් බැලූ කලනම් අපටත් තේරුම් යන්නේ එය ඒ ආකාරයෙන්මය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකලාපය ගැන ටිකක් සොයා බැලූ විටනම් ඔහු විසින් මේ දැන් ගොවි ජනතාව ගැන ඇතිකරගෙන තිබෙන මහා අනුකම්පාව නිසා වී අර්බුදයට හදිසි විසඳුම් ලබා දීම වීරකමකට වඩා සිනහ උපදවන කාරනයක් වේ.
                      

පළමුවැන්න වී විකුනාගැනීමට නොහැකිව අසරන වූ ගොවියන්ට වී කිලෝව සඳහා රුපියල් 50 කෙසේ වෙතත් සහතික මිලක් වත් නැතිව රුපියල් 20 - 30 අතර මිලකට විකුනා දැමීමට සිදුවීමයි. එහෙත් මේ කතාවනම් ප්‍රවුර්ති වල උජාරුවට නොකිවුවේ වී කිලෝවට රුපියල් 50 සහතික මිල චන්ද පොරොන්දුවක්ව තිබූ බව ජනමාධ්‍ය බොහොමයක් දන්නා නිසාදැයි අපට නිකමට හැඟේ. ඒ මේ වෙනකොටත් බොහෝ ජනමාධ්‍ය එක්සත් ජාතික පක්ෂ හිතවතුන් වී සිටින ආකාරය දකින විටයි. කෙසේ වෙතත් වත්මන් පාරිශුද්ධ අගමැතිවරයාගේ අවංක හා දූෂිත බවෙන් තොර කම වැඩි නිසාදෝ මහ බැංකුවටද මහා පරිමාණ පාඩුවක් සිදු වී ඇති වාතාවරනයක් තුල මේ යලටයි මහටයි වපුරන ගොවියො ටිකකට පාඩුවක් වෙන එක ගනන් ගන්නට දෙයක්ද හිටං එක අතකට. ඕව කියන්න යන්න ඕන නෑ. ඔන්න ඔහේ අගමැතිතුමාගේ නියමයෙන් ගොවීන්ගේ වී ටික මිලට ගන්න වී අලෙවි මණ්ඩලය කටයුතු කළා කියල මාධ්‍ය වලින් රටට කිවුවහම ඇති හිටං.
                         
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අන පරිදි වී අලෙවි මණ්ඩලය අසරණ ගොවියන්ගේ වී මිලට ගෙන ඔවුන් සනසාලූ ප්‍රවුර්තිය ඇහෙනකොට අපිට නිකමට මතක් උනේ මීට කලින් රනිල් මහත්තය අගමැති වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින්ම වී අලෙවි මණ්ඩලය අහෝසි කර වසා දැමූ ආකාරයයි. මොන කරුමෙකට හරි මේක අපේ මෙමරියෙන් ඩිලීට් කරන්න බැරුව ඉතිරි වෙලා තිබුණා. ජල කලමනාකරනයද මොකද්ද මගඩියක් හරහා වතුරත් විකුණන ගමන් සල්ලි වලට ගෙදර ලිඳටත් බද්දක් අයකරන්න අන පනත් ගේන්න ගොවියන්ට ආදරේ ඇති රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වෙලා හිටපු ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම ලෑස්ති වෙලා හිටිය කියලත් මෙමරියේ කොහෙ හරි තිබිල එලියට පැන්න ඩිලීට් කරන්න බැරිවෙලා තිබිල. යටත්විජිතවාදයේම ගෝලයෙක් වෙච්ච වික්‍රමසිංහ මහත්තය අතීත වැඩ කිඩ සේරම අමතක කරල හදිස්සියේම වී අලෙවි මණ්ඩලයට ගොවියන්ගේ වී ටික මිලට ගන්න නියෝග දීල මාධ්‍ය සන්දර්ශනයක් දාගෙන වීරකමක් කරපු වෙලාවේ අපටනම්  පස්චාත් භාගයෙනුත් හිනා ගියා හිටං.

Friday, August 28, 2015

අමුතුවෙන් ලියන්න දෙයක් නෑ සංගෝ

මේ සටහන තබන්නේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතමයාගේ සමුගැනීම වෙනුවෙනි. ඒ ගැන යමක් නොකීවොත් අඩුවක් මෙන්ම ක්‍රිකට් රසිකයන් වන අප එක්තරා අතකට යුතුකමක් පැහැර හැරියා වෙනවා. ඉතින් සංගා ගැන අමුතුවෙන් කියන්න දේවල් නෑ කියලයි මට පෙනී යන්නේ. ඒ ඔහුව ලංකා වාසී සියල්ලෝම හොඳින් හඳුනන නිසාත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුගේ දක්ෂතා ගැන නියම තක්සේරුවක් ඔවුන් සියළු දෙනාට තිබෙන නිසාත්ය. වසර 2000 සිට 2015 සමුගන්නා තෙක් ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැක. මීට ටික කලකට පෙර මෙලෙසම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වූ  මහේල ජයවර්ධන ක්‍රිකට් වලින් සමු ගත්තේය. එහිදීද ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පිරවීම ඉතා අපහසු හිඩැසක් නිර්මාණය විය . දැන් සංගාගේ නික්ම යෑමද එවැනිම හිඩැසක් නිර්මාණය කර තිබේ. කෙසේ වෙතත් එවැනි දස්කම් ඇති නවක ක්‍රීඩකයින් ඉක්මනින් බිහි වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.
                                    

සංගාගේ තරඟ වාර්තා දෙස බැලුවොත් ඔහු මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරඟ 134ක්ට ක්‍රීඩා කර ලකුණු 12400ක් ලබාගනිමින් 57.40ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙන තිබෙන්නේ ඔහු සතු විශිෂ්ඨත්වය මැනවින් විදහා පාමිනි. ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ඔහු ලබාගත් වැඩිම ලකිණු ප්‍රමාණය වන්නේ 319ක් බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි. මේ අනුව ඔහු ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ත්‍රිත්ව ශතක ලාභීන් ගොඩටද අයත් වේ. සංගාගේ එක් දින තරඟ වාර්තා අනුව ඔහු තරඟ 404කදී ලකුණු 14234ක් ලබා ගනිමින් ලකුණු 41.98ක දල වේගයක් රඳවාගෙන තිබෙනවා. එක්දින තරඟ වලදී ඔහු ලබා ඇති ඉහලම ලකුණු සංඛ්‍යාව 169කි. එදා මෙදා තුර ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් ලබා ඇති ටෙස්ට් ශතක වාර්තා අතර පළමුවැන්නා සංගක්කාරයි ඔහු ටෙස්ට් ශතක 38ක් හා ටෙස්ට් අර්ධ ශතක 52ක් ලබා ඇත. ඔහු ලබා ඇති එක් දින ශතක සංඛ්‍යාව 25ක් හා අර්ධ ශතක ගනන 93කි.
                         ඉතින් සංගෝ ඔබේ දැකුම්කළු පහරවල් ක්‍රිකට් පිටියේ අපට ආයෙමත් දකින්න බැරි වෙයි. ඒත් එවන් විශිෂ්ඨයෙකු කෙදිනක හෝ බිහි වෙයි කියන එකත් සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවක් වෙනවා ඇති. සංගෝ ඔබට හද පිරි ගෞරවය පුද කරන අතරම ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.