Pages

Friday, October 2, 2015

මෝඩයාට ආශ්චර්ය ගෙන දෙන එල්ලුම් ගස

කාලයෙන් කාලයට ලංකාවේ එක එක ප්‍රදේශ මහත් ප්‍රසිද්ධියට පත් වේ. මෝදර කාක දූපත රත්නපුරේ කොට කෙතන මීට උදාහරන වේ. දැන් මහත් ප්‍රසිද්ධියට පත්ව කාගේත් කතා බහට ලක් වී ඇත්තේ මිනුවන්ගොඩ කොටදෙනියාවයි. හේතුව කොටදෙනියාවේ සේයා සදෙවුමි නම් 5 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක්ව අමානුෂික ලෙස මිය යෑමයි. සිද්ධිය ගැන බොහොමයක් තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය උනේ කාගේ කාගේත් හදවත් කම්පා කරවමිනි. මේ හෙන ගහන අපරාධය හයක් හතරක් නොතේරෙන කුඩා දැරියකට කිරීමෙන් එය කළ තැනැත්තා බලාපොරොත්තු වූයේ කුමක්ද? එයින් ඒ පාපතරයා යම් සතුටක් ලැබුවේද? මේවා මිනිස් හැඟීම් ඇති කිසිවෙකුට හිතාගන්නටවත් බැරි දේවල් වේ. අපරාධකාරයා ගැන තොරතුරු තවමත් එන්නේ වටින් ගොඩින්ය. දැන් මෙහි ප්‍රධාන සැකකරු වන දුනේෂ් නොහොත් කොණ්ඩයා ඔහු එම අපරාධය කළ ආකාරය කියමින් පාපෝච්චාරනය කළ බව සැලයි. දුනේෂ් නොහොත් කොණ්ඩයා මේ සැකකරුවන් කණ්ඩායමේ අන්තිමයායි. මීට පෙර එම දැරිවියගේ පියා සීයා මෙන්ම අසල්වැසි පාසල් සිසුවෙකු දෙදරු පියෙකු හා තවත් ප්‍රදේශයෙන් පලා ගිය කෙනෙකුද සැකකාර ලයිස්තුවේ වූහ. නමුත් ඔවුන් ගැන ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා දෝ පොලීසිය ඔවුන් ගැන සෙවීම අතහැර තිබුණි. මේ සිද්ධිය ගැන රටම කම්පා උනා පමණක් නෙවෙයි අපරාධකාරයාට දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන මතයේද සිටියා. අපි කියන්නේත් මේ සිද්ධියට වරදකරු වන පුද්ගලයාට තරාතිරම් නොබලා දඬුවම් කළයුතුය කියන කාරනය විතරක් නෙවෙයි මෙවැනි අපරාධ මින් ඉදිරියට සිදු නොවීමටද වගබලා ගත යුතු බවයි.
                  


