Pages

Tuesday, August 15, 2017

අසාර්ථක උමා ඔය සහ වෙල්ලස්ස ජල හිඟයට සැබෑ හේතුව.



ඒ තරම් විවේකයක් නැතත් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න හිතුනේ පහුගිය කාලේ සිද්ද වෙච්ච ආන්දෝලනාත්මක සිද්ධියක් මුල් කරගෙන. මම මේ කියන්න යන්නේ වෙන දෙයක් ගැන නෙවෙයි උමා ඔය සිද්ධිය ගැන. මේ ගැන දැන් ගොඩ දෙනෙක් හැඟීම්බරව කතා කරන්නේ ඒකෙන් උන පාරිසරික හානියයි ව්‍යාපෘතියේ අසාර්ථකත්වයයි ජනතාවට සිද්ධ උන පීඩාවයි පදනම් කරගෙන. ඒ සේරම සාධාරණයි. මෙතන ලොකු පාරිසරික හානියක් වෙලා තියෙනවා. මෙතන පරිසර සුරක්ෂිතතාවය ගැන සහතික දීපු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැනත් දැන් අපැහැදිමක් ජනතාව අතර ඇති වෙලා. මේ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය දැන් එලිපිට පේනව. මෑතදී ආන්දෝලනාත්මකව මේ ව්‍යාපෘතිය ගැන කතා එලියට ආවේ හපුතලේ කඳුවැටිය හරහා ඉදිකරමින් සිටි උමගට විශාල වශයෙන් ජලය කාන්දු වීමත් එක්කයි. ඒ සිදුවීමට සමගාමීව බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව, ඇල්ල වගේ ප්‍රදේශ වල ජල මූලාශ්‍ර සිඳීයෑම ගිලා බැසීම් ආදිය සිද්ද උනා. මේක දැන් සුළුපටු පරශ්නයක් නෙවෙයි. මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ පසුගිය රජය පැවති කාලයේ. ආණ්ඩු පෙරලියත් එක්ක කාලයක් නැවතිලා තිබිලා පස්සේ නැවතත් මේ රජයෙන් ව්‍යාපෘතිය නැවත කරගෙන යන්න පටන් ගත්තා. ඒ සුපුරුදු පරිදිම මුල සිට ව්‍යාපෘතිය කරගෙන ගිය ඉරාන සමාගමත් එක්ක. මේ ව්‍යාපෘතියේ අහිතකර බලපෑම වැඩි වීමත් එක්ක මේක ආරම්භ කරපු අයයි දිගින් දිගට පවත්වගෙන ගිය අයයි දේශපාලන පිල් දෙකේ ඉඳන් එකිනෙකාට චෝදනා කරගන්මින් විවිධ අදහස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා.
                              

        වත්මන් ආණ්ඩුව දිගින් දිගටම මේ ප්‍රශ්නෙදි චෝදනා කළේ පැවති ආණ්ඩුවේ වරදින් මෙය අසාර්ථක වූ බව කියමින්. ඔවුන්ගේ මූලික චෝදනාව උනේ මෙවැනි ව්‍යාපෘති කිරීමට සුදුසුකම් නැති ඉරාන සමාගම සමග වැඩකටයුතු කරගෙන යෑම නිසා සියල්ල සිදු වූ බවයි. පාරිසරික සංවිධාන පවසන්නේ පරිසර හානිය ගැන මුලින් හරි හැටි අධ්‍යනය කර නොතිබූ බව හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යන වාර්තා සාවද්‍ය බවයි. කරුනු හරි හැටි සොයා බැලුවොත් මේ කාරනා දෙකම හරිය. ඉරාන සමාගම මේ ව්‍යාපෘතිය කිරීමට ඒ තරම් සුදුසු එකක් නොවේ. අනෙක් කාරනය මෙවැනි ව්‍යාපෘති වලට පලපුරුදු වෙනත් සමාගම් මෙයට අත ගැසීමට අකමැති වී තිබෙන්නේ මෙයින් වන දැවැන්ත හානිය ගැන කල් තියා අවබෝධ කරගෙන තිබු නිසා බවට තොරතුරු හෙලි වීමයි. මේ ව්‍යාපෘතියට එකල අත ගැසූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පැවති ආණ්ඩුවේ පිරිස දැන් කියා සිටින්නේ ජලය හිඟ වෙල්ලස්සට ජලය ලබා දීම සඳහා මෙය ආරම්භ කළ බවත්, එය අතරමග බොහෝ කලක් නවතා තිබීම හේතුවෙන් උමගට ජලය කාන්දු වීම ඉහල ගොස් මේ ගැටළුව ඇති වූ බවයි. ඔවුන් වැඩිදුර කියා සිටින්නේ වෙල්ලස්සට ජය ලබාදීම මෙන්ම බණ්ඩාරවෙල ජනතාවද ආරක්ෂා විය යුතු බවයි.
  

