Pages

Saturday, November 7, 2015

කිසිම සතුටකුත් නෑ කිසිම කනගාටුවකුත් නෑ.

                   

රටේ තවත් ජනප්‍රියම චරිතයක් වූ පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියන් අපවත් වී ඇත. මේ ප්‍රවුර්තිය අසන්නට ලැබුණේ අද උදෑසනයි. සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය. එහෙත් පසකාලීනව මෑතක් දක්වා සෝභිත හිමියන්ගේ දේශපාලන කටයුතු ආදිය ජනතාවට ඒ තරම් රට ජාතිය පැත්තෙන් හිතකර නොවීය. එබැවින් උන්වහන්සේ මෑතක සිට ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ පෙර මෙන් රටට ජාතියට ආගමට ඒ තරම් වැඩදායක හිමි නමක් ලෙස නොවේ. ඊට හේතුව උන් වහන්සේට රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් වඩා තමන් සහය දැක්වූ දේශපාලන කණ්ඩායමට තිබූ ඇල්මදෝයි විටෙක සිතේ. කෙසේ කුමක් සිදු වූවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙර කල රටට සමාජයට කළ ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නට කිසිවෙකුටත් පුළුවන් කමක් නැත. උන්වහන්සේ බොහෝ ජාතික ගැටළු වලදී රටේ ජාතිකත්වය පැත්තේ සිටියේය. සෝභිත හිමියන් රටේ සමාජය බෞද්ධ සදාචාරාත්මක ගුනයන්ගෙන් පෝෂණය කරන්නට මනා කාර්යභාරයක් කළේය. දහම් අධ්‍යාපනයයේ උන්නතිය වෙනුවෙන්ද උන් වහන්සේ ඇප කැප වී ක්‍රියා කර ඇත. මේ සියල්ල සලකා බලන විටනම් උන් වහන්සේගේ අපවත් වීම රටටත් සමාජයටත් පාඩුවක් මෙන්ම ශෝකජනක සිද්ධියකි.
                                           පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන කියනට තවත් පැත්තකින් වෙනත් කරුනු කීපයක්ද ඇත. ඒවා පෙර කී කාරනා වලට හාත් පසින් වෙනස් හා ප්‍රතිවිරුද්ධ දේවල් වේ. ඒ වැඩි හරිය උන්වහන්සේගේ එතරම් ප්‍රසිද්ධ නොවූ දේශපාලන ක්‍රියාකාරකම්ය. එකක්නම් රටට හෙන වැද්දූ අන්ත විජාතික ගැති කොටි ත්‍රස්තවාදයටත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුන් චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය ජනාධිපතිනිය බවට පත් කිරීමට එකළ කැප වී වැඩ කටයුතු කිරීමයි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ පැකේජ් නාඩගමටත් විජාතික ගැතිකමටත් එරෙහිව උන්වහන්සේ පසුව හඬක් නැගුවේය. එහෙත් එහි අර්ථය උන් වහන්සේ චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට දැක්වූ සහය අනුව කුමක්දැයි සාධාරන ප්‍රශ්නයක් විය. මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. ඒ එක්සත් ජාතික පක්ෂයද සමස්ථයක් ලෙස දැක්වූ විජාතික ගැතිකම නිසයි. සෝභිත හිමියන් පහුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් කැප වෙමින් නැවතත් පෙර චන්ද්‍රිකා කුමාරතුන්ග මහත්මිය ජනපති කිරීමට ක්‍රියා කළ ලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවීමටද කැප වුනි. උන්වහන්සේ වරක් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටද සූදානමක් තිබුනු බව කවුරුත් දනී. අද මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරගනිමින් විජාතික ගැති දේශපාලන ගමනක් යන ආකාරය පැහැදිලිය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යහපාලනය ගැන පසුව කලකිරුනද ඒ එහි විජාතික ගැතිකම නිසා නොවීය. අවසන් කාලයේ සෝභිත හිමියන් රටේ ජාතික ගැටළු වලදි පෙර මෙන් ජාතිකත්වය පැත්තේ සිට ජාතික මෙහෙවරද නොකළේය. ඒ අනුව බලන කළනම් උන්වහන්සේගේ අපවත් වීම ගැන ජාතිකත්වය පැත්තෙන් බලන කළ විශේෂ කනගාතුවක්ද නැත.
                                          එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වුන කල්හි මෙරට අති විශාල ජනකායක් උන්වහන්සේගේ අපවත් වීම ගැන ශෝක වූයේ උන්වහන්සේ රටට ජාතියට බුද්ධ ශාසනයට ඇති අභියෝග ගැන නිතර ජනතාව අවධි කරමින් නොවෙනස් ජාතික ආගමික මෙහෙවරක් සිදු කළ නිසාය. එහෙත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුලදී සද්භාවයෙන් ජාතික ආගමික මෙහෙයක් කළ පසුව වැරදි දේශපාලනයක් අප්‍රකට ලෙස කරමින් විජාතික ගැති බලවේග සමග එක්ව කටයුතු කළේය. උන්වහන්සේ අපවත් වී ඇති මේ මොහොත වන විට ජනතාවගෙන් වැඩි හරියකට ඇත්තේ මේ ගැන දුක් වනවාද නැත්නම් සතුටු වනවාද කියන ගැටළුවයි. ඇත්තටමනම් වැඩි දෙනෙකුට ඇතිවන්නේ කිසිම දුකක්වත් කිසිම සතුටක්වත් නැති මධ්‍යස්ථ හැඟීමකි. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් කළ කී දෑ අනුවයි. කොහොම උනත් උන්වහන්සේට නිවන් නිවන් සුව අත් වේවායී ප්‍රාර්ථනා කරමි.