මේ අතර දැන් හරි අපූරු දෙයක් මේ සිදුවීම ඇසුරෙහි නිර්මාණය වෙමින් පවතී. ඒ මෙම අපරධය කළ පුද්ගලයා එසේ කළේ ඇයි, මෙවැනි පුද්ගලයන් රටට සමාජයට බිහි උනේ කාගේ වරදින් මොන කරුමයකටද, මෙවැනි කරුමක්කාරයින් රටට සමාජයට නැවත බිහි නොවන්නට ක්‍රියා කිරීමේදී අප කාට කාටත් තිබෙන වගකීම් මොනවාද යන දේවල් සොයා බලනවාට වඩා වැරදිකාරයාට දෙන දඬුවම විස්තර කරමින් පිරිසක් යම් ආශ්වාදයක් ලැබීමයි. මේ අය බොහෝ දෙනා නැවතුනේ එල්ලුම් ගස ක්‍රියාත්මක කර අපරාධකරු එල්ලා මරා එම දර්ශනයද රටට ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් සමාජය බිය වද්දා මෙවන් අපරාධ මැඩ පැවැත්විය යුතුයි යන තැනය. එසේ සිතා එල්ලුම් ගස ඉල්ලමින් උද්ඝෝෂණය කළවුන් දැඩි උද්දාමයකින් එසේ කළේ එක් අතකට සමාජයේ වීරයන් ලෙස කැපී පෙනෙන්න උත්සහ කරන අතර ඒ තුලින් අපරාධ අඩු වී ප්‍රශ්න විසඳෙනවා කියා ප්‍රභල විශ්වාසයක්ද ඇති කරගෙනයි. ඇතම් පිරිස් එල්ලුම් ගස වෙනුවෙන් දැඩි උද්‍යෝගයකින් එකට එක්ව උද්ඝෝෂණ කරන අයුරුත් රූපවාහිනියේ හා පත්තර වල මෙන්ම අන්තර්ජාලයේ වෙබ් අඩවි වලද පළවිය.
                              දැන්නම් මේ සිද්ධිය හරහා පිරිසක් අතරින් මතු වූ එල්ලුම් ගස් උමතුව සමාජයම අන්ධ භාවයට පත් කරමින් තිබෙන බව බොහොම පැහැදිලිය. මීට තල්ලුව ලැබෙන්නේ චාරයක් නැති ජනමාධ්‍ය යැයි කියාගන්නා ජඩ මාධ්‍ය වලිනි. එල්ලුම් ගස වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් උද්ඝෝෂණ මෙහෙයවන පිරිස දෙස බැලීමේදී මේ අය අතර යම් අධ්‍යාපන මට්ටමක් සහිත උගත් බුද්ධිමත් කිසිවෙකුත් නොසිටින බව ඉතා පැහැදිලිව පෙනේ. මේ අය ගෙනෙන එකම හා ප්‍රධාන තර්කය වන්නේ එල්ලුම් ගසට බිය වැද්දා රටේ අපරාධකරුවන් අපරාධ කිරීමට මැලි වී අපරාධ වලින් තොර නීතිගරුක පිරිසිදු සමාජයක් හැදිය හැකි බවයි. මේ එල්ලුම්ගස්වාදීන් ඉතා දරදඬු ලෙස තම මතයේ එල්බ ගන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්නට ගිය කළ පොලීසියේත් නීති රීති වලත් අධිකරණවලත් දුර්වල පැත්තක් නැත යන උපකල්පනයේ සිටයි. මෙහි එල්බගන්නා ඇතැම් අන්තවාදීන් කුමන දුර්වලතාවයක් තිබුණත් හරි හෝ වැරදි හෝ මොකෙක් හෝ සැකකරුවෙකු වරදකරු කර එල්ලුවද එය හරි කියන තැනට මොළේ කුරුවල් කරගෙන ඇත. එවැන්නන් සමග එල්ලුම් ගහේ අනිසි ඵල විපාක ගැන කතා කිරීමටත් බැරිය. එසේ වන්නේ එක් අතකට එල්ලුම් ගස ඇසුරෙන් මොවුන් යම් වින්දනයක් ලබන බැවිනි. එතරම් බුද්ධි මට්ටමක් නැති මේ පිරිස එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න්ට බල කිරීම වීර ක්‍රියාවක් ලෙසද සලකයි. 
                                 