                                           
 ලොව ඕනෑම රටක් සංවර්ධන වැඩසටහන් දියත් කළයුත්තේ අදාල රටේ පරිසරයට හා මනුස්ස ජන ජීවිතයට ඔබින අයුරින්. එසේ නොවුන කලට ලංකාවේ පමණක් නොව කොහෙත් මෙවැනි අර්බුධකාරී තත්වයන් හටගැනීම වලක්වන්නට බෑ. ඒත් අපේ රටේ සිටින බොහෝ සංවර්ධන වාදීන් කියා සිටින්නේ රට ඉදිරියට යෑමටනම් සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය බව හා ඊට ප්‍රමුඛත්වය දිය යුතු බවයි. එවැනි පුද්ගලයන් මේ උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් කියන්නේ ව්‍යාපෘතියේ තාක්ෂණික දෝෂ නිසා එය ගැටළුකාරී උනත් යම් විදිහකින් තාක්ෂණික දෝෂ නොතිබී ව්‍යාපෘතිය ඉදිරියට ගියානම් එහි පාරිසරික හානිය එතරම් ගනන් ගත යුතු නැති බවයි. අපේ රටේ දැනට තිබෙන ආණ්ඩුව හා කලින් පැවති ආණ්ඩු සියල්ල මේ සංවර්ධන වාදීන්ගේ ලනු කන්නේ සීමාවක් ඇතිව නොවේ. මහින්ද රාජපක්ෂ මහතාද යුධ ජයග්‍රහණයෙන් පසුව රටේ බහුතර ජනතාවගේ අරමුණු අපේක්ෂා අනුව ක්‍රියා නොකර මේ සුළුතරයක් ඊනියා උගත් සංවර්ධන වාදීන්ගේ ලනු කෑම රටේත් අවාසනාවක් උනා. මහින්ද රාජපක්ෂ මහතාට රට ත්‍රස්ත ග්‍රහනයෙන් හා දෙමළ ජාතිවාදයෙන් මුදා ගැනීම ගැන උපරිම ගෞරවය හිමි වුවත් මේ රටට නොගැලපෙන ව්‍යාපෘති සිහින තුල අතරමංව කටයුතු කිරීම අනුමත කරන්න බෑ. එය එතුමාගේ දේශපාලන අනාගතයටත් බොහෝ දුරට බලපා තිබෙනවා.
                   රටක ජනතාවගේ ජීවන තත්වය යහපත් අයුරින් තබා ගන්නට ඒ කවර රටක් උනත් රටේ ස්වභාවික පරිසර පද්ධතියේ පැවැත්ම තීරනාත්මකව බලපානවා. ජීවත් වීමට සුදුසු වටපිටාව ජලය වාතාශ්‍රය කෘෂි ආහාර  නිෂ්පාදනය සෞඛ්‍ය ආදී සියල්ලටම පරිසර පද්ධතියේ පැවැත්ම බලපානවා. එය එසේ නොවේ යැයි කියන්න කිසිදු උගත් සංවර්ධන වාදියෙකුට බෑ. ඒ වගේම පරිසරයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදී සංවර්ධන ව්‍යාපෘති කිරීම කොයි අයුරකින්වත් මිනිසුන්ගේ යහපතට හේතු වෙන්නේ නෑ. සංවර්ධන වාදීන් කියනු ඇත්තේ පරිසරයට ප්‍රමුඛත්වය දී රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කළ නොහැකි බවයි. ඔවුන්ගේ අවසන් තර්කය සංවර්ධන ව්‍යාපෘති වලදී එම ව්‍යාපෘතිය කෙසේ හෝ කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය යන්නයි. ඇතැම් විට කෙනෙක් පරිසර හානිය අවම කරගෙන ඒ කළ යුතු යැයි කීමට බැරි නැහැ. එහෙත් ඒ අවමය කුමක්ද යන්න ඔවුන් පැහැදිලි කරයිද? සමහරක් උගතුන්ට අනුව මිනිසුන් යනු සොබාදහම වෙනස් කරන ජීවීන් විශේෂයකි. සොබාදහම වෙනස් කරන මිනිස් ක්‍රියාකාරකම් වලින්ම මිනිසුන්ගේ පැවැත්මම වල පල්ලට යන අවස්ථා මේ උගතුන් දැක නැතුවා නොවේ. එහෙත් එය පිළිගැනීමට මේ අය කැමති වේ යැයි සිතන්නට නොහැක. ලෝකයේ දියුණු යැයි කියාගන්නා රටවල් පවා දුරදිග නොබලා මිනිසුන් කරන සංවර්ධන ව්‍යාපෘති වලින් වන පාරිසරික හානියෙන් බැට කද්දී ලංකාවේ ගොන් සංවර්ධන වාදීන් කියන කතා තුට්ටුවකට ගනන් ගත යුතු නැත.කෙටියෙන් කියන්නට ඇත්තේ සංවර්ධනය වෙනුවෙන් අනෙකුත් ඕනෑම දෙයක් බිල්ලට දෙන්නට තරම් මන්දබුද්ධික තත්වයකට අප නොයා යුතු බවයි.
  

