Pages

Sunday, October 25, 2015

පරමාණු බෝම්බයක ක්‍රියාකාරිත්වය


පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වයට අදාල ප්‍රමාණු න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය සිද්දාන්තමය පැහැදිලි කිරීමක්.
පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන ආකෘතිමය පැහැදිලි කිරීම.

පරමාණු බෝම්බයක් ක්‍රියා කරන්නේ යුරේනියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය වල විකිරණ මගින් ශක්තිය පිටකර ස්ථාවරත්වයකට පත්වීමේ ක්‍රියාවලිය සිද්ධාන්තයක් ලෙස ගෙනයි.

Friday, October 2, 2015

මෝඩයාට ආශ්චර්ය ගෙන දෙන එල්ලුම් ගස

කාලයෙන් කාලයට ලංකාවේ එක එක ප්‍රදේශ මහත් ප්‍රසිද්ධියට පත් වේ. මෝදර කාක දූපත රත්නපුරේ කොට කෙතන මීට උදාහරන වේ. දැන් මහත් ප්‍රසිද්ධියට පත්ව කාගේත් කතා බහට ලක් වී ඇත්තේ මිනුවන්ගොඩ කොටදෙනියාවයි. හේතුව කොටදෙනියාවේ සේයා සදෙවුමි නම් 5 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක්ව අමානුෂික ලෙස මිය යෑමයි. සිද්ධිය ගැන බොහොමයක් තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය උනේ කාගේ කාගේත් හදවත් කම්පා කරවමිනි. මේ හෙන ගහන අපරාධය හයක් හතරක් නොතේරෙන කුඩා දැරියකට කිරීමෙන් එය කළ තැනැත්තා බලාපොරොත්තු වූයේ කුමක්ද? එයින් ඒ පාපතරයා යම් සතුටක් ලැබුවේද? මේවා මිනිස් හැඟීම් ඇති කිසිවෙකුට හිතාගන්නටවත් බැරි දේවල් වේ. අපරාධකාරයා ගැන තොරතුරු තවමත් එන්නේ වටින් ගොඩින්ය. දැන් මෙහි ප්‍රධාන සැකකරු වන දුනේෂ් නොහොත් කොණ්ඩයා ඔහු එම අපරාධය කළ ආකාරය කියමින් පාපෝච්චාරනය කළ බව සැලයි. දුනේෂ් නොහොත් කොණ්ඩයා මේ සැකකරුවන් කණ්ඩායමේ අන්තිමයායි. මීට පෙර එම දැරිවියගේ පියා සීයා මෙන්ම අසල්වැසි පාසල් සිසුවෙකු දෙදරු පියෙකු හා තවත් ප්‍රදේශයෙන් පලා ගිය කෙනෙකුද සැකකාර ලයිස්තුවේ වූහ. නමුත් ඔවුන් ගැන ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා දෝ පොලීසිය ඔවුන් ගැන සෙවීම අතහැර තිබුණි. මේ සිද්ධිය ගැන රටම කම්පා උනා පමණක් නෙවෙයි අපරාධකාරයාට දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන මතයේද සිටියා. අපි කියන්නේත් මේ සිද්ධියට වරදකරු වන පුද්ගලයාට තරාතිරම් නොබලා දඬුවම් කළයුතුය කියන කාරනය විතරක් නෙවෙයි මෙවැනි අපරාධ මින් ඉදිරියට සිදු නොවීමටද වගබලා ගත යුතු බවයි.
                  


මේ අතර දැන් හරි අපූරු දෙයක් මේ සිදුවීම ඇසුරෙහි නිර්මාණය වෙමින් පවතී. ඒ මෙම අපරධය කළ පුද්ගලයා එසේ කළේ ඇයි, මෙවැනි පුද්ගලයන් රටට සමාජයට බිහි උනේ කාගේ වරදින් මොන කරුමයකටද, මෙවැනි කරුමක්කාරයින් රටට සමාජයට නැවත බිහි නොවන්නට ක්‍රියා කිරීමේදී අප කාට කාටත් තිබෙන වගකීම් මොනවාද යන දේවල් සොයා බලනවාට වඩා වැරදිකාරයාට දෙන දඬුවම විස්තර කරමින් පිරිසක් යම් ආශ්වාදයක් ලැබීමයි. මේ අය බොහෝ දෙනා නැවතුනේ එල්ලුම් ගස ක්‍රියාත්මක කර අපරාධකරු එල්ලා මරා එම දර්ශනයද රටට ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් සමාජය බිය වද්දා මෙවන් අපරාධ මැඩ පැවැත්විය යුතුයි යන තැනය. එසේ සිතා එල්ලුම් ගස ඉල්ලමින් උද්ඝෝෂණය කළවුන් දැඩි උද්දාමයකින් එසේ කළේ එක් අතකට සමාජයේ වීරයන් ලෙස කැපී පෙනෙන්න උත්සහ කරන අතර ඒ තුලින් අපරාධ අඩු වී ප්‍රශ්න විසඳෙනවා කියා ප්‍රභල විශ්වාසයක්ද ඇති කරගෙනයි. ඇතම් පිරිස් එල්ලුම් ගස වෙනුවෙන් දැඩි උද්‍යෝගයකින් එකට එක්ව උද්ඝෝෂණ කරන අයුරුත් රූපවාහිනියේ හා පත්තර වල මෙන්ම අන්තර්ජාලයේ වෙබ් අඩවි වලද පළවිය.
                              දැන්නම් මේ සිද්ධිය හරහා පිරිසක් අතරින් මතු වූ එල්ලුම් ගස් උමතුව සමාජයම අන්ධ භාවයට පත් කරමින් තිබෙන බව බොහොම පැහැදිලිය. මීට තල්ලුව ලැබෙන්නේ චාරයක් නැති ජනමාධ්‍ය යැයි කියාගන්නා ජඩ මාධ්‍ය වලිනි. එල්ලුම් ගස වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් උද්ඝෝෂණ මෙහෙයවන පිරිස දෙස බැලීමේදී මේ අය අතර යම් අධ්‍යාපන මට්ටමක් සහිත උගත් බුද්ධිමත් කිසිවෙකුත් නොසිටින බව ඉතා පැහැදිලිව පෙනේ. මේ අය ගෙනෙන එකම හා ප්‍රධාන තර්කය වන්නේ එල්ලුම් ගසට බිය වැද්දා රටේ අපරාධකරුවන් අපරාධ කිරීමට මැලි වී අපරාධ වලින් තොර නීතිගරුක පිරිසිදු සමාජයක් හැදිය හැකි බවයි. මේ එල්ලුම්ගස්වාදීන් ඉතා දරදඬු ලෙස තම මතයේ එල්බ ගන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්නට ගිය කළ පොලීසියේත් නීති රීති වලත් අධිකරණවලත් දුර්වල පැත්තක් නැත යන උපකල්පනයේ සිටයි. මෙහි එල්බගන්නා ඇතැම් අන්තවාදීන් කුමන දුර්වලතාවයක් තිබුණත් හරි හෝ වැරදි හෝ මොකෙක් හෝ සැකකරුවෙකු වරදකරු කර එල්ලුවද එය හරි කියන තැනට මොළේ කුරුවල් කරගෙන ඇත. එවැන්නන් සමග එල්ලුම් ගහේ අනිසි ඵල විපාක ගැන කතා කිරීමටත් බැරිය. එසේ වන්නේ එක් අතකට එල්ලුම් ගස ඇසුරෙන් මොවුන් යම් වින්දනයක් ලබන බැවිනි. එතරම් බුද්ධි මට්ටමක් නැති මේ පිරිස එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න්ට බල කිරීම වීර ක්‍රියාවක් ලෙසද සලකයි. 
                                 