Wednesday, October 28, 2015

කනගාටුව ප්‍රකාශකළාම ඔක්කොම හරිද ආයිබොවන්?


අපේ රටේ දැන් දැන් සිද්ද වෙන්නේ ලෝකේ කිසිම රටක සිද්ද නොවන වර්ගයේ අමුතුම සිදුවීම්ය. මේවා බොහොමයක් ලංකාවටම ආවේනිකද කියා විටෙක අපට හිතේ. මේ ලඟකදී අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් අප ජීවත් වන අරුම පුදුම රටේ ජනතාවගේ ඒ තරම් කැමැත්තක් නැති අගමැතිවරයා විසින් විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමට පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ අංශයට කැඳවා ප්‍රශ්න කර තිබේ. ප්‍රශ්න කිරීමට හේතුව සියල්ලන් දන්නා කාරනයක් බැවින් එහි සැබෑව විස්තර කරන්නට යෑමෙන් පලක් නැත. වඩාත් සිනහවට කරුන වන්නේ සිද්ධියෙන් පසුව අපේ අරුම පුදුම රටේ අරුම පුදුම රාජ්‍ය නායකයා වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒබව තමා නොදැන සිටි බවත් තමා ඒ ගැන දැනගත්තේ ජන මාධ්‍ය මගින් බව හා තමාගෙන් නොවිමසා රනවිරුවන්ගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම ගැන තමා කනගාටු වනබව ප්‍රකාශ කිරීමත් වේ. මෙහි ඇති අනෙක් සිනහවට කාරනය වන්නේ මෙසේ කියන අපේ ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාවටද අනුව ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයා වීමයි.
                              

    මතුපිටින් බලනකොටනම් මේ සිද්ධිය සිනාසෙන්නට හැකි විහිළුවක් උනත් ඒ තුල සිනහවෙන් එහා යන බරපතල හා කනගාටුදායක තත්වයක් තිබේ. ඒ රටේ නිල රාජ්‍ය නායකයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියාගේ අනුදැනුමෙන් තොරව ආරක්ෂක හමුදාවේ ඉහලම නිලධාරීන් අගමැතිවරයා ඇටවූ පලිගැනීමේ පොලිස් ඒකකයේ ගොදුරක් වීමය. වඩා බරපතල කාරනය රටේ රාජ්‍යනායකයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාණියා ලෙස ජනාධිපතිවරයා ඒ නොදැන සිටීමට අමතරව ඔහු විසින් මේ සිද්ධියේ ව්‍යවස්ථානුකූල බව සාධාරණත්වය හා හේතු හොයා බලනවා වෙනුවට සිද්ධිය ගැන තම කනගාටුව ප්‍රකාශ කර ඇඟ බේරා ගැනීමය. ත්‍රිවිධ හමුදාවේ ඉහලම නිලධාරීන් අතින් යම් යම් වැරදි අකටයුතුකම් සිදු වී ඇත්නම් හා එසේ සිදුවනවානම් සියල්ලට පෙර ඒ ගැන නිසි අවධානය යොමු කළයුත්තේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයායි. අනෙත් කාරනයනම් ත්‍රිවිධ හමුදාවේ වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වෙනම ඒ ඒ හමුදා අංශ වල පොලීස් ඒකක වෙන් වෙන් වශයෙන් තිබීයදී ඒ සියල්ලට උඩින් අගමැතිවරයාගේ පලිගැනීමේ පොලිස් ඒකකය ක්‍රියාත්මක උනේ කෙසේදයන්නයි.
                              
     මේ සිද්ධියේදී ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී සේනාධි නායක හැටියට රටේ ජනාධිපතිවරයා හැසිරුනු ආකාරය හරිද? මෙතැන පොලිස් මූල්‍ය අපරාධ අංශයේ ප්‍රශ්නකිරීමට ලක් උනේ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ තීරනාත්මක සටනේදී ඊට නායකත්වය දුන් ඉහලම නිලධාරීන්ය. හමුදාවේ කිසිදු වැදගත් වැඩක් නොකර රනිල් චන්ද්‍රිකා රටේ ඉහලම නායකත්වයන් හෙබවූ යුද්ධය වවාගත් කාලයේ වංචා මූල්‍ය අක්‍රමිකතා සිදුකර නිලධාරීන් නොසිටියේද? එකළ එවැන්නන් අල්ලා දඬුවම් කරන්නට නොතිබුනු උවමනාවක් රට කොටියාගෙන් බේරාගෙන අවසන් වූ මොහොතක රට වෙනුවෙන් වගකීම් අකුරට ඉටු කළ නිලධාරීන් පසුපස පොලීසිය එවා ඔවුන්ගේ වැරදි සෙවීමට දැන් තිබෙන්නේ කෙසේද? එක් පැත්තකින් කොටි ත්‍රස්තවාදය ප්‍රදවා ජාතියට නිදහසේ හුස්මගන්නට බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්නට අවස්ථාව සලසා දුන් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇගයීම වෙනුවට ඔවුන්ට යුධ අපරාධ චෝදනා එල්ල වෙමින් තිබේ. මේය ඔවුන්ගේ පමණක් නොව ඔවුන්ගේ කැප කිරීමට පින් සිදුවන්නට නිදහසේ ජීවත්වන රටේ සියළුදෙනාගේ අවාසනාවකි.
                              
     මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හැසිරීම හා ඔහු කරන ඔල්මොරොන්දම් ප්‍රකාශ දකින විට අපේ රටේ රාජ්‍ය නායකයා මෙවැන්නෙකු උනේ කුමන අවාසනාවකටද කියා නොසිතෙන කෙනෙක් මේ වෙනකොට නැතිව ඇති. මේ සිද්ධියේදීත් හමුදා ප්‍රධානීන්ට සිදු වූ දේ මම දන්නේ නෑ, මට කනගාටුයි ආදී ප්‍රකාශ කර සිරිසේන මහතාට ඇඟ බේර ගතහැකිද? ඔහුට කෙලින්ම සම්බන්ධ ප්‍රශ්නයක් මෙතැන තිබේ. එකක්නම් ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන්ගේ වැරදි ඇත්නම් ඒ සම්බන්ධ පරීක්ෂණ මුලින්ම යොමු කළයුත්තේ කොහාටද යන්න සේනාධිනායකයා නොදැනීමට හේතුවක් නොතිබීමයි. අඩුම තරමින් ඒ වික්‍රමසිංහ මහතාගේ විරුද්ධවාදීන් මර්ධනය කිරීමේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නොවන බව හෝ ජනාධිපතිවරයා දැනගත යුතුව තිබුණි. එහෙත් උනේ වෙනමම සිද්ධියකි. ත්‍රිවිධ හමුදා වල පොලිස් ඒකක වලටත් පිටින් සේනාධිනායකයාගේ අනුදැනුමත් නැතිව හමුදා නිලධාරීන්ගෙන් රටේ කිසිවෙක් නොඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය පෞද්ගලික උවමනාවට පිහිටුවාගත් පොලිස් ඒකකයක් විසින් ප්‍රශ්න කර තිබේ.
                              
       සියල්ල සිදුවූ පසු ජනාධිපතිවරයා කියා තිබුණේ තමන් ඒ ගැන දැන නොසිටි බව හා ඒ සම්බන්ධයෙන් කනගාටු වන බවයි. රටේ රාජ්‍යනායකයා  හැටියට ඔහුට තිබෙන බලය ගැනද යම ගැටළුවක් පැන නැගේ. සිද්ධිය දැන නොසිටියද ජනාධිපතිවරයාට සේනාධිනායකයා ලෙස තමන්ගේ හමුදා ප්‍රධානීන්ට සිදු වූ දෙය ගැන සොයා බලා ඔවුන්ගේ වැරදි ඇත්නම් ක්‍රියා කළයුතු ආකාරය කුමක්දැයි අගමැතිටත් ඔහුගේ පොලිස් ඒකකයටත් පෙන්වාදීමට තිබුණි. අප දන්නා පරිදේ අගමැතිවරයා මේ පොලිස් මූල්‍ය අපරාධ අංශය පිහිටවූ අවස්ථාවේද ජනාධිපතිවරයා කිය තිබුණේ තමන් ඒ ගැන දැන නොසිටි බවකි. මේ රට ගැන තීන්දු ගන්නා රාජ්‍ය නායකයා මෛත්‍රීපාල ජනාධිපතිද නැත්නම් අගමැති රනිල්ද කියා තවත් ගැටළුවක් නිතැතින් ඇති වේ. තමන් සේනධිනායකයා වූ හමුදාවේ ත්‍රස්ත මර්ධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකළ විරුවන් පසුපස පොලිස් ඒකක පන්නද්දී ඒගැන නොදන්නා ජනපති ජාතියේ සතුරු පාර්ශව සතුටු වන අයුරින් බොරු යුධ අපරාධ චෝදනා මත අපේම හමුදා අංශ වලට දඬුවම් කිරීමට ජාත්‍යන්තරයේ සපථ කරයි. ජාතික වගකීම් අකුරට ඉටුකළ හමුදා නිලධාරීන්ට හිටි අඩියේ එල්ලවන චෝදනා හා ප්‍රශ්නකිරීම් වල සාධාරනත්වයක් ඇත්දැයි සොයා බලා නිසි ක්‍රියාමාර්ග නොගෙන මම දන්නේ නෑ, මට කනගාටුයි වැනි ඇඟ බේරාගැනීමේ ප්‍රකාශ නිකුත් කරන රාජ්‍ය නායකයෙකුගෙන් රටට ඇති වැඩේ මොකද්ද? මොන ජාතික අනතුරක් ඉදිරියේ වුව මම දන්නේ නෑ, මට කනගාටුයි වැනි ප්‍රකාශ නිකුත් කිරීමක් හැර මෙවැන්නෙකුගෙන් වෙන යමක් බලාපොරොත්තු විය නොහැක.

Sunday, October 25, 2015

පරමාණු බෝම්බයක ක්‍රියාකාරිත්වය


පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වයට අදාල ප්‍රමාණු න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය සිද්දාන්තමය පැහැදිලි කිරීමක්.
පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන ආකෘතිමය පැහැදිලි කිරීම.

පරමාණු බෝම්බයක් ක්‍රියා කරන්නේ යුරේනියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය වල විකිරණ මගින් ශක්තිය පිටකර ස්ථාවරත්වයකට පත්වීමේ ක්‍රියාවලිය සිද්ධාන්තයක් ලෙස ගෙනයි.