                   

මොණරාගල වෙල්ලස්ස ජල හිඟයෙන් වේලී යෑමට බලපාන සැබෑම හේතුව ගැන කිසිවෙක් කතා කිරීමට අපොහොසත් වී ඇත. ඒ ගැන මාක්ස්වාදීන්ටත් පිළුනු මතවාද කරපින්නාගත් ඊනියා උගතුන්ටත් හිතාගන්නට නොහැක්කේ අසාර්ථක අධ්‍යාපන කරමයෙන් මොළ කුරුවල් කරගෙන තිබීම නිසා. වෙල්ලස්ස ප්‍රදේශයට බලපාන ජල හිඟයට මූලික හේතුව බදුලු දිස්ත්‍රික්කයේ ඉහල කඳුකර ප්‍රදේශ වසාගෙන ඒ පුරාවට ව්‍යාප්ත වී තිබෙන පයිනස් වගාවයි. පයිනස් යනු පොළවේ තෙතමනය රඳවාගන්නා ශාඛ විශේෂයක් නොවේ. පයිනස් පමණක් නොව බදුලු දිස්ත්‍රික්කයේ කඳුකර පදේශ වල වවා ඇති යුකැලිප්ටස් සයිප්‍රස් වැනි ශාඛද මෙවැනිම තෙතමනය රඳවා නොගන්නා ශාඛ වේ. ශීත රටවල පයිනස් ගස ඒ තරම් ගැටළුවක් නොවන්නේ හිම වැටෙන කාලය පුරාවට හිම ටිකෙන් ටික දිය වෙමින් පොළවට ක්‍රමානුකූලව ජලය එක් කිරීම නිසා. එහෙත් ලංකාවට මේ ගස් නොගැලපෙන්නේ පොළවේ ජලය පිටතට වාශ්ප කර හැරීමට අමතරව මේ ගස් වල පත්‍ර ස්වභාවය හැඩය අතු විහිදීම ආදිය පරිසරයේ මීදුම ජලවාශ්ප එක්කර පොළවේ තෙතමනය අඛණ්ඩව රඳවා ගැනීමට ඇති නොහැකියාවයි. එය සංසන්දනය කළ යුත්තේ ලංකාවේ ස්වභාවික කඳුකර වනාතර තුල ඇති ගහ කොළ වලින් කෙරෙන කාර්ය සමගයි.
                         ලංකාවේ කඳුකර වනාන්තර තුල ඇති ගහ කොළ එතරම් උසට නොවැඩෙන අතර ලඟ ලඟ අතු බෙදීම දක්නට ඇත. අතු වල ඇඹරුනු ස්වභාවයක් දක්නට ලැබේ. කුඩා පත්‍ර විශාල ප්‍රමාණ වලින් බොකුටු ගැසී පත්‍ර ගොන්නවල් ලෙස සැකසී ඇත. මේ ශාඛ වල කඳේ වෙනත් බොහෝ අපිශාඛ වර්ග එනම් පාසි උඩවැඩියා ලයිකන ආදිය විශාල වශයෙන් වැඩී තිබීමද විශේෂත්වයකි. මෙම ශාඛ පත්‍ර අතු කැබලි ආදියද පොළවට වැටුනු පසු ඉක්මනින් දිරාපත් වී පසට එකතු වේ. මේ සියළු ලක්ෂණ එම ශාඛ වලට පිහිටා ඇත්තේ විටින් විට කඳුකරය වසාගන්නා මීදුම් ව්ලාකුළු වල තෙතමනය ක්‍රමානුකූලව අවශෝෂණය කර ගැනීමටය. එක්වර තද වර්ෂාපතනයක් ඇති වුවත් මේ ගහකොළ සැකසී ඇති ආකාරය අනුව වර්ශා ජලය පොළවට එක් වන්නේත් පස සෝදාපාළු නොවී ක්‍රමානුකූලවයි. පයිනස් හෝ යුකැලිප්ටස් වලට මෙකී ලක්ෂණ කිසිවක් නැත. සිහින්ව උසට වැඩෙන මේ ශාඛ වල දුරින් අතු බෙදේ. පත්‍ර තුනී හෝ කූරු ස්වභාවයක් ගනී. පොළව එතරම් ආවරනය නොකරයි. කඳේ පාසි වැනි අපිශාඛ නොවැඩේ. කොල අතු පොළවට පතිත වූ පසු දිරා යෑමට බොහෝ කලක් ගතවේ. එයට හේතුව මේ ගස් වලට ආවේනික සැරක් සහිත රෙසීනවල ක්‍රියාකාරිත්වයයි. කඳුකරයට පැතිරෙන මීදුම් වලාකුළු වලින් තෙතමනයක් උරා ගැනීමට මේ ලක්ෂණ සුදුසු නොවේ. පයිනස් වගා පැතිරුනු ප්‍රදේශයක පොළව මතුපිට ඇති දිරා නොගිය කොළ අතු පොලිතින් ආවරනයක් මෙන් ක්‍රියා කරයි. තද වර්ශාපතනයකදී වුවත් පොළවට හොඳින් වතුර උරා ගැනීමට පෙර වැසි ජලය පහත් බිම් කරා වේගයෙන් බැස යයි. පස සෝදාපාළුවටද එය අනියම් ආකාරයකින් හේතු වී තිබේ. මේටික තේරුනානම් අතීතයේ වෙල්ලස්ස හරහා ගලාගිය බොහෝ දියපහරවල් ඇල දොල මේ වන විට නිකම්ම හිස් අගල් බවට පත් වී ඇත්තේ කෙසේද යන්න හිතාගන්නට අමාරු නැහැ.
  