අවංකවම මේ එල්ලුම් ගස පන ගන්වන්නට වෙර දරන මිනිසුන් ගැහැනුන් දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුන්ද අපරාධකාරයෙකු එල්ලුම් ගසේ එල්ලන්නට බල කරන්නේ අපරාධවල පසුබිම හෝ නොතකා ඒවායේ වග උත්තර කරුවන් කෙරෙහි දැඩි ද්වේශයකින් බවයි. මේ අය මනුස්සයෙකු එල්ලා මරන ආකාරය දෙස බලා සියුම් වින්දනයක් ලබති. ඇතැම් විට අපරාධය කළ තැනැත්තා සමාජයේම වරදින් ඒ තත්වයට පත් උනා වන්නට පුළුවන. නමුත් තමන් මහ ලොකු වීරයන් යැයි සිතන නූගත් රස්තියාදුකාර මෝඩයන් වැරදි කිරීමට කෙනෙකුට අනුබල දෙන තම තමන්ගේම ඇතැම් කෙරුවාවල්  වසන් කර ගනිමින් යම් චිත්ත පීඩනයක් මුදාහැරීමට වරදක් කළ කෙනෙකුට දඬුවම් කරන හැටි රටට ඇසෙන්නට කියා කෑමොර දෙති. පොඩි උදාහරනයක් ලෙස ගතහොත් කෙනෙකු තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතා තවෙකෙකුගේ සියළු දේපලත් තමන් වෙත වංචාවෙන් පවරාගෙන ඔහුට සිය යැපුම් මාර්ගයද අහිමි කරමින් ඒ සියල්ල හොඳින් දැනගෙන ඔහුව තලා පෙලා දමයි නම් මෙලෙස පීඩාවට පත්වන කෙනා පීඩකයාගෙන් පලි ගැනීමට ක්‍රියාකිරීම සඳහා යම් කිසි සම්භාවිතාවයක් තිබේ. එවැනි සිද්ධියක් මිනී මැරුමකින් කෙළවර වන්නටද හැකියාව ඇත. එසේ වුවහොත් බොහෝ දුරට සිදුවන්නේ මිනීමරුවා ඔහුව ඒ තත්වයට පත් කළ පීඩකයාගේ සියළු කුපාඩිකම් පසෙකින් තිබියදී අපරාධකරුවෙක් වීමයි. නීතියේ ඇති අඩුපාඩුව අපට මගහරින්නට බැරිය. කෙනෙකුගෙන් තව කෙනෙකුට පීඩාවක් නොවන සමාජ තත්වයක් පැවතීමට ඉවහල් වන වැදගත් සදාචාරාත්මක සම්මුතීන් ආරක්ෂා කිරීමට නීතිය බොහෝ විට බැඳී නොසිටියි. නමුත් එලෙස සදාචාරයන් බිඳ වැටීම තුල අපරාධයකට යොමු වන තැනැත්තාට දඬුවම් කිරීමට නීතිය බැඳී ඇත. මෙය ගැටළුවකි.

