Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts
Wednesday, November 11, 2015
ආරියසේන ඇදුරුතුමාට උනා කියන ඇබැද්දියක්
ආරියසේනගේ නම් තැබීම ගැන යකාගේ අඩවියේ ලිපියක් කියෙවුවට පස්සේ ඔන්න මටත් මෙතුමට උනාය කියන ඇබැද්දියක් ගැන පුංචි රස කතාවක් මතක් උනා. කතාවනම් බොහොම පොඩි එකක්.ගැඹුරු අරුත් ඇති නම් තැබීමට හපන් අපේ මේ ඇදුරුතුමා සිංහල භාශාව පිළිබඳ හසල දැනුමක් ඇති ඉතිහාසය ගැන අරුම පුදුම දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මෙතුමා තරුණ කාලේ දවසක්දා පාරේ යන අතරතුරේදී එක්තරා වයසක ආච්චි කෙනෙක් ලියුමකුත් කවරෙක දාගෙන එනව හම්බ වෙලා තියෙනවලු. ඒ ආච්චි ලඟපාතක තැපැල් කන්තෝරුවක් තියෙනවද කියලා හොය හොයා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වයසක කාන්තාව අපේ මේ කතාවට සම්බන්ධ ඇදුරුතුමාගෙන් අහල තියෙනව තැපැල් කන්තෝරුව තව දුරද කියලා. ඇදුරුතුමා ඕනෑකමින් ඒ මේ අත බලද්දී තැපැල් කන්තෝරුව ඈතින් පේනවලු. ඒක දැකපු එතුමා අර වයසක ආච්චිට ගැඹුරු සිංහල භාශාවෙන්ම ඇයට අවශ්‍ය පිළිතුර දීල තියෙනවා. ඒ මෙහෙමයි. "මෑණියනි තෙල පෙනෙනුයේ පහින හලයි, ඔබ එහි ගොස් ඔබේ පහිනය පහින්න" ඒ කියන්නේ "අරතියෙන්නේ තැපැල් කන්තෝරුව, ඔබ එහි ගොස් ඔබේ ලියුම තැපැල් කරන්න" කියලා. පහිනය කියන්නේ තැපැල්පත හෝ එවැනි තැපැල් කරන ලියවිල්ලක්. කොහොම හරි මේක අහපු ආච්චිය යක්ෂයා ආවේස වෙලා කිවුවලු උඹට මම කිවුවයි කියල හිතාපිය කියලා. ආච්චි හිතලා තියෙන්නේ ඇදුරුතුමා ගැඹුරු සිංහලෙන් පැහැදිලි කරපු දේ ආච්චිට කරපු නොමනා විහිළිවක් කියලා. කාලෙකින් මතක් වෙච්ච කතාව ඔන්න බ්ලොග් එකටත් පෝස්ට් කළා.
Tuesday, April 14, 2015
තොපිට මෝටාර්
ඔන්න කාලෙකට පස්සේ පොඩි කතාවක් මතක් උනා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1988/1989 ජේවීපී කෝලහල තිබුන භීෂණ සමයේ. ටිකක් රසවත් සිද්ධියක්. ඔන්න ඔය කාලේ පොලීසියට හරියට වැඩ රාජකාරි තිබුණා. විශේෂයෙන් ජේවීපී කාරයො අල්ලන්නයි ඒ අයගේ ක්‍රියාකාරකම් මර්ධනය කරන්නයි. ඉතින් පොලිස් නිලධාරීන් බැහැල මේ රාජකාරිය කරද්දී වෙච්ච හාස්‍යජනක සිදුවීමක් තමයි මේ. ඔන්න ඉතින් ඒ දවස් වල ජේවීපී ක්‍රියාකාරකම් ගැන ඉව අල්ල අල්ල හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අවධානයට ලක් උනේ එක්තරා පුද්ගලයෙක් අතේ තිබුණ පොතක්. ඒ ගැන සැක හිතපු පොලිස්කාරයෝ දෙන්නා අර පුද්ගලයාගේ අතේ තිබුණ පොත බලෙන්ම ඉල්ලගෙන එහි මුල් පිටුවේ තිබුන පොතේ නම බලලා තොපිට මෝටාර්ද යනුවෙන් අසමින් මිනිහවත් අල්ලගෙන පොතත් අතඩංගුවට ගත්තලු. බැලින්නම් මෙතන වෙලා තිබුණේ මේකයි. අර පොතේ ලොකු අකුරින් ගහල තිබිල තියෙන්නේ ඉංග්‍රිසි භාශාවෙන් MOTHER කියන එක. පොලිස් නිලධාරියා මේක "මෝටාර්" කියල වැරදියට උච්චාරනය කරලා වැරදි නිගමනයකට ඇවිත් තමයි අර මනුස්සයගේ පොත අතඩංගුවට අරන් තියෙන්නේ. මේ පොත කවුරුත් වගේ දන්න රුසියානු ලේඛක මක්සිම් ගෝර්කිගේ MOTHER නොහොත් අම්මා නවකතාවයි.