අවංකවම මේ එල්ලුම් ගස පන ගන්වන්නට වෙර දරන මිනිසුන් ගැහැනුන් දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුන්ද අපරාධකාරයෙකු එල්ලුම් ගසේ එල්ලන්නට බල කරන්නේ අපරාධවල පසුබිම හෝ නොතකා ඒවායේ වග උත්තර කරුවන් කෙරෙහි දැඩි ද්වේශයකින් බවයි. මේ අය මනුස්සයෙකු එල්ලා මරන ආකාරය දෙස බලා සියුම් වින්දනයක් ලබති. ඇතැම් විට අපරාධය කළ තැනැත්තා සමාජයේම වරදින් ඒ තත්වයට පත් උනා වන්නට පුළුවන. නමුත් තමන් මහ ලොකු වීරයන් යැයි සිතන නූගත් රස්තියාදුකාර මෝඩයන් වැරදි කිරීමට කෙනෙකුට අනුබල දෙන තම තමන්ගේම ඇතැම් කෙරුවාවල්  වසන් කර ගනිමින් යම් චිත්ත පීඩනයක් මුදාහැරීමට වරදක් කළ කෙනෙකුට දඬුවම් කරන හැටි රටට ඇසෙන්නට කියා කෑමොර දෙති. පොඩි උදාහරනයක් ලෙස ගතහොත් කෙනෙකු තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතා තවෙකෙකුගේ සියළු දේපලත් තමන් වෙත වංචාවෙන් පවරාගෙන ඔහුට සිය යැපුම් මාර්ගයද අහිමි කරමින් ඒ සියල්ල හොඳින් දැනගෙන ඔහුව තලා පෙලා දමයි නම් මෙලෙස පීඩාවට පත්වන කෙනා පීඩකයාගෙන් පලි ගැනීමට ක්‍රියාකිරීම සඳහා යම් කිසි සම්භාවිතාවයක් තිබේ. එවැනි සිද්ධියක් මිනී මැරුමකින් කෙළවර වන්නටද හැකියාව ඇත. එසේ වුවහොත් බොහෝ දුරට සිදුවන්නේ මිනීමරුවා ඔහුව ඒ තත්වයට පත් කළ පීඩකයාගේ සියළු කුපාඩිකම් පසෙකින් තිබියදී අපරාධකරුවෙක් වීමයි. නීතියේ ඇති අඩුපාඩුව අපට මගහරින්නට බැරිය. කෙනෙකුගෙන් තව කෙනෙකුට පීඩාවක් නොවන සමාජ තත්වයක් පැවතීමට ඉවහල් වන වැදගත් සදාචාරාත්මක සම්මුතීන් ආරක්ෂා කිරීමට නීතිය බොහෝ විට බැඳී නොසිටියි. නමුත් එලෙස සදාචාරයන් බිඳ වැටීම තුල අපරාධයකට යොමු වන තැනැත්තාට දඬුවම් කිරීමට නීතිය බැඳී ඇත. මෙය ගැටළුවකි.

                                                  නීතියේ පොලීසියේ උසාවියේ අඩුපාඩු ගැනනම් කතා නොකර ඉන්නට කොහොමත් බැරිය. මීට කලිනුත් කී ලෙසටම මිනිසුන්ට මිනිසුන් ලෙස සමාජගත වී එකිනෙකාට ගරු කරමින් ජීවත් වීමට හුරු කරන වටිනා සාරධර්මයන් රකින්නට නීතිය ඉදිරිපත් නොවන අතරම තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතමින් එකෙකුට එකෙක් නැති තන්හාවෙන් මසුරුකමෙන් ආත්මාර්ථකාමීත්වයෙන් අසීමිත ධනය හා සැප සම්පත් පසුපස හඹා යෑමට එක් එක් කෙනාට ඇති පුද්ගලික අයිතිය වෙනුවෙන් නීතිය පෙනී හිටී. අපරාධය හා අපරාධකරුවා නිර්මාණය වීමට මේ කාරනයම විවිධ මට්ටම් වලින් හේතු වේ. ලංකාවේ පොලීසිය ගැනනම් කියලා වැඩක් නැත. අපරාධ ගැන මූලික විමර්ශන කරන ආකාරය සැකකරුවන් තීන්දු කරන ආකාරය සැකය හා සාක්ෂි තහවරු කිරීම මරේ මරුය. මිනී මැරුමක් ගැන හරි ළමා අපචාරයක් ගැන හරි විමසුම් බුද්ධියෙන් සාක්ෂි හොයනවා වෙනුවට පවුලේ අය සැක කිරීම අසල්වාසීන් සැක කිරීම ආදී වැඩ කටයුතු සිනා පහලවන සුළුය. පොලීසි වල සිදුවන දූෂිත වැඩ කටයුතු දෙස බලන විටනම් සාධාරන පරීක්ෂණ ගැන විශ්වාසය තැබිය හැකිද යන්නත් ප්‍රශ්නාර්ථයකි. රිය අනතුරක් සම්බන්ධ සාක්ෂි වෙනස් කර වරද කරු බේරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට තැත් කර පොලිස් නිලධාරීන් ගැන පහු ගිය කාලයේ අසන්නට ලැබුණි. මිනී මැරුමක සාක්ෂි අනික් පැත්ත හරවන්න මෙවැනි දූෂිත නිලධාරීන් කීයක් විතර අය කරනු ඇත්දැයි අප දන්නේ නැත. යම් යම් වැරදි වලට පොලීසිය විසින් දුප්පත් අහින්සකයන් සැක පිට අත්ඩංගුවට ගෙන වද දී බලෙන් වරද පටවා ඇත්තම වරද කාරයා නිදැල්ලේ යැවීම වැනි දේවල් වලටද යම් කිසි ඉඩකඩක් පැහැදිලිව ඇත. වඩාත්ම කතාබහ කළයුතු කාරනේ මෙතැන කෙනෙකු තවෙකෙකුගෙන් අසාධාරණයට හා පීඩාවට පත් වීම වලක්වන පොදු සදාචාරාත්මක වටිනාකම් වනසන්නට ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කරලියට එද්දී නීතියද ඒ වෙනුවෙන්ම ක්‍රියා කිරීමයි. මෙය සමාජ පීඩකයන් හා පීඩිතයන් නිර්මාණය කිරීමට ඉවහල් වන අතරම පීඩකයාට රිසි සේ පීඩිතයන් තලා පෙලීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමකි. පීඩකයා වත් පොහොසත් අයෙකු වී පීඩිතයා දුප්පත් කෙනෙක් වන විට පීඩිතයා නීතිය ඉදිරියේද අනාරක්ෂිතය. ඒ අසාධාරණය රජ කරන කාලකන්ණි සමාජයේ හැටිය. අද බොහෝ දෙනෙක් කට්ට කා ඉගෙනගන්නේත් අනාගතයේ පීඩිතයන්ගේ ගොඩට නොවැටී පීඩකයන්ගේ ගොඩට එක් වීමටයි. එය හිතා මතා නොවන්නට පුළුවන් උනත් වත්මන් තුච්ච කාලකන්ණි සමාජ ක්‍රමය තුල ස්වභාවයෙන් සිදු වන්නේ එයයි.
                               

