Pages

Thursday, June 29, 2017

මාලිංග ද? දයාසිරි ද?


බ්ලොග් එක පැත්තේ එන්න බැරි තරමට අවිවේකීයි. ඒත් පොඩි සටහනක් තියන්න හිතුවා. ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් වෙලා තියෙන එක අමුතු දෙයක් නෙවෙයි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවෙදී කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩකයන්ට තියෙන්නෙත් අති විශාල ජනප්‍රියත්වයක්. ලසිත් මාලිංග කියන්නේ අපේ රටෙන් ක්‍රිකට් පිටියට බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නෙක්. ඒ නිසාම ඔහුට ජනප්‍රියත්වයෙන් අඩුවක් තිබුනෙත් නෑ. නමුත් තව දෙයක් කියන්න තියෙනව. ලසිත් මාලිංග කොයි තරම් දක්ෂ ක්‍රීඩකයෙක් උනත් ක්‍රිකට් ක්‍රීඩාවෙදී අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම්ට ඔහු වැඩිම ප්‍රමුඛත්වය හැමවිට ලබා දුන්නය කියල කියන්නත් බෑ. ඒකට හේතුවකුත් තියෙනව. ලසිත් මාලිංග ක්‍රීඩාවෙදි ඔහුට ලැබෙන මුදල් ප්‍රමාණය ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව කාටත් පැහැදිලි දෙයක්. ඔහු අපේ රටේ ජාතික කණ්ඩායම නිල වශයෙන් සහභාගි වුන ඇතැම් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලට සහභාගී වීමට අදි මදි කරමින් ඉන්දියාවේ අයි පී එල් එකට ක්‍රීඩා කරන්න වැඩි කැමැත්තක් දැක්වුවා. ඒ එක සිද්ධියක්. ඒවගේ දේවල් තවත් තියෙන්න ඇති. නමුත් ඔහු දක්ෂයෙක්. ඒ නිසාම ඔහුට විරුද්ධ චෝදනා වලට අභියෝග කරන්නත් ඔහුට හැකියාවක් වගේම හයියක් තිබුණා. ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවෙදී රට වෙනුවෙන් මීට වඩා කැපවෙනවනම් මාලිංගට ඇගිල්ල දික් කරන අයට උත්තර දෙන්නත් ලේසියි. අනෙක ක්‍රීඩාවෙදි යම් විනයක් පවත්වගන්න බලධාරීන් උත්සහ කරන එක වරදක් නෙවෙයි. ඒක ක්‍රීඩකයන්ට නරක බලපෑමක් කරන්නෙ නෑ. ලසිත් මාලිංගට ක්‍රීඩාවෙ චෝදනා එල්ල කරන අයට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ මාලිංග ක්‍රීඩාවෙන්ම නැවතත් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමෙන් විතරයි.
               දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ ක්‍රියා කලාපය දෙස බලන්නට සිද්ද වෙන්නේ දේශපාලන ඇසින් නෙවෙයි. මම මේක කියන්නේ හේතුවක් ඇතුව. අද යහපාලන ආණ්ඩුව හැම පැත්තෙන්ම හැම එකාගෙම බයිට් එකට අහු වෙලා. දයාසිරි ක්‍රීඩා ඇමතිතුමාත් මේ යහපාලනේට මුක්කුව ගහලයි ඉන්නේ. ඉතින් යහපාලන විරෝධී මානසිකත්වෙන්ම් දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ වැඩ කටයුතු විවේචනය කරන්න මෙතනදි අපට බෑ. එහෙම උනොත් අපි යන්නෙත් මුලාවක. දයාසිරිම නොවුනත් වෙන කෙනෙක් ඔය ඇමතිකම කළත් ක්‍රීඩාවෙදි ක්‍රීඩකයන්ගේ විනයක් පවත්වාගෙන යන්න ඒ කෙනාටත් වගකීමක් තියෙනවා. ක්‍රිකත් ක්‍රීඩාවෙදි අපේ ක්‍රිකට් කණ්ඩායමටත් ඒක වලංගුයි. ඇමතිවරයා තමන් එක්ක හැප්පෙන්න එන ක්‍රීඩකයට එරෙහිව විතරක් විනය ක්‍රියාමාර්ග ගන්න යනවනම් ඒකේ වරදක් තියෙනවා. හැබැයි ලසිත් මාලිංගට තමන්ගේ පෙර දක්ෂතාවයනුයි ජනප්‍රියත්වයයි යොදාගෙන ක්‍රීඩා ඇමතිවරයාට අභියෝග කරන්න ඉඩක් දිය යුතුයි කියල හිතන එකත් හරි නෑ. මේ දෙපාර්ශවයම ක්‍රීඩාවට වැදගත් වගේම රටේ ක්‍රීඩාවේ කොටස්කාරයො. එකෙක් අනෙකාට අභියෝග කරන හැප්පෙන මානසිකත්වය වගේම හැල හැප්පිලි ගැටුම් වලින් පොදුවේ රටේ ක්‍රීඩාවට යහපතක් වෙන්නෙත් නෑ නේද? දයාසිරිගේ රිලා නැටුමයි මාලිංගගේ වේග පන්දුවයි සංසන්දනය කරන්න ගියොත් මාලිංග ඉදිරියෙන් බව ඇත්ත. නමුත් ක්‍රීඩා ඇමතිවරයෙකුට පැවරෙන රාජකාරීමය වගකීම් ඒ විදිහට සංසන්දනය කරන්න බෑ. මෙතනදි පෙනෙන්නට තියෙන කාරනේ තමයි ක්‍රීඩා ඇමතිතුමා වගේම මාලිංගත් අන්තෙට නොයා තම තමන්ගේ හරි වැරදි මොනවද කියල තේරුම් අරගෙන තම තමන්ගෙන් රටට සහ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙන්න අවශ්‍ය දේ රටට කරයුතුයි කියන එක.

3 comments:

  1. මාතෘකාව දැකපු ගමන් ආපු උත්තරය තමයි
    "මාලිංග"
    කියන එක...

    ReplyDelete
  2. apata ona Malinga Dayasiri apata epa

    ReplyDelete
  3. මාලිංග ගැන කිව්වෙ බොරුවක් නෙවෙයි

    ReplyDelete