                                                  නීතියේ පොලීසියේ උසාවියේ අඩුපාඩු ගැනනම් කතා නොකර ඉන්නට කොහොමත් බැරිය. මීට කලිනුත් කී ලෙසටම මිනිසුන්ට මිනිසුන් ලෙස සමාජගත වී එකිනෙකාට ගරු කරමින් ජීවත් වීමට හුරු කරන වටිනා සාරධර්මයන් රකින්නට නීතිය ඉදිරිපත් නොවන අතරම තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතමින් එකෙකුට එකෙක් නැති තන්හාවෙන් මසුරුකමෙන් ආත්මාර්ථකාමීත්වයෙන් අසීමිත ධනය හා සැප සම්පත් පසුපස හඹා යෑමට එක් එක් කෙනාට ඇති පුද්ගලික අයිතිය වෙනුවෙන් නීතිය පෙනී හිටී. අපරාධය හා අපරාධකරුවා නිර්මාණය වීමට මේ කාරනයම විවිධ මට්ටම් වලින් හේතු වේ. ලංකාවේ පොලීසිය ගැනනම් කියලා වැඩක් නැත. අපරාධ ගැන මූලික විමර්ශන කරන ආකාරය සැකකරුවන් තීන්දු කරන ආකාරය සැකය හා සාක්ෂි තහවරු කිරීම මරේ මරුය. මිනී මැරුමක් ගැන හරි ළමා අපචාරයක් ගැන හරි විමසුම් බුද්ධියෙන් සාක්ෂි හොයනවා වෙනුවට පවුලේ අය සැක කිරීම අසල්වාසීන් සැක කිරීම ආදී වැඩ කටයුතු සිනා පහලවන සුළුය. පොලීසි වල සිදුවන දූෂිත වැඩ කටයුතු දෙස බලන විටනම් සාධාරන පරීක්ෂණ ගැන විශ්වාසය තැබිය හැකිද යන්නත් ප්‍රශ්නාර්ථයකි. රිය අනතුරක් සම්බන්ධ සාක්ෂි වෙනස් කර වරද කරු බේරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට තැත් කර පොලිස් නිලධාරීන් ගැන පහු ගිය කාලයේ අසන්නට ලැබුණි. මිනී මැරුමක සාක්ෂි අනික් පැත්ත හරවන්න මෙවැනි දූෂිත නිලධාරීන් කීයක් විතර අය කරනු ඇත්දැයි අප දන්නේ නැත. යම් යම් වැරදි වලට පොලීසිය විසින් දුප්පත් අහින්සකයන් සැක පිට අත්ඩංගුවට ගෙන වද දී බලෙන් වරද පටවා ඇත්තම වරද කාරයා නිදැල්ලේ යැවීම වැනි දේවල් වලටද යම් කිසි ඉඩකඩක් පැහැදිලිව ඇත. වඩාත්ම කතාබහ කළයුතු කාරනේ මෙතැන කෙනෙකු තවෙකෙකුගෙන් අසාධාරණයට හා පීඩාවට පත් වීම වලක්වන පොදු සදාචාරාත්මක වටිනාකම් වනසන්නට ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කරලියට එද්දී නීතියද ඒ වෙනුවෙන්ම ක්‍රියා කිරීමයි. මෙය සමාජ පීඩකයන් හා පීඩිතයන් නිර්මාණය කිරීමට ඉවහල් වන අතරම පීඩකයාට රිසි සේ පීඩිතයන් තලා පෙලීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමකි. පීඩකයා වත් පොහොසත් අයෙකු වී පීඩිතයා දුප්පත් කෙනෙක් වන විට පීඩිතයා නීතිය ඉදිරියේද අනාරක්ෂිතය. ඒ අසාධාරණය රජ කරන කාලකන්ණි සමාජයේ හැටිය. අද බොහෝ දෙනෙක් කට්ට කා ඉගෙනගන්නේත් අනාගතයේ පීඩිතයන්ගේ ගොඩට නොවැටී පීඩකයන්ගේ ගොඩට එක් වීමටයි. එය හිතා මතා නොවන්නට පුළුවන් උනත් වත්මන් තුච්ච කාලකන්ණි සමාජ ක්‍රමය තුල ස්වභාවයෙන් සිදු වන්නේ එයයි.
                               

කොටදෙනියාවේ ඛේදවාචකය අභිමුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක උන ආකාරය අන්ත අප්‍රසන්න එකක් වූවා පමණක් නොව සිද්ධිය හමුවේ ජනමාධ්‍ය පිස්සු බල්ලන කුනු ගොඩක් අවුස්සා පලාතම ගඳ ගස්සවන ආකාරයට වැරදි නැති මිනිස්සුන්ගේ පවා ආත්ම ගරුත්වය වනසමින් කරුනු නොදැන පොලීසිය ආවට ගියාට කරන ප්‍රකාශ රටට බෙදමින් හැසිරුනු ආකාරයත් ඉතා අශික්ෂිතය. පොලීසිය සිද්ධියට සැකපිට පාසල් සිසුවෙක් අත්ඩංගුවට ගත්තේ කිසිදු සාධාරණ සාක්ෂියක් නැතුවයි. පසුව පොලීසිය බේරුමට කීවේ ඔහුගේ ලැප්ටොප් එකේ අසභ්‍ය දෑ තිබූ බවකි. මෙය සිනා උපදවන කාරනයක් වේ. මේ තර්කය මත පිහිටා සැක කළොත් එක් පැත්තකින් අසභ්‍ය දේ නැති ලැප්ටොප් සොයාගන්නට තරමක් අමාරුවනවා පමණක් නොව අසභ්‍ය දේ ඇති ලැප්ටොප් හිමි කරුවන් සියල්ලන් ලිංගික අතවර කාරයන් වේ. එවිට පොලිස් කාරයන් කීයක් ඔය ගොඩේ ඉඳීවිද කියන එකත් හොයන්නම වෙන අපූරු සිද්ධියක් වනවා නොඅනුමානයි. මේ සිද්ධියටම ප්‍රදේෂයේ තවත් දෙදරු පියෙකු සැක පිට අතඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ හදිසි කොණ්ඩය හා රැවුල කැපීමේ උවමනාවත් සේයාගේ අවමගුලට සහභාගී නොවී තම සහෝදරියගේ නිවසට ගොස් එහි නතර වීමත් කියන කාරනා සැලකිල්ලට ගෙනයි. මෙයත් මහ අපබ්‍රංශයකි. මේ අනුව අහල පහල අපරාධයක් වූ විට කොණ්ඩය රැවුල කැපීමද අනතුරු දායකය. දැන් දැන් දැනගන්නට ලැබෙන කරුනු වලට අනුව මෙලෙස සැකපිට අත් අඩංගුවට ගත් මේ අයට නිරුවත් කර පහර දෙමින් පොලීසිය ඔවුන්ගේ මානුෂීය අයිතීන් බරපතල ලෙස උල්ලංගනය කර ඇත. අවසානයට තමන් වරද කළා යැයි පාපෝච්චාරණය කළ දුනේෂ් නොහොත් කොණ්ඩයාට උනේත් මේ ටිකද කියා සැකයක් දැන් කාටත් ඇතිවේ. කොණ්ඩයාගේ කැරැට්ටුවේ හැටියට සැකකාර ලිස්ට් එකේ අවසානයට හිටි ඔහුට පොලීසියේ සංග්‍රහය සමග අවාසනාවේ ටිකට් එකත් ඇදුනාද? වෙච්ච දේවල් වල හැටියට අපිට මේ ප්‍රශ්නනම් පැනනගින එක නොවැලැක්විය හැකියි.