Friday, October 2, 2015

මෝඩයාට ආශ්චර්ය ගෙන දෙන එල්ලුම් ගස

කාලයෙන් කාලයට ලංකාවේ එක එක ප්‍රදේශ මහත් ප්‍රසිද්ධියට පත් වේ. මෝදර කාක දූපත රත්නපුරේ කොට කෙතන මීට උදාහරන වේ. දැන් මහත් ප්‍රසිද්ධියට පත්ව කාගේත් කතා බහට ලක් වී ඇත්තේ මිනුවන්ගොඩ කොටදෙනියාවයි. හේතුව කොටදෙනියාවේ සේයා සදෙවුමි නම් 5 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක්ව අමානුෂික ලෙස මිය යෑමයි. සිද්ධිය ගැන බොහොමයක් තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය උනේ කාගේ කාගේත් හදවත් කම්පා කරවමිනි. මේ හෙන ගහන අපරාධය හයක් හතරක් නොතේරෙන කුඩා දැරියකට කිරීමෙන් එය කළ තැනැත්තා බලාපොරොත්තු වූයේ කුමක්ද? එයින් ඒ පාපතරයා යම් සතුටක් ලැබුවේද? මේවා මිනිස් හැඟීම් ඇති කිසිවෙකුට හිතාගන්නටවත් බැරි දේවල් වේ. අපරාධකාරයා ගැන තොරතුරු තවමත් එන්නේ වටින් ගොඩින්ය. දැන් මෙහි ප්‍රධාන සැකකරු වන දුනේෂ් නොහොත් කොණ්ඩයා ඔහු එම අපරාධය කළ ආකාරය කියමින් පාපෝච්චාරනය කළ බව සැලයි. දුනේෂ් නොහොත් කොණ්ඩයා මේ සැකකරුවන් කණ්ඩායමේ අන්තිමයායි. මීට පෙර එම දැරිවියගේ පියා සීයා මෙන්ම අසල්වැසි පාසල් සිසුවෙකු දෙදරු පියෙකු හා තවත් ප්‍රදේශයෙන් පලා ගිය කෙනෙකුද සැකකාර ලයිස්තුවේ වූහ. නමුත් ඔවුන් ගැන ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා දෝ පොලීසිය ඔවුන් ගැන සෙවීම අතහැර තිබුණි. මේ සිද්ධිය ගැන රටම කම්පා උනා පමණක් නෙවෙයි අපරාධකාරයාට දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන මතයේද සිටියා. අපි කියන්නේත් මේ සිද්ධියට වරදකරු වන පුද්ගලයාට තරාතිරම් නොබලා දඬුවම් කළයුතුය කියන කාරනය විතරක් නෙවෙයි මෙවැනි අපරාධ මින් ඉදිරියට සිදු නොවීමටද වගබලා ගත යුතු බවයි.
                  


මේ අතර දැන් හරි අපූරු දෙයක් මේ සිදුවීම ඇසුරෙහි නිර්මාණය වෙමින් පවතී. ඒ මෙම අපරධය කළ පුද්ගලයා එසේ කළේ ඇයි, මෙවැනි පුද්ගලයන් රටට සමාජයට බිහි උනේ කාගේ වරදින් මොන කරුමයකටද, මෙවැනි කරුමක්කාරයින් රටට සමාජයට නැවත බිහි නොවන්නට ක්‍රියා කිරීමේදී අප කාට කාටත් තිබෙන වගකීම් මොනවාද යන දේවල් සොයා බලනවාට වඩා වැරදිකාරයාට දෙන දඬුවම විස්තර කරමින් පිරිසක් යම් ආශ්වාදයක් ලැබීමයි. මේ අය බොහෝ දෙනා නැවතුනේ එල්ලුම් ගස ක්‍රියාත්මක කර අපරාධකරු එල්ලා මරා එම දර්ශනයද රටට ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් සමාජය බිය වද්දා මෙවන් අපරාධ මැඩ පැවැත්විය යුතුයි යන තැනය. එසේ සිතා එල්ලුම් ගස ඉල්ලමින් උද්ඝෝෂණය කළවුන් දැඩි උද්දාමයකින් එසේ කළේ එක් අතකට සමාජයේ වීරයන් ලෙස කැපී පෙනෙන්න උත්සහ කරන අතර ඒ තුලින් අපරාධ අඩු වී ප්‍රශ්න විසඳෙනවා කියා ප්‍රභල විශ්වාසයක්ද ඇති කරගෙනයි. ඇතම් පිරිස් එල්ලුම් ගස වෙනුවෙන් දැඩි උද්‍යෝගයකින් එකට එක්ව උද්ඝෝෂණ කරන අයුරුත් රූපවාහිනියේ හා පත්තර වල මෙන්ම අන්තර්ජාලයේ වෙබ් අඩවි වලද පළවිය.
                              දැන්නම් මේ සිද්ධිය හරහා පිරිසක් අතරින් මතු වූ එල්ලුම් ගස් උමතුව සමාජයම අන්ධ භාවයට පත් කරමින් තිබෙන බව බොහොම පැහැදිලිය. මීට තල්ලුව ලැබෙන්නේ චාරයක් නැති ජනමාධ්‍ය යැයි කියාගන්නා ජඩ මාධ්‍ය වලිනි. එල්ලුම් ගස වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් උද්ඝෝෂණ මෙහෙයවන පිරිස දෙස බැලීමේදී මේ අය අතර යම් අධ්‍යාපන මට්ටමක් සහිත උගත් බුද්ධිමත් කිසිවෙකුත් නොසිටින බව ඉතා පැහැදිලිව පෙනේ. මේ අය ගෙනෙන එකම හා ප්‍රධාන තර්කය වන්නේ එල්ලුම් ගසට බිය වැද්දා රටේ අපරාධකරුවන් අපරාධ කිරීමට මැලි වී අපරාධ වලින් තොර නීතිගරුක පිරිසිදු සමාජයක් හැදිය හැකි බවයි. මේ එල්ලුම්ගස්වාදීන් ඉතා දරදඬු ලෙස තම මතයේ එල්බ ගන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්නට ගිය කළ පොලීසියේත් නීති රීති වලත් අධිකරණවලත් දුර්වල පැත්තක් නැත යන උපකල්පනයේ සිටයි. මෙහි එල්බගන්නා ඇතැම් අන්තවාදීන් කුමන දුර්වලතාවයක් තිබුණත් හරි හෝ වැරදි හෝ මොකෙක් හෝ සැකකරුවෙකු වරදකරු කර එල්ලුවද එය හරි කියන තැනට මොළේ කුරුවල් කරගෙන ඇත. එවැන්නන් සමග එල්ලුම් ගහේ අනිසි ඵල විපාක ගැන කතා කිරීමටත් බැරිය. එසේ වන්නේ එක් අතකට එල්ලුම් ගස ඇසුරෙන් මොවුන් යම් වින්දනයක් ලබන බැවිනි. එතරම් බුද්ධි මට්ටමක් නැති මේ පිරිස එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න්ට බල කිරීම වීර ක්‍රියාවක් ලෙසද සලකයි. 
                                 