Thursday, September 25, 2014
දොස්තරගේ යෝජනාව
ඔන්න ඉතින් මේ කතාවනම් හිනාවෙනවටත් වඩා හිතන්න යමක් තියෙන එකක්. මේක සමහර විට අපේ යාළුවෝ කට්ටිය අහලත් ඇති. වැල්වටාරම් මොකටද? ඔන්න මේකයි සිද්ධිය. එක්තරා දොස්තර කෙනෙක් ලඟට ළමයෙක් වඩාගත්තු කාන්තාවක් ඇවිත් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවලු. ඩොක්ට මම තව පාරක් ගැබ්ගෙනයි තියෙන්නේ, මට තවත් පොඩි දරුවෙක් ඉන්න නිසා එකලඟ ළමයි හදන්න බෑ ඒක කරදරයිනේ. බැරිද ඇබෝශන් එකක් කරලා දෙන්න? දොස්තර කල්පනා කරලා කිවුවලු මම කිසි කරදරයක් නැති ලේසි වැඩක් කියන්නම් කැමතිනම් කරන්න කියලා. අර කාන්තාව බොහොම සතුටින් ඇහුවලු අනේ ඩොක්ට මොකක්ද ඒ වැඩේ කියලා. දොස්තර මහත්තයා මෙහෙම කිවුවලු. ඇබෝශන් කරන්න ගියහම අමාරුයි කරදරයිනේ ඒක නිසා අපි ඔය අතේ ඉන්න ළමය මරමු ඇයි ඉතින් බඩේ ඉන්න ළමය කියල මොකද ඒ ළමයටත් තියෙන්නේ පනනේ කියලා. අර කාන්තාව විශ්මයට පත්වෙලා ඇහුවලු ඩොක්ට ඇයි එහෙම කියන්නේ ළමයෙක් මරන එක මොන අපරාදයක්ද කියලා. එතකොට දොස්තර මහත්තයා අහනවලු ඇයි දැන් නෝන ආවේ ඒ වැඩේ කරන්න කැමැත්තෙන් ඒකට හිත හදාගෙන නේද කියලා. අර කාන්තාව එතනින් එහා මොනවත් කියන්නේ නැතුව ළමයා හදාගන්න හිතාගෙන පිටවෙලා ගියා. මේකෙන් විහිලුව වගේම යම් වරදක් තමන්ට අවශ්‍ය තැනදි අවස්ථාවාදීව හරි කියලා ගන්න බෑ කියන එකත් හිතන්න අවස්ථාවක් සලසලා තියෙනවා.
Friday, September 12, 2014
Wednesday, September 3, 2014
ජෝන් කොතලාවල ගැන අහපු නැති කතාවක්.
සර් ජෝන් කොතලාවල් කියපුවහම මේ රටේ නොදන්න කවුරුවත් හොයාගන්න හරි අමාරුයි. ඒ ඔහුගේ චරිතයේ තියෙන විශේෂත්වය නිසා. ජෝන් කොතලාවල කියන්නේ මේ රටේ හිටපු අගමැතිවරයෙකුත් වෙනවා. ජෝන් කොතලාවල චරිතය ගොඩ දෙනෙකුට මතක තියෙන්නේ නෙයිනගේ සූදුපොල වටලපු ඉතිහාසගත සිදුවීමත් එක්කයි.