                          අපි කවුරු කවුරුත් මොහොතකට දැන් සිතා බැලිය යුත්තේ අපරාධ වලට පුද්ගලයන් පොළඹවන අවලම් සමාජ තත්වයක් එක් පැත්තකින් තිබෙද්දී අනික් පැත්තෙන් පොලිස් පරීක්ෂණ වල ජඩ කමත් තිබෙන විට එල්ලුම් ගසත් ක්‍රියාත්මක උනොත් වෙන්නේ කුමක්ද කියන එකයි. කොටදෙනියාවේ ඛේදවාචකයට පසුව හදිසියේ වීරයන් වී එල්ලුම් ගස ඕනෑ බව කියමින් කෑ ගැසූ අයගේ එල්ලුම් ගසට ඇති අවංක ලවු එක මල ඉලවුවක් වෙන්නේ අසාධාරන චෝදනාවකට ලක්වී පොලිස් ආදරවන්තයන්ගෙන් සංග්‍රහ ලබා තමන්ගේම බෙල්ලට තොන්ඩුව වැටුන දාටයි. අප කවුරු කවුරුත් එනිසා නොපමාව කළ යුත්තේ මේ අපරාධ වලට මෙන්ම අසාධාරන පොලිස් පරීක්ෂණ වලටද එරෙහිව සංවිදානය වෙන අතරතුර අපරාධ වලට අනුබල දෙනු ලබන දූෂිත විෂම සමාජයෙන් ගැලවී කෙනෙක් තවත් කෙනෙකුගේ සතුරෙකු නොවන පීඩකයන් හා පීඩිතයන් අතර ගැටුම් නිර්මාණය නොවන්නා වූ සාධාරණ සමාජයක් ඇතිකරගනිමින් ප්‍රශ්න නිරාකරනය කර ගැනීමය. ඒ ටික නොකර අසාධාරනය අයුක්තිය රජකරවා දූෂිත සමාජයක් බිහි කර ඒ තුලම තෙම්පරාදු වී පුද්ගලයන්ට වැරදි කිරීමට අනුබල දෙමින් කෙනෙක් අපරාධකරුවකු වෙන තෙක් බලා ඉඳ ඔහුව එල්ලා මරන ආකාරය දෙස බලමින් සතුටු වීමද හෙන වදින අපරාධයක් බව කාටත් සිහි ගැන්විය යුතුයි.


Monday, August 31, 2015

වී අර්බුදය හා මතක් කර ගතයුතු අතීතය

මෑතක ඇතිවූ වී අර්බුදය මාධ්‍ය බොහොමයක ප්‍රධාන මාතෘකාව වෙලා. ඒ අතර පහුගියදාක අපට රූපවාහිනී ප්‍රවුර්තියකින් දැනගන්න ලැබුණා වී මිලදී ගැනීම කඩිනම් කරමින් අර්බුදය නිමා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නු බවක්. ඒ වගේම අගමැති උපදෙස් මත වී අලෙවි මණ්ඩලය ලහි ලහියේ වී මිල දී ගැනීමට කටයුතු කරන බවක්ද පුවත මගින් පෙන්නුම් කළා. එහිදී මාධ්‍ය මගින් පෙන්වා දෙන්නට උත්සහ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නුවනින් හා දක්ෂතාවයෙන් වී ප්‍රශ්නය සමතයකට පත් වන බවකුයි. මෙය පිටතින් බැලූ කලනම් අපටත් තේරුම් යන්නේ එය ඒ ආකාරයෙන්මය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකලාපය ගැන ටිකක් සොයා බැලූ විටනම් ඔහු විසින් මේ දැන් ගොවි ජනතාව ගැන ඇතිකරගෙන තිබෙන මහා අනුකම්පාව නිසා වී අර්බුදයට හදිසි විසඳුම් ලබා දීම වීරකමකට වඩා සිනහ උපදවන කාරනයක් වේ.
                      

පළමුවැන්න වී විකුනාගැනීමට නොහැකිව අසරන වූ ගොවියන්ට වී කිලෝව සඳහා රුපියල් 50 කෙසේ වෙතත් සහතික මිලක් වත් නැතිව රුපියල් 20 - 30 අතර මිලකට විකුනා දැමීමට සිදුවීමයි. එහෙත් මේ කතාවනම් ප්‍රවුර්ති වල උජාරුවට නොකිවුවේ වී කිලෝවට රුපියල් 50 සහතික මිල චන්ද පොරොන්දුවක්ව තිබූ බව ජනමාධ්‍ය බොහොමයක් දන්නා නිසාදැයි අපට නිකමට හැඟේ. ඒ මේ වෙනකොටත් බොහෝ ජනමාධ්‍ය එක්සත් ජාතික පක්ෂ හිතවතුන් වී සිටින ආකාරය දකින විටයි. කෙසේ වෙතත් වත්මන් පාරිශුද්ධ අගමැතිවරයාගේ අවංක හා දූෂිත බවෙන් තොර කම වැඩි නිසාදෝ මහ බැංකුවටද මහා පරිමාණ පාඩුවක් සිදු වී ඇති වාතාවරනයක් තුල මේ යලටයි මහටයි වපුරන ගොවියො ටිකකට පාඩුවක් වෙන එක ගනන් ගන්නට දෙයක්ද හිටං එක අතකට. ඕව කියන්න යන්න ඕන නෑ. ඔන්න ඔහේ අගමැතිතුමාගේ නියමයෙන් ගොවීන්ගේ වී ටික මිලට ගන්න වී අලෙවි මණ්ඩලය කටයුතු කළා කියල මාධ්‍ය වලින් රටට කිවුවහම ඇති හිටං.
                         