අවංකවම මේ එල්ලුම් ගස පන ගන්වන්නට වෙර දරන මිනිසුන් ගැහැනුන් දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුන්ද අපරාධකාරයෙකු එල්ලුම් ගසේ එල්ලන්නට බල කරන්නේ අපරාධවල පසුබිම හෝ නොතකා ඒවායේ වග උත්තර කරුවන් කෙරෙහි දැඩි ද්වේශයකින් බවයි. මේ අය මනුස්සයෙකු එල්ලා මරන ආකාරය දෙස බලා සියුම් වින්දනයක් ලබති. ඇතැම් විට අපරාධය කළ තැනැත්තා සමාජයේම වරදින් ඒ තත්වයට පත් උනා වන්නට පුළුවන. නමුත් තමන් මහ ලොකු වීරයන් යැයි සිතන නූගත් රස්තියාදුකාර මෝඩයන් වැරදි කිරීමට කෙනෙකුට අනුබල දෙන තම තමන්ගේම ඇතැම් කෙරුවාවල්  වසන් කර ගනිමින් යම් චිත්ත පීඩනයක් මුදාහැරීමට වරදක් කළ කෙනෙකුට දඬුවම් කරන හැටි රටට ඇසෙන්නට කියා කෑමොර දෙති. පොඩි උදාහරනයක් ලෙස ගතහොත් කෙනෙකු තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතා තවෙකෙකුගේ සියළු දේපලත් තමන් වෙත වංචාවෙන් පවරාගෙන ඔහුට සිය යැපුම් මාර්ගයද අහිමි කරමින් ඒ සියල්ල හොඳින් දැනගෙන ඔහුව තලා පෙලා දමයි නම් මෙලෙස පීඩාවට පත්වන කෙනා පීඩකයාගෙන් පලි ගැනීමට ක්‍රියාකිරීම සඳහා යම් කිසි සම්භාවිතාවයක් තිබේ. එවැනි සිද්ධියක් මිනී මැරුමකින් කෙළවර වන්නටද හැකියාව ඇත. එසේ වුවහොත් බොහෝ දුරට සිදුවන්නේ මිනීමරුවා ඔහුව ඒ තත්වයට පත් කළ පීඩකයාගේ සියළු කුපාඩිකම් පසෙකින් තිබියදී අපරාධකරුවෙක් වීමයි. නීතියේ ඇති අඩුපාඩුව අපට මගහරින්නට බැරිය. කෙනෙකුගෙන් තව කෙනෙකුට පීඩාවක් නොවන සමාජ තත්වයක් පැවතීමට ඉවහල් වන වැදගත් සදාචාරාත්මක සම්මුතීන් ආරක්ෂා කිරීමට නීතිය බොහෝ විට බැඳී නොසිටියි. නමුත් එලෙස සදාචාරයන් බිඳ වැටීම තුල අපරාධයකට යොමු වන තැනැත්තාට දඬුවම් කිරීමට නීතිය බැඳී ඇත. මෙය ගැටළුවකි.