කොටදෙනියාවේ ඛේදවාචකය අභිමුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක උන ආකාරය අන්ත අප්‍රසන්න එකක් වූවා පමණක් නොව සිද්ධිය හමුවේ ජනමාධ්‍ය පිස්සු බල්ලන කුනු ගොඩක් අවුස්සා පලාතම ගඳ ගස්සවන ආකාරයට වැරදි නැති මිනිස්සුන්ගේ පවා ආත්ම ගරුත්වය වනසමින් කරුනු නොදැන පොලීසිය ආවට ගියාට කරන ප්‍රකාශ රටට බෙදමින් හැසිරුනු ආකාරයත් ඉතා අශික්ෂිතය. පොලීසිය සිද්ධියට සැකපිට පාසල් සිසුවෙක් අත්ඩංගුවට ගත්තේ කිසිදු සාධාරණ සාක්ෂියක් නැතුවයි. පසුව පොලීසිය බේරුමට කීවේ ඔහුගේ ලැප්ටොප් එකේ අසභ්‍ය දෑ තිබූ බවකි. මෙය සිනා උපදවන කාරනයක් වේ. මේ තර්කය මත පිහිටා සැක කළොත් එක් පැත්තකින් අසභ්‍ය දේ නැති ලැප්ටොප් සොයාගන්නට තරමක් අමාරුවනවා පමණක් නොව අසභ්‍ය දේ ඇති ලැප්ටොප් හිමි කරුවන් සියල්ලන් ලිංගික අතවර කාරයන් වේ. එවිට පොලිස් කාරයන් කීයක් ඔය ගොඩේ ඉඳීවිද කියන එකත් හොයන්නම වෙන අපූරු සිද්ධියක් වනවා නොඅනුමානයි. මේ සිද්ධියටම ප්‍රදේෂයේ තවත් දෙදරු පියෙකු සැක පිට අතඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ හදිසි කොණ්ඩය හා රැවුල කැපීමේ උවමනාවත් සේයාගේ අවමගුලට සහභාගී නොවී තම සහෝදරියගේ නිවසට ගොස් එහි නතර වීමත් කියන කාරනා සැලකිල්ලට ගෙනයි. මෙයත් මහ අපබ්‍රංශයකි. මේ අනුව අහල පහල අපරාධයක් වූ විට කොණ්ඩය රැවුල කැපීමද අනතුරු දායකය. දැන් දැන් දැනගන්නට ලැබෙන කරුනු වලට අනුව මෙලෙස සැකපිට අත් අඩංගුවට ගත් මේ අයට නිරුවත් කර පහර දෙමින් පොලීසිය ඔවුන්ගේ මානුෂීය අයිතීන් බරපතල ලෙස උල්ලංගනය කර ඇත. අවසානයට තමන් වරද කළා යැයි පාපෝච්චාරණය කළ දුනේෂ් නොහොත් කොණ්ඩයාට උනේත් මේ ටිකද කියා සැකයක් දැන් කාටත් ඇතිවේ. කොණ්ඩයාගේ කැරැට්ටුවේ හැටියට සැකකාර ලිස්ට් එකේ අවසානයට හිටි ඔහුට පොලීසියේ සංග්‍රහය සමග අවාසනාවේ ටිකට් එකත් ඇදුනාද? වෙච්ච දේවල් වල හැටියට අපිට මේ ප්‍රශ්නනම් පැනනගින එක නොවැලැක්විය හැකියි.