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අන පරිදි වී අලෙවි මණ්ඩලය අසරණ ගොවියන්ගේ වී මිලට ගෙන ඔවුන් සනසාලූ ප්‍රවුර්තිය ඇහෙනකොට අපිට නිකමට මතක් උනේ මීට කලින් රනිල් මහත්තය අගමැති වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින්ම වී අලෙවි මණ්ඩලය අහෝසි කර වසා දැමූ ආකාරයයි. මොන කරුමෙකට හරි මේක අපේ මෙමරියෙන් ඩිලීට් කරන්න බැරුව ඉතිරි වෙලා තිබුණා. ජල කලමනාකරනයද මොකද්ද මගඩියක් හරහා වතුරත් විකුණන ගමන් සල්ලි වලට ගෙදර ලිඳටත් බද්දක් අයකරන්න අන පනත් ගේන්න ගොවියන්ට ආදරේ ඇති රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වෙලා හිටපු ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම ලෑස්ති වෙලා හිටිය කියලත් මෙමරියේ කොහෙ හරි තිබිල එලියට පැන්න ඩිලීට් කරන්න බැරිවෙලා තිබිල. යටත්විජිතවාදයේම ගෝලයෙක් වෙච්ච වික්‍රමසිංහ මහත්තය අතීත වැඩ කිඩ සේරම අමතක කරල හදිස්සියේම වී අලෙවි මණ්ඩලයට ගොවියන්ගේ වී ටික මිලට ගන්න නියෝග දීල මාධ්‍ය සන්දර්ශනයක් දාගෙන වීරකමක් කරපු වෙලාවේ අපටනම්  පස්චාත් භාගයෙනුත් හිනා ගියා හිටං.

Friday, August 28, 2015

අමුතුවෙන් ලියන්න දෙයක් නෑ සංගෝ

මේ සටහන තබන්නේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතමයාගේ සමුගැනීම වෙනුවෙනි. ඒ ගැන යමක් නොකීවොත් අඩුවක් මෙන්ම ක්‍රිකට් රසිකයන් වන අප එක්තරා අතකට යුතුකමක් පැහැර හැරියා වෙනවා. ඉතින් සංගා ගැන අමුතුවෙන් කියන්න දේවල් නෑ කියලයි මට පෙනී යන්නේ. ඒ ඔහුව ලංකා වාසී සියල්ලෝම හොඳින් හඳුනන නිසාත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුගේ දක්ෂතා ගැන නියම තක්සේරුවක් ඔවුන් සියළු දෙනාට තිබෙන නිසාත්ය. වසර 2000 සිට 2015 සමුගන්නා තෙක් ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැක. මීට ටික කලකට පෙර මෙලෙසම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වූ  මහේල ජයවර්ධන ක්‍රිකට් වලින් සමු ගත්තේය. එහිදීද ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පිරවීම ඉතා අපහසු හිඩැසක් නිර්මාණය විය . දැන් සංගාගේ නික්ම යෑමද එවැනිම හිඩැසක් නිර්මාණය කර තිබේ. කෙසේ වෙතත් එවැනි දස්කම් ඇති නවක ක්‍රීඩකයින් ඉක්මනින් බිහි වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.
                                    

සංගාගේ තරඟ වාර්තා දෙස බැලුවොත් ඔහු මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරඟ 134ක්ට ක්‍රීඩා කර ලකුණු 12400ක් ලබාගනිමින් 57.40ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙන තිබෙන්නේ ඔහු සතු විශිෂ්ඨත්වය මැනවින් විදහා පාමිනි. ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ඔහු ලබාගත් වැඩිම ලකිණු ප්‍රමාණය වන්නේ 319ක් බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි. මේ අනුව ඔහු ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ත්‍රිත්ව ශතක ලාභීන් ගොඩටද අයත් වේ. සංගාගේ එක් දින තරඟ වාර්තා අනුව ඔහු තරඟ 404කදී ලකුණු 14234ක් ලබා ගනිමින් ලකුණු 41.98ක දල වේගයක් රඳවාගෙන තිබෙනවා. එක්දින තරඟ වලදී ඔහු ලබා ඇති ඉහලම ලකුණු සංඛ්‍යාව 169කි. එදා මෙදා තුර ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් ලබා ඇති ටෙස්ට් ශතක වාර්තා අතර පළමුවැන්නා සංගක්කාරයි ඔහු ටෙස්ට් ශතක 38ක් හා ටෙස්ට් අර්ධ ශතක 52ක් ලබා ඇත. ඔහු ලබා ඇති එක් දින ශතක සංඛ්‍යාව 25ක් හා අර්ධ ශතක ගනන 93කි.
                         ඉතින් සංගෝ ඔබේ දැකුම්කළු පහරවල් ක්‍රිකට් පිටියේ අපට ආයෙමත් දකින්න බැරි වෙයි. ඒත් එවන් විශිෂ්ඨයෙකු කෙදිනක හෝ බිහි වෙයි කියන එකත් සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවක් වෙනවා ඇති. සංගෝ ඔබට හද පිරි ගෞරවය පුද කරන අතරම ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු. 

Monday, July 6, 2015

NGO කාරයා දුටු සිහිනය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවට බටහිර රටවල් වල මහා අනුකම්පාව හා ආදරය හිමි වෙලාය. අසල්වැසි ඉන්දියාවද ශ්‍රී ලංකාව ගැන පුදුම විදිහට පැහැදිලා.මොකද අප්පේ ඒ? ඇයි යහපාලනයනේ දැන් තියෙන්නේ මෛත්‍රිය පතුරුවන.

මෛත්‍රිය පිරි යහපාලනයේ නියමුවාට රනිල් වික්‍රමසිංහ නම් ජාතික වීරයා අගමැති කරවන පොරොන්දුව නොදුන්නානම් දිනන්නට බැරි වෙන්න තිබුනා නොවැ. එහෙනං, ඒකනේ ඒ වීරයව අගමැති කළේ හිටං.

ඔන්න ඉතිං බටහිර රටවලයි ඉන්දියාවෙයි ශ්‍රී ලංකාවට තියෙන ආදරේ වැඩි කමට දෙන වටිනා ගුරු හරු කම් මැද්දේ මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව සාර්ථක දින 100 පහු කරනකොට ජනතාව ආන්ඩුව විසුරුවන්න එපා කියමින් මෛත්‍රී රනිල් නායක දෙපල ලඟ දනින් වැටෙයි. වන් මෝ.... වන් මෝ..... කියමින් දින ගනන වැඩි කරගන්න ජනතාව බල කරයි. 