                                                  නීතියේ පොලීසියේ උසාවියේ අඩුපාඩු ගැනනම් කතා නොකර ඉන්නට කොහොමත් බැරිය. මීට කලිනුත් කී ලෙසටම මිනිසුන්ට මිනිසුන් ලෙස සමාජගත වී එකිනෙකාට ගරු කරමින් ජීවත් වීමට හුරු කරන වටිනා සාරධර්මයන් රකින්නට නීතිය ඉදිරිපත් නොවන අතරම තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතමින් එකෙකුට එකෙක් නැති තන්හාවෙන් මසුරුකමෙන් ආත්මාර්ථකාමීත්වයෙන් අසීමිත ධනය හා සැප සම්පත් පසුපස හඹා යෑමට එක් එක් කෙනාට ඇති පුද්ගලික අයිතිය වෙනුවෙන් නීතිය පෙනී හිටී. අපරාධය හා අපරාධකරුවා නිර්මාණය වීමට මේ කාරනයම විවිධ මට්ටම් වලින් හේතු වේ. ලංකාවේ පොලීසිය ගැනනම් කියලා වැඩක් නැත. අපරාධ ගැන මූලික විමර්ශන කරන ආකාරය සැකකරුවන් තීන්දු කරන ආකාරය සැකය හා සාක්ෂි තහවරු කිරීම මරේ මරුය. මිනී මැරුමක් ගැන හරි ළමා අපචාරයක් ගැන හරි විමසුම් බුද්ධියෙන් සාක්ෂි හොයනවා වෙනුවට පවුලේ අය සැක කිරීම අසල්වාසීන් සැක කිරීම ආදී වැඩ කටයුතු සිනා පහලවන සුළුය. පොලීසි වල සිදුවන දූෂිත වැඩ කටයුතු දෙස බලන විටනම් සාධාරන පරීක්ෂණ ගැන විශ්වාසය තැබිය හැකිද යන්නත් ප්‍රශ්නාර්ථයකි. රිය අනතුරක් සම්බන්ධ සාක්ෂි වෙනස් කර වරද කරු බේරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට තැත් කර පොලිස් නිලධාරීන් ගැන පහු ගිය කාලයේ අසන්නට ලැබුණි. මිනී මැරුමක සාක්ෂි අනික් පැත්ත හරවන්න මෙවැනි දූෂිත නිලධාරීන් කීයක් විතර අය කරනු ඇත්දැයි අප දන්නේ නැත. යම් යම් වැරදි වලට පොලීසිය විසින් දුප්පත් අහින්සකයන් සැක පිට අත්ඩංගුවට ගෙන වද දී බලෙන් වරද පටවා ඇත්තම වරද කාරයා නිදැල්ලේ යැවීම වැනි දේවල් වලටද යම් කිසි ඉඩකඩක් පැහැදිලිව ඇත. වඩාත්ම කතාබහ කළයුතු කාරනේ මෙතැන කෙනෙකු තවෙකෙකුගෙන් අසාධාරණයට හා පීඩාවට පත් වීම වලක්වන පොදු සදාචාරාත්මක වටිනාකම් වනසන්නට ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කරලියට එද්දී නීතියද ඒ වෙනුවෙන්ම ක්‍රියා කිරීමයි. මෙය සමාජ පීඩකයන් හා පීඩිතයන් නිර්මාණය කිරීමට ඉවහල් වන අතරම පීඩකයාට රිසි සේ පීඩිතයන් තලා පෙලීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමකි. පීඩකයා වත් පොහොසත් අයෙකු වී පීඩිතයා දුප්පත් කෙනෙක් වන විට පීඩිතයා නීතිය ඉදිරියේද අනාරක්ෂිතය. ඒ අසාධාරණය රජ කරන කාලකන්ණි සමාජයේ හැටිය. අද බොහෝ දෙනෙක් කට්ට කා ඉගෙනගන්නේත් අනාගතයේ පීඩිතයන්ගේ ගොඩට නොවැටී පීඩකයන්ගේ ගොඩට එක් වීමටයි. එය හිතා මතා නොවන්නට පුළුවන් උනත් වත්මන් තුච්ච කාලකන්ණි සමාජ ක්‍රමය තුල ස්වභාවයෙන් සිදු වන්නේ එයයි.
                               

කොටදෙනියාවේ ඛේදවාචකය අභිමුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක උන ආකාරය අන්ත අප්‍රසන්න එකක් වූවා පමණක් නොව සිද්ධිය හමුවේ ජනමාධ්‍ය පිස්සු බල්ලන කුනු ගොඩක් අවුස්සා පලාතම ගඳ ගස්සවන ආකාරයට වැරදි නැති මිනිස්සුන්ගේ පවා ආත්ම ගරුත්වය වනසමින් කරුනු නොදැන පොලීසිය ආවට ගියාට කරන ප්‍රකාශ රටට බෙදමින් හැසිරුනු ආකාරයත් ඉතා අශික්ෂිතය. පොලීසිය සිද්ධියට සැකපිට පාසල් සිසුවෙක් අත්ඩංගුවට ගත්තේ කිසිදු සාධාරණ සාක්ෂියක් නැතුවයි. පසුව පොලීසිය බේරුමට කීවේ ඔහුගේ ලැප්ටොප් එකේ අසභ්‍ය දෑ තිබූ බවකි. මෙය සිනා උපදවන කාරනයක් වේ. මේ තර්කය මත පිහිටා සැක කළොත් එක් පැත්තකින් අසභ්‍ය දේ නැති ලැප්ටොප් සොයාගන්නට තරමක් අමාරුවනවා පමණක් නොව අසභ්‍ය දේ ඇති ලැප්ටොප් හිමි කරුවන් සියල්ලන් ලිංගික අතවර කාරයන් වේ. එවිට පොලිස් කාරයන් කීයක් ඔය ගොඩේ ඉඳීවිද කියන එකත් හොයන්නම වෙන අපූරු සිද්ධියක් වනවා නොඅනුමානයි. මේ සිද්ධියටම ප්‍රදේෂයේ තවත් දෙදරු පියෙකු සැක පිට අතඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ හදිසි කොණ්ඩය හා රැවුල කැපීමේ උවමනාවත් සේයාගේ අවමගුලට සහභාගී නොවී තම සහෝදරියගේ නිවසට ගොස් එහි නතර වීමත් කියන කාරනා සැලකිල්ලට ගෙනයි. මෙයත් මහ අපබ්‍රංශයකි. මේ අනුව අහල පහල අපරාධයක් වූ විට කොණ්ඩය රැවුල කැපීමද අනතුරු දායකය. දැන් දැන් දැනගන්නට ලැබෙන කරුනු වලට අනුව මෙලෙස සැකපිට අත් අඩංගුවට ගත් මේ අයට නිරුවත් කර පහර දෙමින් පොලීසිය ඔවුන්ගේ මානුෂීය අයිතීන් බරපතල ලෙස උල්ලංගනය කර ඇත. අවසානයට තමන් වරද කළා යැයි පාපෝච්චාරණය කළ දුනේෂ් නොහොත් කොණ්ඩයාට උනේත් මේ ටිකද කියා සැකයක් දැන් කාටත් ඇතිවේ. කොණ්ඩයාගේ කැරැට්ටුවේ හැටියට සැකකාර ලිස්ට් එකේ අවසානයට හිටි ඔහුට පොලීසියේ සංග්‍රහය සමග අවාසනාවේ ටිකට් එකත් ඇදුනාද? වෙච්ච දේවල් වල හැටියට අපිට මේ ප්‍රශ්නනම් පැනනගින එක නොවැලැක්විය හැකියි.