                                              


අද කඳුකර පරිසරයටත් බණ්ඩාරවෙල ජනතාවටත් මේසා විශාල හානියක් සිදුකරන්නට බලපෑවේ දේශපාලකයින්ට එදා සංවර්ධනවාදී මෝඩ උගතුන්ගෙන් ලැබුනු කේවට්ට උපදෙස් සහ දේශපාලකයින්ගේ  යෝධ ව්‍යාපෘති මානසිකත්වයයි. අද බදුලු දිස්ත්‍රික්කයේ කඳුකරය වසා පැතිරුනු පයිනස් වගාව ඉවත් කර නැවත කඳුකර වනාන්තර ව්‍යාප්ත කිරීම කෙටි කලකින් එක්වර කළ හැකිදැයි කෙනෙක් ප්‍රශ්න කරන්නට ඉඩ ඇති නමුත් එය දිගුකාලීන විසඳුමක් ලෙස කළ යුතුම දෙයක්. වෙල්ලස්සට කඩිනමින් ජලය දීමට අවශ්‍යනම් සහ එය උමා ඔයෙන්ම කරගතයුතු නම් එයද කිරීමට හපුතලේ කඳුවැටිය හාරා අමාරුවෙන් උමං තැනීමට වඩා වෙන විකල්ප තිබී ඇත. පට්ටිපොල හෝටන් තැන්න අඹේවෙල ඔහිය ප්‍රදේශ වලින් ඇරඹෙන උමා ඔය නුවර එළිය උස් කඳුකරයත් හපුතලේ කඳුවැටියත් අතර මිටියාවත ඔස්සේ බදුලු දිස්ත්‍රික්කයේ උතුරු දෙසට ගලා බසී. බදුලු දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ ජනාකීර්ණ නොවන ප්‍රදේශ හරහා ඇලමාර්ගයකින් හා අවශ්‍ය තැන් වල කුඩා උමං මගින් ජලය ගෙනගොස් වෙල්ලස්ස ප්‍රදේශය හරහා ගලා යන කුඩා ගංගා වල ජල ප්‍රමාණය වැඩි කිරීම දේශීය තාක්ෂණයෙන් පරිසර හානියක් සහ මහජන පීඩාවක් නැතිව කිරීමට තිබුණි. එසේම වෙල්ලස්සට බලපාන ජල හිඟයේ ස්වභාවය අනුව ජල සැපයුම පාලනයක් ඇතිව කළ හැකි පරිදි ඉදිකිරීම් කරන්නටද හැකියාව තිබේ. එහෙත් දේශපාලකයින්ගේ සිත ගියේ විශාල අවදානමක් ගෙන ජනාකීර්ණ ප්‍රදේශයකට පහලින් විශාල කඳුවැටියක් පසාරු කරගෙන උමගක් හාරා වෙල්ලස්සට ජලය ගෙන යෑමටයි. ඒ යෝධ ව්‍යාපෘති මානසිකත්වයේ හැටිය.
                            යෝධ සංවර්ධන ව්‍යාපෘති ආටෝපයට අප තවත් රැවටිය යුතුද? සංවර්ධන ව්‍යාපෘති කළ යුත්තේ රටට හා පරිසරයට දැරිය හැකි මට්ටමින් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට. අපට පරිසරය හෝ වෙනත් කිසිදු වටිනා දේකට මුල් තැනක් නොදී සංවර්ධනය පසුපස පිස්සන් මෙන් දිව යන්නට අවශ්‍ය මානසිකත්වය සකසන්නේ බොරු උගතුන් හා වාමාංශික මනස්ගාත වලින් ඇට්ටකුනා වී ගිය ඔලුගෙඩි ඇත්තන්ට පමණකි. අපට රටක් හැටියට අපේ පරිසරය හා අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම් එක්ක ලෝකයේ ඉදිරියට යන්නට නොහැකි බවට බොරු හීනමානයක් ඇති කරන්නේත් මොවුන්මයි. මේ කාලකන්නින්ට මහ ඉහලින් වැජඹෙමින් රටත් දේශපාලනයත් ජනතාවගේ මානසිකත්වයත් පාලනය කිරීමට ඉඩ ලබා දීම තවත් කළ යුතු නොවේ. නාගරික මැද පංතිය යැයි කියාගන්නා කොට්ඨාශයද මේ රටට කරන්නේ සුළු පටු හානියක් නොවේ. ඒ රටේ සම්පත් නිසි ලෙස යොදා ගනිමින් රටේ ආර්ථිකය හැසිරවීමට මොළය හෝ ධෛර්ය නොමැතිකමත් එක්කම තමන්ගේ අකර්මන්‍ය ජීවිත වල සුගතිය වෙනුවෙන් රටේ සියළු වටිනා දේ බිල්ලට දී හෝ සංවර්ධන ව්‍යාපෘති කළ යුතුය යන මානසිකත්වයේ සිටීම නිසාය. අප රටක් ලෙස මේ සංවර්ධන මායාවෙන් ගැලවිය යුතුයි. එහි කිසිම වාදයක් නෑ. රටේ මින් ඉදිරියට බලයට පත්වන රජයන්ද මැද පංතියේ ගොන් බලාපොරොත්තු සඵල කිරීමට ඊනියා උගතුන්ගේ හා බොරු වමේ කාලකන්නි මතවාද පසුපස යෑම නතර කළ යුතුය. එසේ නොවුනහොත් තිස් වසරක යුද්ධයෙන් බැට කෑ රට නොගැලපෙන අවිධිමත් සංවර්ධනයෙන් බැටකෑමේ මහා ඛේදවාචකයට ගොදුරු වීම වැලැක්විය නොහැක. 
  

10 comments:

  1. Replies
    1. http://www.fao.org/docrep/005/AC772E/ac772e0p.htm

      Delete
    2. @ Pra Jay
      ලින්ක් එක ෆලෝ කළා ඒ තොරතුරු ටිකත් හරි වැදගත්

      Delete
  2. මේක ඉතාම වැදගත් පෝස්ට් එකක්. මේ ගැන අපි ගොඩ දෙනෙක් නොහිතන ඒ වගේම දන්නේ නැති කරුනු රාශියක් මෙහි අන්තර්ගත වෙනව. බොහොම ස්තුතියි මේ වගේ පෝස්ට් එකක් බ්ලොග් එකේ දාලා අප කවුරුත් දැනුවත් කළාට.

    ReplyDelete
  3. පෝස්ට් එකනම් හරිම වැදගත් සාරගර්භ එකක්. අදාල සිද්ධිය ගැන මුල ඉඳන් අගටම අති විශිෂ්ඨ ලෙස විචාරයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙවන් කාලීන වැදගත්කමකින් යුතු දෙයක් ගැන තොරතුරු ගෙනහැර දක්වමින් හොඳ ලිපියක් පල කළාට ස්තුතියි පකිස්ට.

    ReplyDelete
  4. පෝස්ට් එක ඉතාම වටිනවා. තව ටිකක් මේක පිළීවෙලට ලිව්ව නං කියවන්නාට රුචිය වැඩෙන්න තිබුනා. කෝම උනත් ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වුවාට. ජය වේවා.

      Delete