                          අපි කවුරු කවුරුත් මොහොතකට දැන් සිතා බැලිය යුත්තේ අපරාධ වලට පුද්ගලයන් පොළඹවන අවලම් සමාජ තත්වයක් එක් පැත්තකින් තිබෙද්දී අනික් පැත්තෙන් පොලිස් පරීක්ෂණ වල ජඩ කමත් තිබෙන විට එල්ලුම් ගසත් ක්‍රියාත්මක උනොත් වෙන්නේ කුමක්ද කියන එකයි. කොටදෙනියාවේ ඛේදවාචකයට පසුව හදිසියේ වීරයන් වී එල්ලුම් ගස ඕනෑ බව කියමින් කෑ ගැසූ අයගේ එල්ලුම් ගසට ඇති අවංක ලවු එක මල ඉලවුවක් වෙන්නේ අසාධාරන චෝදනාවකට ලක්වී පොලිස් ආදරවන්තයන්ගෙන් සංග්‍රහ ලබා තමන්ගේම බෙල්ලට තොන්ඩුව වැටුන දාටයි. අප කවුරු කවුරුත් එනිසා නොපමාව කළ යුත්තේ මේ අපරාධ වලට මෙන්ම අසාධාරන පොලිස් පරීක්ෂණ වලටද එරෙහිව සංවිදානය වෙන අතරතුර අපරාධ වලට අනුබල දෙනු ලබන දූෂිත විෂම සමාජයෙන් ගැලවී කෙනෙක් තවත් කෙනෙකුගේ සතුරෙකු නොවන පීඩකයන් හා පීඩිතයන් අතර ගැටුම් නිර්මාණය නොවන්නා වූ සාධාරණ සමාජයක් ඇතිකරගනිමින් ප්‍රශ්න නිරාකරනය කර ගැනීමය. ඒ ටික නොකර අසාධාරනය අයුක්තිය රජකරවා දූෂිත සමාජයක් බිහි කර ඒ තුලම තෙම්පරාදු වී පුද්ගලයන්ට වැරදි කිරීමට අනුබල දෙමින් කෙනෙක් අපරාධකරුවකු වෙන තෙක් බලා ඉඳ ඔහුව එල්ලා මරන ආකාරය දෙස බලමින් සතුටු වීමද හෙන වදින අපරාධයක් බව කාටත් සිහි ගැන්විය යුතුයි.


14 comments:

  1. \\අසාධාරනය අයුක්තිය රජකරවා දූෂිත සමාජයක් බිහි කර ඒ තුලම තෙම්පරාදු වී පුද්ගලයන්ට වැරදි කිරීමට අනුබල දෙමින් කෙනෙක් අපරාධකරුවකු වෙන තෙක් බලා ඉඳ ඔහුව එල්ලා මරන ආකාරය දෙස බලමින් සතුටු වීමද හෙන වදින අපරාධයක් බව කාටත් සිහි ගැන්විය යුතුයි.\\

    වචන දහස් ගණනකින් කියන්න් තියෙන දෙයක් ඔබ අවසානයට ඉතා කෙටියෙන් කියා තිබෙනව පකිස්. මේ ලිපිය කොටදෙනියාවේ මෙතුවක් වෙච්ච සිද්ධි පිළිබඳ මා මෙතෙක් දැකපු ඉතා හොඳ ලිපියක්. එල්ලුම් ගහෙන් ප්‍රශ්න විසඳන්න යන නූගතුන්ට අත දිග හැර කනේ පාරක් දීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්. නූගත්කම වගේම මෝඩකමත් මේ එල්ලුම් ගහට ලවු කරන එවුන්ගේ ගතියක්.