                          අපි කවුරු කවුරුත් මොහොතකට දැන් සිතා බැලිය යුත්තේ අපරාධ වලට පුද්ගලයන් පොළඹවන අවලම් සමාජ තත්වයක් එක් පැත්තකින් තිබෙද්දී අනික් පැත්තෙන් පොලිස් පරීක්ෂණ වල ජඩ කමත් තිබෙන විට එල්ලුම් ගසත් ක්‍රියාත්මක උනොත් වෙන්නේ කුමක්ද කියන එකයි. කොටදෙනියාවේ ඛේදවාචකයට පසුව හදිසියේ වීරයන් වී එල්ලුම් ගස ඕනෑ බව කියමින් කෑ ගැසූ අයගේ එල්ලුම් ගසට ඇති අවංක ලවු එක මල ඉලවුවක් වෙන්නේ අසාධාරන චෝදනාවකට ලක්වී පොලිස් ආදරවන්තයන්ගෙන් සංග්‍රහ ලබා තමන්ගේම බෙල්ලට තොන්ඩුව වැටුන දාටයි. අප කවුරු කවුරුත් එනිසා නොපමාව කළ යුත්තේ මේ අපරාධ වලට මෙන්ම අසාධාරන පොලිස් පරීක්ෂණ වලටද එරෙහිව සංවිදානය වෙන අතරතුර අපරාධ වලට අනුබල දෙනු ලබන දූෂිත විෂම සමාජයෙන් ගැලවී කෙනෙක් තවත් කෙනෙකුගේ සතුරෙකු නොවන පීඩකයන් හා පීඩිතයන් අතර ගැටුම් නිර්මාණය නොවන්නා වූ සාධාරණ සමාජයක් ඇතිකරගනිමින් ප්‍රශ්න නිරාකරනය කර ගැනීමය. ඒ ටික නොකර අසාධාරනය අයුක්තිය රජකරවා දූෂිත සමාජයක් බිහි කර ඒ තුලම තෙම්පරාදු වී පුද්ගලයන්ට වැරදි කිරීමට අනුබල දෙමින් කෙනෙක් අපරාධකරුවකු වෙන තෙක් බලා ඉඳ ඔහුව එල්ලා මරන ආකාරය දෙස බලමින් සතුටු වීමද හෙන වදින අපරාධයක් බව කාටත් සිහි ගැන්විය යුතුයි.


Monday, August 31, 2015

වී අර්බුදය හා මතක් කර ගතයුතු අතීතය

මෑතක ඇතිවූ වී අර්බුදය මාධ්‍ය බොහොමයක ප්‍රධාන මාතෘකාව වෙලා. ඒ අතර පහුගියදාක අපට රූපවාහිනී ප්‍රවුර්තියකින් දැනගන්න ලැබුණා වී මිලදී ගැනීම කඩිනම් කරමින් අර්බුදය නිමා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නු බවක්. ඒ වගේම අගමැති උපදෙස් මත වී අලෙවි මණ්ඩලය ලහි ලහියේ වී මිල දී ගැනීමට කටයුතු කරන බවක්ද පුවත මගින් පෙන්නුම් කළා. එහිදී මාධ්‍ය මගින් පෙන්වා දෙන්නට උත්සහ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නුවනින් හා දක්ෂතාවයෙන් වී ප්‍රශ්නය සමතයකට පත් වන බවකුයි. මෙය පිටතින් බැලූ කලනම් අපටත් තේරුම් යන්නේ එය ඒ ආකාරයෙන්මය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකලාපය ගැන ටිකක් සොයා බැලූ විටනම් ඔහු විසින් මේ දැන් ගොවි ජනතාව ගැන ඇතිකරගෙන තිබෙන මහා අනුකම්පාව නිසා වී අර්බුදයට හදිසි විසඳුම් ලබා දීම වීරකමකට වඩා සිනහ උපදවන කාරනයක් වේ.
                      

පළමුවැන්න වී විකුනාගැනීමට නොහැකිව අසරන වූ ගොවියන්ට වී කිලෝව සඳහා රුපියල් 50 කෙසේ වෙතත් සහතික මිලක් වත් නැතිව රුපියල් 20 - 30 අතර මිලකට විකුනා දැමීමට සිදුවීමයි. එහෙත් මේ කතාවනම් ප්‍රවුර්ති වල උජාරුවට නොකිවුවේ වී කිලෝවට රුපියල් 50 සහතික මිල චන්ද පොරොන්දුවක්ව තිබූ බව ජනමාධ්‍ය බොහොමයක් දන්නා නිසාදැයි අපට නිකමට හැඟේ. ඒ මේ වෙනකොටත් බොහෝ ජනමාධ්‍ය එක්සත් ජාතික පක්ෂ හිතවතුන් වී සිටින ආකාරය දකින විටයි. කෙසේ වෙතත් වත්මන් පාරිශුද්ධ අගමැතිවරයාගේ අවංක හා දූෂිත බවෙන් තොර කම වැඩි නිසාදෝ මහ බැංකුවටද මහා පරිමාණ පාඩුවක් සිදු වී ඇති වාතාවරනයක් තුල මේ යලටයි මහටයි වපුරන ගොවියො ටිකකට පාඩුවක් වෙන එක ගනන් ගන්නට දෙයක්ද හිටං එක අතකට. ඕව කියන්න යන්න ඕන නෑ. ඔන්න ඔහේ අගමැතිතුමාගේ නියමයෙන් ගොවීන්ගේ වී ටික මිලට ගන්න වී අලෙවි මණ්ඩලය කටයුතු කළා කියල මාධ්‍ය වලින් රටට කිවුවහම ඇති හිටං.
                         