මේ කියන්න යන්නෙ උන්නැහේ කරපු වීරකමක් ගැනනම් නෙවෙයි. තේරෙන බාසාවෙන්ම කිවුවොත් සිරාම වැඩක් ගැන. ඔන්න මෙතුමා අගමැති වෙලා හිටපු කාලේ එංගලන්තේ රජ පවුලේ කුමාරිකාවක් ලංකාව බලන්න ආවලු පොඩි සංචාරයක් දාන්න. ඉතින් මේ කුමාරිය රටේ වැදගත් සුන්දර ස්ථාන බලන්න එක්ක යන එකයි එයාට අවශ්‍ය පහසුකම් සපයන වැඩෙයි කළේ කොතලාවල උන්නැහේ. අපරාදෙ කියන්න බෑ මනුස්සයා ඒක හොඳට වගකීමෙන් කරලා. ඔන්න ඉතින් මේ කුමාරිකාව රටේ සිත්ගත් ලස්සන තැන් වලට එක්ක යනකොට මතකසටහන් හැටියට පින්තූර ටිකක් ගන්න කැමරාකරුවෙකුත් එක්ක යන්න අමතක කළේ නෑ. කැමරාකාරයත් අපේ රටේම මනුස්සයෙක්. ඉතින් ඕන් දවසක් කොතලාවල උන්නැහේ අපේ රටේ විශ්මිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් වෙච්ච සීගිරිය බලන්න මේ කුමාරිකාව එක්කරගෙන ගියා අර කැමරාකාරයත් එක්ක. මෙහෙම ගිහිල්ල ඔන්න දැන් කට්ටියම සීගිරි ගල නගිනවලු බිතුසිතුවම් බලන්න හිතාගෙන. ඔය අස්සේ තමයි මාර වැඩේ උනේ. මෙන්න බොලේ එක පාරටම හෙන හයියෙන් හුලං පාරක් ඇවිල්ලා අර කුමාරියගේ ගවුම උඩ ගියාලු. මේක දැක්ක කොතලාවල උන්නැහේ කැමරා කාරයට කෑගහල කිවුවලු "ගනින් යකෝ පින්තූරයක්" කියලා. ඔන්න ඕකයි සිද්ධිය. මේක ගොඩක් අය දන්නෙ නැති හින්දා ටිකක් හිනා වෙන්නත් එක්ක බ්ලොග් එකෙත් දැම්ම ඔන්න.
Sunday, August 10, 2014
රජ්ජුරුවන්ට අමතකයි
ගමක වෙච්ච තවත් රසවත් සිද්ධියක් මතක් වෙච්ච වෙලාවේ බ්ලොගේට දාන්න හිතුනා. වැඩි විස්තර ඕන නෑ මෙන්න මේකයි කතාව. දන්නවනේ වෙසක් කාලෙට වෙසක් කූඩු වෙසක් තොරන් වගේ වෙසක් නාට්ටිත් පෙන්නනවනේ. මේ කතාව ගමක වෙසක් කාලේ පෙන්නපු වෙසක් නාටියක් ගැන.