      Delete
  2. මට නම් පෙන්නේ මේක දැන් මෙගා ටෙලියකට එහා යයි වගේ, ඒ ගමන් මැරුවා කියලා කියන එවුන් වැඩි වේගෙන එන්නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් ආයෙමත් කියන්නෙ වැඩේ කළේ කොණ්ඩය නෙවෙයි උගේ අයිය කියලා. ටෙලියේ ඉතිරි හරිය කොහොමද දන්නේ නෑ.

      Delete
    2. ටෙලිය ඉවර වෙන්න තව කිදෙනෙක් විතර පාපෝච්චාරන සෙට් එකේ ඉන්නවද දන්නේ නෑ.

      Delete
    3. මේක මෙගා ටෙලිනාට්‍ය සේරම පරදවන ජාතියේ එකක්. කෙළවර වෙනකොට මොකෙක් වැරදිකාරයා වෙයිද දන්නේ නෑ. හොඳ වෙලාවට එල්ලුම් ගහ නැත්තේ ඒකත් තිබ්බනම් මට හොඳටම ශුවර් ගස් යන්නේ යමක් කමක් නැති රස්තියාදුකාර ඩයල් එක්ක් කියලා.

      Delete
  3. දැන් බලාගෙන යනකොට අහල පහල රේප් කේස් මර්ඩර් කේස් වෙනකොට හැම එකාම බයේ ඉන්න එපායෑ ඇයි යකෝ පොලීසිය ගේ ඇතුලෙ එවුනුයි අහල පහල එවුනුයි හිටන් සැක කරනවනේ. හොඳ වෙලාවට DNA පරික්ෂණයක් කළා.

    ReplyDelete
    Replies
    1. DNA පරීක්ෂාව නොකළනම් වෙන්න තිබුණේ පොලීසිය විසින් බලහත්කාරයෙන් පාපෝච්චාරනය කරවාගත් වරද නොකළ පුද්ගලයෙක් වරදකරුවා බවට පත් කිරීමයි. එල්ලුම් ගහ ක්‍රියාත්මක උනානම් ගස් යන්නෙත් මේ විදිහට වරද නොකළ කෙනෙක්. මීට ඉහත වෙච්ච අපරාධ වලදිත් පරීක්ෂණ කෙරිල වැරදිකාරයන්ට දඬුවම් කළේ මේ විදිහටනම් වැරදි නොකළ කීයක් නිස්කාරනේ දඬුවම් විඳිනවද, දඬුවම් විඳල තියෙනවද? මේකත් බරපතල අපරාධයක්.

      Delete
    2. DNA පරීක්ෂණ කරන්න බැරි වෙච්ච කාලේ මොන විදිහට අපරාධ ගැන විමර්ශන සිද්ධ උනාද කියලත් හිතල බලන්න වෙනවාමයි. ඒ ප්‍රශ්නේ ඔලුවට නෝන කෙනෙක් නෑ.

      Delete
  4. එල්ලිලා මැරෙන්නයි මරන්නයි අපේ ලංකාවේ ඈයොන්ට පුදුම ආශාවක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව. අපේ මිනිස්සුන්ට මේක විනෝදයක්ද කියල හිතෙන තරමට මේක පිස්සුවක් වෙලා. පොලීසියේ ජඩකම එක්ක බලපුවහම එල්ලුම් ගහට කවුරු යයිද කියල කවුද දන්නේ?

      Delete
    2. කියල වැඩක් නෑ. එල්ලුම්ගස් මානසිකත්වය ඉහවහ ගිය තකතීරුවො කොටදෙනියාවේ දහ අට සන්නිය නැටුවා.

      Delete
    3. මිනිස්සු එල්ලල මරනව බලන්න හරි එල්ලිල මැරෙනව බලන්න හරි අමුතු ආසාවක් තියෙන අය ඇති. ඒකත් එක් මානසික අද්භූත තත්වයක්

      Delete
    4. මේ මිනිස්සු එල්ලල මරනව දකින්න ආසාවක් තියෙන එවුන්ගේ හිතවලුත් බොහොම දරුණුයි.

      Delete