යහ පාලනය හෙනට නැගල ගිහිල්ලාය. ජනතාවට හෙන ආතල්ය. එහෙන් ජාතික විරු රන්ජා හිටපු දේශද්‍රෝහී මහ රජාගේ හොරකම් හිටු කිආ අල්ලනවාය. අල්ලාගත් හොර බඩු බැංකු ගිනුම් වල සල්ලි එහෙම රටටම කන්ඩ දෙන්න පුළුවන් සයිස් එකට ගොඩ ගහගතු ඒවලු. ජනතා ඇසිපිය නොහෙලා බලාහිටියි.

යහපාලනේට බාධාකරන විපක්ෂය ගැන තීන්දුවක් ගන්න වෙලාය. ඔන්න අපේ යහපාලන ලොක්කා කවදත් රටට උදවු උපකාර කරන ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙන්තුව දැනුවත් කරලා එහෙම රනිල් ලොක්කගෙනුත් අහලා ආන්ඩුව විසිරුවා හැරලා. දැන් ජනතා ඉස්පාසුවක් නැතුව බලා ඉන්නව රනිල් ලොක්කව අගමැති කරන්න.


යහපාලනයේ දුෂ්ඨයා මහින්ද නම් හිටපු මහරජායි. මහරජා බංකොලොත්ය. මහරජාට ඇත්තේ පන්සල් යෑම පමණකි. ඔහුට කර කියාගත හැකි වෙනත් දෙයක් නැත. මහරජා වටේ සිංහ කොඩි අතින් ගත්තු ජාතිවාදියෝ ටික දෙනෙක් ඉන්නවාය. උන්ට මහින්ද අගමැති ඕනෑය. ජාතිවාදීනටනම් මෙදාපොටේ ඉඩක් නැත.

චන්ද සටන ඇරඹිලාය. රට පුරාම ඇත්තේ කොළ පාට කොඩි වැල් පමණකි. ජනතාව එක හඬින් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ ජාතික වීරයායි. රනිල්ගේ රැස්වීම් වලට යන්නට ඔහු කියන වටිනා වදන් වැකි අසන්නට ජනතාව රෑ නිදි මරමින් ලකලෑස්ති වෙති.

රනිල් වික්‍රමසිංහ වීරයා පැරකුම්බා නිරිඳුන් මෙන් මහත් තේජසින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවට අවතීර්ණ වේ. එසැනින් ජනතාව ඔල්වරසන් දෙනු ලැබේ. රනිල්ගේ කතාව අසාගන්නට ජනතාවට ඉස්පාසුවක් නැත. ජාතික වීරයා කතාව පටන් ගනියි. අත්පුඩි ජය ඝෝෂා එකයි.කොළ කොඩි වැනේ ඒ අතර තැනින් තැන මහා පරිමාණයෙන් දේදුණු වර්ණ කොඩිත් ලෙළදෙයි.

දුෂ්ඨ මහින්දගේ රැස්වීම වලට සෙනග නැත. මහින්ද වේදිකාවට නගින විටත් ජනතාව හූ කියයි. හොරා හොරා කියමින් මින්සුන් මහින්ද හිටපු මහ රජාට විරෝධය දක්වති. සිංහ කොඩි ගත් ජාතිවාදීන් පමණක් මහින්ද වටේ ඇත. ඒ ඉතා සුළු පිරිසකි. මහජනතාව ජාතිවාදයට විරුද්ධය.

මේ අතර සිංහල බෞද්ධ මහජනතාව ජාතිවාදය ගැනත් සිංහල ඉතිහාසය ගැනත් කලකිරී ඇත. ඔවුන් කොපමණ කලකිරී ඇත්දැයි කීවොත් මහා වංශය ගිනි තැබියයුතුයැයි කියති. බහුතර සිංහල බෞද්ධයන් ජාතිවාදය අත්හැර බහුවාර්ගික වීම සඳහා වික්‍රමබාහු කරුනාරත්න පඬිවරයාගේ සති අන්ත වැඩමුළු වලට සහභාගී වෙති. වැඩමුළුව අවසානයේ ජාතික කොඩියේ සිංහයාටත් මිනිස්සු බණිති.

රටේ මහජනතාව ඇමරිකාවේ සියළු ප්‍රාන්ත වල සමලිංගික විවාහයන් පිළිගැනීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පසුවෙති. ශ්‍රී ලංකාවේද එසේ වියයුතුයැයි බහුතරයක් කියති. සියළු දෙනා පවතින ජාතික කොඩිය වෙනස් කළයුතුයැයි කියති. ඒ එහි සිංහයෙකු සිටීම නිසා උතුරේ සහෝදර දෙමළ ජනයාගේ හිත රිදෙයි කියාය.

බහුතරයක් සිංහල බෞද්ධයන් දැන් මහින්දට බනින්නේ ප්‍රභාකරන් ඇතුළු කොටි විමුක්තිකාමීන් මරා අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ ද්‍රෝහිකම සිහි කරමිනි. ඒ දවස් වල චන්ද්‍රිකා කියපු විදිහට පැකෙජය දී ෆෙඩරල් විසඳුමක් දී තිබුණානම් අද වන විට ඊලම හදාගන්න අපේ සහෝදර මිස්ටර් ප්‍රභාකරන්ට ඉඩ නොදීම ගැන සින්හලයෝ කනස්සලු වෙති. ඒ වීසා පාස්පෝට් නැතුව දැන් වගේ උතුරට නොයා වීසා පාස්පෝට් පෙන්නා කොටි කොඩියට ගරු කර යාපනේ සංචාරය කිරීමේ අවස්ථාව අහිමි වන නිසාලු.

ඔන්න ඉතින් චන්ද පොරයත් පටන්ගෙන පක්ෂ ගනනාවක්ම වේදිකා උඩ තමන්ගේ කියුම් වනනවලු හතර වටේ. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ එක්සත් ජාතික පක්ෂයට තරම් ප්‍රසාධයක් වෙන කාටවත් නෑ. එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට මිනිස්සු කිරිඇල්ල මහත්තය ගාව දනින් වැටෙනවලු. ඒ තරමට හිටපු ජාතිවාදීන්ගේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා.

මහින්ද මහත්තය දිනවන්න කියලා චන්ද සටන ගෙනයන කිසිම කෙනෙකුට ජනතා ප්‍රසාදය නෑ. විමල්ට මිනිස්සු ගල් මුල් වලින් ගසති. ගම්මන්පිල හැංගිලාය මහින්දට හූ කියති. යන යන තැන මහින්ද චකබ්ලාස්ය. ජනතාව ප්‍රවුර්ති දැනගන්නේද රාජ්‍ය නොවන සංවිධාන මගිනි. ඒ ඔවුන් ජාතිවාදයට පක්ෂ නැති නිසා ඇත්ත කියන හින්දලු. සිරසත් ගජරාමෙට වැඩය. ඒ රනිල් දිනවන්නට ඒකපාක්ෂිකවය. එය ඇත්තෙන්ම සාධාරනයි කියා මහජනතාවත් හිතාගෙන ඉන්නේ රනිල් වගේ හොරකම් නොකරන ජාතිවාදී නැති කාන්තාවන්ට අතවර නොකරන කෙනෙක් ගැන ඇති පැහැදීම නිසාළු ඕං

ඔන්න ඉතින් අගෝස්තු 17 උදා වෙනවා. මිනිස්සු  දැඩි උද්‍යෝගයකිනුයි චන්දය දෙන්නේ.අහන අහන කෙනා යූඇන්පී. මාර ආතල්. ඔන්න රෑ වෙනකොට චන්ද ප්‍රතිඵල දෙන්න පටන් ගත්තා.පළමු තැපැල් චන්දයම එ.ජා.පය උඩින් දිනුම් ආයේ නෑ මහින්දගේ පිලට චන්ද 10යි.මුළු ලංකාවෙම ප්‍රතිඵලය එනකොට එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනල. යූ.ඇන්.පී ආසන 150යි දෙමළ සන්ධානය දෙවනියට ඉන්නේ ආසන30යි සිරිසේනගේ අත ලකුනට ආසන 20යි මහින්ද මහත්තයගේ පක්ෂෙට ආසන10යි ඉතිරිය මුස්ලිම් කොන්ග්‍රස් ජේ.වී.පී ආදී කුඩා පක්ෂ වලට.

ඔන්න ඉතින් රනිල් අගමැතිවරයාගේ යටතේ අළුත් යූ.ඇන්.පී ආණ්ඩුව පත් උනා. හකීම් මහත්තයත් ආණ්ඩුවට මුක්කුවක් ගහලා. රිෂාඩ් බදුර්ඩීන් උන්නැහෙත් එහෙමයි. අළුත් ආණ්ඩුවේ ප්‍රභලම ඇමතිකම් හම්බ වෙලාතියෙන්නේ මංගල සමරවීර, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන මහ්ත්වරුන්ටයි. ඊට අමතරව රන්ජන් රාමනායක රාජිත සේනාරත්න රෝසි සේනානායක යන අයත් ලොකු පුටු වල. සිරිසේන ජනාධිපති තුමා යහපාලන මොළය මෙහෙයවලා උප අගමැති තනතුරක් හදලා ඕං ඒක දෙනව චන්ද්‍රිකා නෝනට. ජාතික විධායක කමිටුව පත්කරලා ඒකේ ඔක්කොම් ඉන්නේ විදේශ තානාපතිවරු නම්කරන පුද්ගලයන්. 

අළුත් ආන්ඩුව ගැන ලෝකයම පැහැදිලාය. ලොව හතර දෙසින් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ එ.ජා.ප ආන්ඩුවට සුබපැතුම් ගලා එයි. විරමසිංහයන් මංගලද කැටුව බටහිර රටවල් ගනනාවකම සංචාරය කරයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවද වික්‍රමසිංහයන් සාදරයෙන් පිළිගනියි. ගුරුහරුකම් ලබා දෙයි. ජාත්‍යන්තර විචාරකයන් ජනමාධ්‍ය මේ අළුත් ප්‍රවණතාවය ගැන දැඩි උද්දාමයකින් කතා කරති. වික්‍රමසිංහයන් ඉන්දියාවේද සංචාරයක් කරයි. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා බැහැදකී. වටිනා ගුරුහරුකම් ලබාගනී. රුසියාව හා චීනය සමග තිබෙන සම්බන්ධතා ඇනහිටී. බටහිර රටවල් සතුටින් පිනා යයි.

දැන් සිරිසේන ජනාධිපතිත් රනිල්ට යටය. බටහිරට පොරොන්දු වූ පරිදි සිරිසේන විධායක බලතල අත්හැර රනිල් වික්‍රමසිංහයන්ට පවරා ඇත. මහින්දට යන එන මං නැත. වැඩ බලන අගමැති චන්ද්‍රිකාය. ජාතික විධායක සභාවට සිංහලයන් එකෙක්වත් නැත.

මහින්දයි සන්ධාන ආන්ඩුවයි හොරාකාපුවා වංචා කරපුවා සොයන්නට බාරදී තිබෙන්නේ අතිගරු රන්ජාටයි. ඔහු හම්බන්තොටින් ගෙයක් අරන් එහි පදිංචි වී රාජපක්ෂ පවුලේ තොරතුරු හොයයි. ඔහුට දිනපතා රත්තරන් හමුවේ. රාජපක්ෂලා හංගපු සල්ලි මැදමුලන ගස් යටිනුත් හමු වෙයි. මේ පුවත් අසා ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් මහින්දට දඬුවම් කිරීමට බල කරයි. ලැම්බෝගිනි අශ්වයෝ හෙලිකොප්ටර් බෙලිඅත්තෙන් මතුවෙයි. රන්ජා දැන්නම් චිත්‍රපටියක මෙන් වීරයා වී ඇත.

