Pages

Sunday, May 8, 2016

ලෝකයේ මිල අධිකම කෝපි


ලංකාවේනම් අපිට රුපියල් 35කට 40 කට වගේ කෝපි කෝප්පයක් කඩෙන් බොන්න පුළුවන්. ගෙදර කෝපි හදාගෙන බොනවනම් වියදම මීටත් අඩුයි. ඒත් මේ කියන ලෝකේ මිල අධිකම කෝපි කොප්පයක් සාමාන්‍යයෙන් ඩොලර් 80ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින්නම් රුපියල් 11000 ත් 12000ත් අතර ගනනක්. මොනවද මේ කෝපි? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේ කෝපි වර්ගය හඳුන්වන්නේ " Kopi Luwak " නැත්නම්  " cat poop coffee" කියලයි. මේ කෝපි සකස් කරන විදිහයි අනෙක් විශේෂම් කාරනේ. මේකට "  cat poop coffee" කියලා කියන්නේ " pole cat " නැත්නම් උගුඩුවා විසින් කෝපි ගෙඩි කා දැමූ පසු ඌ මළපහ කර පිට කරන කෝපි ඇට සුද්ද කර සාමාන්‍ය ක්‍රමේට වියලා කුඩුකර කෝපි සකසා ගන්නා නිසා. මේ කෝපි වර්ගය බහුලවම නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ. මේ කටයුත්තට යොදාගන්න උගුඩු විශේෂය හඳුන්වන්නේ " Asian Palm Civet  " කියලා කෝපි ගෙඩි උගුඩුවන් විසින් කා දැමූ පසු ඌ මළපහ කර පිටකරන කෝපි ඇට ගොවීන් විසින් එකතු කිරීම මුලින්ම සිදු වෙනවා. කෝපි සැකසුම සුදුවෙන්නේ සාමාන්‍ය විදිහට ඉන් පසුවයි.
                 මේ ක්‍රියාවලියේදී සිද්ද වෙන්නේ මේ වගේ දෙයක්. උගුඩුවා කෝපි ගෙඩි කා දැමූ පසු මේ කෝපි ගෙඩි උගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී එන්සයිම ආශ්‍රිත ජීර්න ක්‍රියාවලියකට භාජනය වෙනවා. එතනදි එන්සයිම ආශ්‍රිත පැසීමේ ක්‍රියාවලිය තුලදී කෝපි ගෙඩි ජීර්නය වන අතරේ කෝපි ඇට තුලට මේ සතාගේ ආහාර ජීර්න එන්සයිම කාන්දු වීම සිදුවෙනවා. මෙතනදී මේ ප්‍රෝටීන ජීර්නකාරක එන්සයිම මගින් කෝපි ඇටේ ඇතුලේ තියෙන සංකීර්ණ ප්‍රෝටීන අංශු කුඩා පොලි පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල දක්වා බිඳ වැටෙනවා. මේ කෝපි වල විශේෂ රසය හා සුවඳ ඇතිවෙන්නේ ඒ තුලිනුයි. කෝපි වල තිත්ත ගතිය අඩු වෙන්නත් ඒ ක්‍රියාවලිය බලපානවා.
             ඉන්දුනීසියානු කෝපි නිෂ්පාදකයන් බොහොමයක් විෂ්වාස කරන්නේ මේ විදිහට කෝපි සැකසීමේදී උගුඩුවන් විසින් හොඳම කෝපි ගෙඩි හැකි තාක් තෝරා කෑමට ගන්නා බවයි. මේ අමුතු කෝපි සැකසීමේ යාන්ත්‍රනය පසුපස තියෙන කතාවත් ටිකක් වැදගත් එකක්. ඉන්දුනීසියාවේ මුලින්ම කෝපි වගාව පටන්ගෙන තියෙන්නේ ලන්දේසින් විසින්. ලන්දේසි වැවිලි කරුවන් ඔවුන්ග් සුවිසල් කෝපි වතු වල වැඩ කළ ඉන්දුනීසියාවේ ආවේනික වැසියන් වූ සාමාන්‍ය ගොවීන්ට ඒ අයගේ පරිහරනය සඳහා කෝපි කඩන්න අවසර දීලා නෑ. ඉතින් මේ ඉන්දුනීසියානු ගොවිපල සේවකයන් ඔවුන්ට අවශ්‍ය කෝපි ටික හදාගන්න කෝපි කෙලින්ම ගස් වලින් කඩල වේලන ක්‍රමේ වෙනුවට මේ වක්‍ර ක්‍රමය භාවතා කරල තියෙනවා ඔවුන්ගේ වැවිලිකරුවන්ට හොරෙන්. ඒක තමයි අද ලෝකයේ මේතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ. 


තොරතුරු ලබාගත් මූලාශ්‍ර
http://catpoopcoffeeinc.com/what-is-cat-poop-coffee-aka-kopi-luwak/