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අන පරිදි වී අලෙවි මණ්ඩලය අසරණ ගොවියන්ගේ වී මිලට ගෙන ඔවුන් සනසාලූ ප්‍රවුර්තිය ඇහෙනකොට අපිට නිකමට මතක් උනේ මීට කලින් රනිල් මහත්තය අගමැති වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින්ම වී අලෙවි මණ්ඩලය අහෝසි කර වසා දැමූ ආකාරයයි. මොන කරුමෙකට හරි මේක අපේ මෙමරියෙන් ඩිලීට් කරන්න බැරුව ඉතිරි වෙලා තිබුණා. ජල කලමනාකරනයද මොකද්ද මගඩියක් හරහා වතුරත් විකුණන ගමන් සල්ලි වලට ගෙදර ලිඳටත් බද්දක් අයකරන්න අන පනත් ගේන්න ගොවියන්ට ආදරේ ඇති රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වෙලා හිටපු ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම ලෑස්ති වෙලා හිටිය කියලත් මෙමරියේ කොහෙ හරි තිබිල එලියට පැන්න ඩිලීට් කරන්න බැරිවෙලා තිබිල. යටත්විජිතවාදයේම ගෝලයෙක් වෙච්ච වික්‍රමසිංහ මහත්තය අතීත වැඩ කිඩ සේරම අමතක කරල හදිස්සියේම වී අලෙවි මණ්ඩලයට ගොවියන්ගේ වී ටික මිලට ගන්න නියෝග දීල මාධ්‍ය සන්දර්ශනයක් දාගෙන වීරකමක් කරපු වෙලාවේ අපටනම්  පස්චාත් භාගයෙනුත් හිනා ගියා හිටං.

Friday, August 28, 2015

අමුතුවෙන් ලියන්න දෙයක් නෑ සංගෝ

මේ සටහන තබන්නේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතමයාගේ සමුගැනීම වෙනුවෙනි. ඒ ගැන යමක් නොකීවොත් අඩුවක් මෙන්ම ක්‍රිකට් රසිකයන් වන අප එක්තරා අතකට යුතුකමක් පැහැර හැරියා වෙනවා. ඉතින් සංගා ගැන අමුතුවෙන් කියන්න දේවල් නෑ කියලයි මට පෙනී යන්නේ. ඒ ඔහුව ලංකා වාසී සියල්ලෝම හොඳින් හඳුනන නිසාත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුගේ දක්ෂතා ගැන නියම තක්සේරුවක් ඔවුන් සියළු දෙනාට තිබෙන නිසාත්ය. වසර 2000 සිට 2015 සමුගන්නා තෙක් ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැක. මීට ටික කලකට පෙර මෙලෙසම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වූ  මහේල ජයවර්ධන ක්‍රිකට් වලින් සමු ගත්තේය. එහිදීද ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පිරවීම ඉතා අපහසු හිඩැසක් නිර්මාණය විය . දැන් සංගාගේ නික්ම යෑමද එවැනිම හිඩැසක් නිර්මාණය කර තිබේ. කෙසේ වෙතත් එවැනි දස්කම් ඇති නවක ක්‍රීඩකයින් ඉක්මනින් බිහි වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.
                                    

සංගාගේ තරඟ වාර්තා දෙස බැලුවොත් ඔහු මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරඟ 134ක්ට ක්‍රීඩා කර ලකුණු 12400ක් ලබාගනිමින් 57.40ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙන තිබෙන්නේ ඔහු සතු විශිෂ්ඨත්වය මැනවින් විදහා පාමිනි. ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ඔහු ලබාගත් වැඩිම ලකිණු ප්‍රමාණය වන්නේ 319ක් බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි. මේ අනුව ඔහු ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ත්‍රිත්ව ශතක ලාභීන් ගොඩටද අයත් වේ. සංගාගේ එක් දින තරඟ වාර්තා අනුව ඔහු තරඟ 404කදී ලකුණු 14234ක් ලබා ගනිමින් ලකුණු 41.98ක දල වේගයක් රඳවාගෙන තිබෙනවා. එක්දින තරඟ වලදී ඔහු ලබා ඇති ඉහලම ලකුණු සංඛ්‍යාව 169කි. එදා මෙදා තුර ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් ලබා ඇති ටෙස්ට් ශතක වාර්තා අතර පළමුවැන්නා සංගක්කාරයි ඔහු ටෙස්ට් ශතක 38ක් හා ටෙස්ට් අර්ධ ශතක 52ක් ලබා ඇත. ඔහු ලබා ඇති එක් දින ශතක සංඛ්‍යාව 25ක් හා අර්ධ ශතක ගනන 93කි.
                         ඉතින් සංගෝ ඔබේ දැකුම්කළු පහරවල් ක්‍රිකට් පිටියේ අපට ආයෙමත් දකින්න බැරි වෙයි. ඒත් එවන් විශිෂ්ඨයෙකු කෙදිනක හෝ බිහි වෙයි කියන එකත් සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවක් වෙනවා ඇති. සංගෝ ඔබට හද පිරි ගෞරවය පුද කරන අතරම ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.