Pages

Sunday, March 15, 2015

යහපාලන අයියලාට තව ප්‍රශ්න ටිකක්


යහපාලන අයියලාගේ කෙරුවාව දැන් එළිපිට පෙන්නෙන්නට තියෙන නිසාදෝ ඔවුන්ගේ වැඩකටයුතු ගැන හයන්නට දැන් එච්චර මහන්සි වෙන්නට දෙයක් නැත. යහපාලනය වෙනුවෙන් කඩේ ගිය විවිධ තරාතිරම් වලට අයත් දෙනෝදාහක් දෙනා දැන් අල්ලපු හොරුත් නැතුව අඩු කරපු බඩු වල ප්‍රයෝජනයකුත් නැතුව තුෂ්නිම්භූතව බලා සිටින්නේ රටට වෙන්නට යන හරිය ගැනයි. අපේ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංහලන්තයට ගොස් මහ රැජිනත් බ්‍රිතාන්‍ය අගමැතිවරයාත් මුනගැසී නොබෝදා දිවයිනට පැමිණියේය. බ්‍රිතාන්‍යයේදී එතුමාට ලැබුණු ගුරුහරුකම් මොනවාදැයි එතුමා හෙලි නොකළත් රට කරවන්න ඕන විදිහ ගැන කවර හෝ උපදෙසක් ලැබී ඇති බවනම් නිත්‍ය ලෙස කිව හැක්කේ අධිරාජ්‍යවාදී උණ බැස නැති බ්‍රිතාන්‍යට ලංකාව වගේ රටක නායකයෙක් ගෙන්වාගෙන රට සවාරියක් දී නිකම් ආපසු පිටත්කර හැරීමට තරම් කැහිල්ලක් නැති නිසාය.
                 

ජනපති සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සාංචාරයෙන් අනතුරුව රඟදැක්වූ මීලඟ නාටකය උනේ ඉන්දීය අගමැති මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයයි. එහිදීද වටින් ගොඩින් බොහෝ තොරතුරු මෝඩි මහතාගේ ලංකාගමනය හා උතුරේ දෙමළ සන්ධානය සමග කෙරුනු කතාබහ ගැන දැනගන්නට හැකි වී තිබේ. ඒ ගැනත් කියන්නට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන කී ටිකේ අනෙක් හරියයි. එනම් අතීතයේ පටන් තම අනසක ලංකාව පුරාවටත් ක්‍රියාත්මක කරන්න වෙර දැරූ ඉන්දියාවේ වත්මන් නායකයා වන නරේන්ද්‍ර මෝඩි මහතාට නිකම් ලංකාවට පැමිණ ශ්‍රීමහ බෝධිය වැඳපුදාගනිමින් මෛත්‍රීපාල ජනපති බැහැදැක ආගිය තොරතුරු කතාබහ කරමින් සතුටු සාමීචියේ යෙදී සිට ආපසු යන්නට තරම් රුදාවක්ද නැති බව කාටත් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන.

යහපාලන අයියලාගෙන් දැන් අසන්නට තවත් ප්‍රශ්න ටිකක් තිබේ.

1)මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේදී එරට අගමැති හමුවී සාකච්චාකළ කරුනු යහපාලන චන්දදායකයින්ට කියා ඇත්ද? එහිදී උතුරේ ඊලාම්වාදය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය ගැන බ්‍රිතාන්‍ය අගමැතිගෙන් කවර උපදෙසක් සිරිසේන මහතාට ලැබෙන්නට ඇත්ද?

2)මෙසේ බ්‍රිතාන්‍ය අගමැතිගෙන් මෙරට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රටේ ඒකීයත්වය රැකීමට හේ සියළු ජනකොටස් වලට උතුරු නැගෙනහිර ජීවත්වීමට සුදුසු වටපිටාවක් ඇතිකිරීමට උවමනාවක් ඇතැයි යහපාලනයට චන්දය දුන් කිසිවෙකුටත් විෂ්වාස කළ හැකිද?

3)යුධ අපරාධ චෝදනා මත අපේ හමුදා නිලධාරීන්ටත් ජනපති මහිදට හා ගෝඨාභය ඇතුළු නායකයන්ටත් දඬුවම් කිරීම සාධාරනයැයි යහපාලන පාක්ෂිකයින් සිතන්නේද?

4)යහපාලනයට පක්ෂ වූවන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන් ඇත්ත හේතුව උතුරු නැගෙනහිර ඇතැයි කියා දෙමළ සන්ධානය කියන ප්‍රශ්නයකට විසඳුම් ලෙස දේශපාලන විසඳුමක් ලබාදීමද නැත්නම් වෙනත් ආර්ථික ප්‍රශ්නද?