මංගල සම්මරවීර ඇමතිගේ ආරාධනයෙන් ලොවපුරා සිටින කොටි ඩයස්පෝරා සාමාජිකයින් කොළඹ පැමිණ සිංහලයන් සමග අත්වැල් බැඳගනිමින් ඩයස්පෝරා සැනකෙලිය පවත්වති. සියළු දෙනා මහින්ද යුධ අධිකරණයට යැවිය යුතු බව කියති. ඉක්මනින්ම පාර්ලිමෙන්තුව කැඳවා උතුරට දේශපාලන විසඳුම ලබා දීම කඩිනම් කෙරේ. 13වන සංශෝධනයෙන් එහා ගොස් පොලිස් ඉඩම් සියළුම බලතල සහිත ෆෙඩරල් විසඳුම වැඩි චන්දයෙන් සම්මත වේ. දැන් දෙමළ සන්ධානය උතුරේ පාලනය ගෙනයයි.

ලංකාව තුල සමලිංගිකත්වයට ඇති තහනම ඉවත් කිරීමට සියළු කටයුතු සූදානම් කෙරේ. බටහිර රටවල් වලින් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්නා බව වික්‍රමසිංහයන් කියයි. නොබෝ දිනකින්ම සමලිංගික තහනම ඉවත් වේ. සමලිංගික විවාහයන්ද ශ්‍රී ලංකාව තුල පිළිගෙන ඇත. දැන් සමලිංගිකයන් සිත් සේ පවුල් කති. දරුවන් දරුකමට හදාගනිමින් තවත් සමලිංගික පරපුරක් හදති. දැන් නීති ඉතා තදය. සියළුම නීති ක්‍රියාත්මක වන්නේ සමලිංගිකයන් හා සුළුජන කොටස් වල්ල අයිතීන් වෙනුවෙනි. සිංහල ජාතිවාදීන්ට නීති මගින් දැඩි දඬුවම් පමුණුවයි. අධිකරණ විනිසුරුවරුන්ද සමලිංගිකයන් හා සිංහල නොවන අය වෙති.

සිංහලයන් ජාතිවාදය අතහරිමින් සිංහල ඉතිහාසය වලදමා නැවත වරක් එංගලන්තයට රට පවරා දෙන ලෙස වික්‍රමසිංහයන්ගෙන් ඉල්ලති. උතුරේ ඊලම පිහිටුවිය යුතුයැයි සිංහලයෝම කියති. වික්‍රමසිංහයන් බටහිර සංචාරයක් ගොස් උපදෙස් රැගෙන උතුරට සම්පූර්ණ ස්වයංපාලනය සමග ඊලම ලබා දේ. ඊලම පිහිටුවීමේ නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වන්නේ රනිල් සහ චන්ද්‍රිකා ඇතුළු බටහිර හා ඉන්දීය නායකයන්ය. ඊලාම් කොඩිය උතුරේ දැන් ලෙළදෙයි. හමුදාව මුළුමනින් ඉවත් කර ඇත.

රනිල් වික්‍රමසිංහයන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා නාමමාත්‍රික විධායකයා වන සිරිසේන ජනපති එක්ව ශ්‍රී ලංකාව නැවතත් බ්‍රිතාන්‍යට භාර දෙති. දැන් රටේ ජාතික කොඩියේ සිංහයාද නැත. කොඩිය එංගලන්ත කොඩියයි. සියල්ල සිදුවන්නේ එංගලන්තයට අවශ්‍ය පරිද්දෙනි. දැන් තරුණ තරුණියන්ට ටයි කෝට් අඳින උසස් රැකියා ලැබී ඇත. ඉන්ටර්නෙට් වයිෆයි ගැන මොන කතාද? සියල්ල නොමිලේ අධිවේගයෙනි. දැන් වැවයි දාගැබයි ගමයි පංසලයි කතා නැත. තරුණ පිරිස කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. හාමුදුරුවරු කියන කිසිවක් කිසිවෙකුත් තුට්ටුවට ගනන් නොගනිති. වැඩිදෙනා දැන් බටහිර මෙන් නිරාගමිකය.


ඊලාම් රාජ්‍යයේ හා බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලත් ඉන්දියාවේත් උපදෙස් මත කොටි විමුක්තිකාමීන් මරා දැමූ මිනීමරු හමුදාව ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන්වා දඬුවම් කිරීමටද දැන් සියල්ල සූදානම්ය. මුල් පියවර යටතේ හමුදා නිලධාරීන් විෂාල පිරිසක් මරා දැමේ. ගෝඨාද යුධ අධිකරණයෙන් මරණ දඬුවම ලබා විදුලි පුටුවට යයි. බ්‍රිතාන්‍යට බාරදුන් ලංකාවේ ජාතිවාදී නොවන දැහැමි වැසියන් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙති. දැන් මහින්දගේ වාරයයි.ජාත්‍යන්තර අධිකරණය මරණ දඬුවම ප්‍රකාශයට පත් කරයි. දැන් මහින්ද විදුලි පුටුවේ ගැටගසා ඇත. දඬුවම ක්‍රියාත්මක කිරීමට අළුගෝසුවා පැමිණ විදුලි බොත්තම තදකරන්න සැරසෙයි..............

දඩ බඩාස්... දොහ්... අපේ  NGO සාමාජිකයා නින්දෙන් ඇහැරුනේ ඇඳ පල්ලේ වැටෙන විටය. ඒ වෙනකල් හීනය දැක්කේ හෙන ආතල් එකේය ආතල් එක වැඩිකමටදෝ ඇඳෙන් වැටෙනතෙක් ගානක් ගියේ නෑ. නින්දෙන් ඇහැරුනු NGO ක්‍රියාකාරී මානව හිතවාදියා දුක පහ කරගැනීමට දිගු සුසුමක් හෙලා මුහුණකට හෝදාගෙන ඇඳ පැලඳ තම ආයතනයේ රාජකාරියකට අනුව තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකුට එරෙහි මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්ධ සාක්ෂි සෙවීමට පිටත්ව ගියේය........