5)යහපාලනය තුලින් මෙතෙක් විසඳී ඇති ආර්ථික ප්‍රශ්න ගැන යහපාලන පාක්ෂිකයන්ට සතුටු විය හැකිද? එසේ ආර්ථික ප්‍රශ්න විසඳුනත් සුළු ජනකොටස් වල ස්වයංපාලන මේනියාවට යහපාලන ජනපති හා අගමැති දක්වන අනුග්‍රහය යහපාලනය වෙනුවෙන් කැප වී චන්දය පාවිච්චි කළ පිරිස අනුමත කරනවාද?

6)යහපාලන ජනාධිපති හා ඔහු පත්කළ අගමැති දෙමළ සන්ධානයේ හා මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතිවාදී අපේක්ෂා වලට අනුග්‍රහය දක්වන බව දැන් ඔවුන් වෙනුවෙන් චන්දය භාවිතා කළ යහ පාලන පාක්ෂිකයින්ට  දැනුම් දෙනවාද?

7)සුළුජනකොටස් වල ජාතිවාදී අරමුණු හමුවේ කුමක් කළයුතුද යන්න මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට චන්දය දුන් පිරිසගෙන් විමසීමක් කරනවාද? සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයත් මුස්ලිම් කොන්ග්‍රසයත් සනසන්නට යන්නේ යහපාලනයට චන්දය දුන් අයගෙන් අසාද?

8)ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවට පැමිණ ජනාධිපති හා අගමැතිවරයා හමු වී සාක්ච්චා කළ කරුණු යහපාලනය බලයට පත්කළ සිංහල ජනයා දන්නවාද? මෝඩි මහතා ලංකාවට පැමිණි හේතුව ඒ මහතා මෙරට යහපාලනය බලයට ගෙනා අයට කීවාද?

9)ශ්‍රී ලංකා සංචාරයේදී අගමැති මෝඩි මහතා පැහැදිලිව කියා සිටියේ උතුරේ ඇතැයි කියන ප්‍රශ්නයට 13 වන ව්‍යවස්ථා සංශෝධයේ කරුනු වලිනුත් එහාට ගොස් දෙමළ ජනයාට බලය බෙදා දියයුතු බවයි. ඒ ගැන යහපාලන පාක්ෂිකයින් දැන සිටියාද? දැන් ඒ ගැන ඔවුන් කියන්නේ කුමක්ද? යහපාලන පාක්ෂිකයන් දැන් එයට පක්ෂද?

10)යහපාලන පාක්ෂිකයින්ට සිය ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේනම් උතුරේ ද්‍රවිඩ බෙදුම්වාදය බටහිර රටවල් හා ඉන්දියාව මැදිහත් වී ජයගැනීමත්, මුස්ලිම් කොන්ග්‍රසය මාර්ගයෙන් මුස්ලිම් වර්ගවාදය ජයගැනීමත් ප්‍රශ්නයක් කර නොගෙන ඉන් මගහැර යාහැකිද? චම්පික රනවක, රතනහිමි හා සරත් ෆොන්සේකා මහතා සිටිනකම් බිය නොවන බව කියන යහපාලන පාක්ෂිකයන්ට ද්‍රවිඩ බෙදුම්වාදයත් මුස්ලිම් වර්ගවාදයත් ගැන දැන් ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්ති ගැන කියන්නට ඇත්තේ කුමක්ද?


මහින්දගේ පාලනය තුල වැරදි නොතිබුණාමයි කියන්නටවත් මහින්ද යුද්ධය ජයගත් නිසා අනෙක් වැරදි කුමක් කළත් හරි කියන්නට අපටනම් අවශ්‍ය නැත. ඒත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ අඩුපාඩුකම් වලට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය පිළිතුරක් වන්නේ කෙසේද යන්න ඊටත් වඩා ගැටළුවක් බවනම් මේ වනවිට කාටත් පැහැදිලිව පෙනෙන්නට ඇත.

5 comments:

  1. සදා යූඇන්පී මාතලං දැන් දැන් චම්පුක වැනි ගොබ්බ චරිත පස්සේ යැමට පටන්ගෙන ඇති බවට බොරු පෝස්ට් දැමීමෙන් ම යහපාලනේ අනාගත්තු අනාගැනීම තේරුම් ගත හැකිය....


    ReplyDelete
  2. මේ තරම් ඉක්මනට ආණ්ඩුවක් අප්‍රසාදයට ලක්වුනු අවස්ථාවක් ඉතිහාසයේ නැතුව ඇති

    ReplyDelete
  3. මෙතරම් කැඳ , රටක නායකයෙක්, මෙතරම් තම පාක්ශිකයා විසින් අප්‍රිය කරනු ලැබූ පක්ශ නායකයෙක්, මෙතරම් දර්ශනයක් නැති නායකයෙක්,...! අනේ මන්දා යන්නම කෙනෙක් නැත්නම් පා.ච. රෙනවක සරනං ගඡ්ඡාමි කියන්න තමයි ඉතිරි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. චම්පික රනවක උන්නැහේට අවශ්‍ය බලය මිස වෙන දෙයක් නෙවෙයි. බලය වෙනුවෙන් ඔහු ඕනෑම ප්‍රතිපත්තියක් වෙනස් කරනවා.

      Delete