මේ වෙසක් නාට්ටියට අදාල කතා වස්තුවනම් මට මතකයක් නෑ. ඒත් කතාව කියවල විනෝද වෙන්න ඒක එච්චර බාධාවක් නෙවෙයි. ඉතින් මේ නාට්ටියට අනුව ඒකේ එකජවනිකාවක් තියෙනවලු කතාවේ රජතුමාට සන්නසකින් පණිවිඩයක් ලැබෙන. මේ කතාවේ හැටියට රජතුමා සන්නස බලලා සිහිය නැතුව ඇදගෙන වැටෙන්න ඕනලු. නාට්ටියේ රජ්ජුරුවන්ට රඟපාන නළුවට හැම දෙයක්ම ඉක්මනින් අමතක වෙන ගතියක් තිබිල තියෙනවා. ඒ නිසා අර ජවනිකාවේ හැටියට සන්නස කියවපුගමන් සිහිය නැතුව වැටෙන්න මේ රජ නළුවට අමතක වෙයිද කියල ගැටළුවකුත් නාට්ටියේ සංවිධායක මඩුල්ලට ආවා. එක් සංවිධායකයෙක් මේ ගැටළුවට විසඳුමක් හොයාගත්තලු. ඒ තමයි රජ්ජුරුවන්ට යවන සන්නසේ "මේක බලලා සිහිය නැතුව වැටෙන්න" කියලා වාක්‍යක් ලියලම යවන එක. එතකොට සන්නස දිගඇරපු ගමන් ඒකේ ලියල තියෙන එක දැකලා කරන්න තියෙන පාට් එක මතක් වෙනවනේ.
ඔන්න වෙසක් දවසේ නියමිත වෙලාවට නාටිය පටන්ගත්තා. දැන් ඉතින් අර සන්නස ගේන කොටසටත් ආවලු. ඔන්න පණිවිඩ කාරයා සන්නස ගෙනැත් රජ්ජුරුවන්ට භාරදුන්නා. සංවිධායක් මණ්ඩලේත් දැන් මේක දිහා බලාගෙන ඉන්නේ. රජ්ජුරුවෝ සන්නස දිගඇරියා. ලියලා තිබුණ එක දැකපු රජතුමා "මේක බලලා සිහිය නැතුව වැටෙන්න" කියලා මහ හඬින් කියාගෙනම වේදිකාව උඩ ඇදගෙන වැටුනලු. නාට්ටිය බලන්න ඇවිත් හිටපු කට්ටියට සේරම අමතක වෙලා බක බක ගා හිනායන්න ගත්තලු වෙච්ච වැඩේට.
Monday, August 4, 2014
මහාචාර්යවරයාගේ අපූරු විහිළුව
ඔන්න මේ කතාවනම් අපේ රටේ වෙච්ච දෙයක් ගැන නෙවෙයි පිට රට විශ්ව විද්‍යාලයක වුන අපූරු සිද්ධියක් ගැන. ඔය රට මොකක්ද කියලනම් මටත් එච්චර මතකයක් නෑ. කොහොම උනත් කතාව මේකයි. ඔන්න මේ කතාවට අදාල විශ්වවිද්‍යාල මහාචාර්යවරයා ශිෂ්‍යයන් අමතා දේශන පවත්වන හැම විටම මොකක් නමුත් අසභ්‍ය විහිළුවක් දේශනය අතරතුර විෂයට අදාලව කරන්නත් අමතක කළේ නැහැලු. මහාචාර්යවරයාගේ මේ ක්‍රියාකලාපය පිරිමි සිසුන්ට මහත් විනෝදජනක එකක් උනත් අදාල විශයට මේ මහාචාර්යවරයාගේ දේශන වලට සහභාගී වන සිසුවියන්ටනම් මේක ඒ තරම් ඇල්ලුවේ නෑලු. මේ සිසුවියන්ගෙන් ගොඩදෙනෙකුට මේක තරමක් අප්‍රසන්න දෙයක් උනා. සුපුරුදු විදිහට කාලය ගතවෙද්දී ඔන්න එක දවසක් අර මහාචාර්යවරයාගේ අසභ්‍ය විහිළු තහළු හිසරදයක් වෙච්ච සිසුවියන් පිරිස එකතුවෙලා මහාචාර්යවරයාට පාඩමක් උගන්වන්න තීරනය කළාලු. මේ අයගේ සැලැස්ම උනේ ඊලඟ වතාවේ මහාචාර්යවරයා පුරුදු විදිහට අසභ්‍ය කතාවක් පටන්ගත්තොත් සිසුවියන් සියළුදෙනා නැගිට පන්තියෙන් පිටවී යෑමයි.
හැබැයි මේ සිසුවියන්ගේ සැලැස්ම ගැන මහාචාර්යවරයාට රහසින් ආරන්චි වෙලා තියෙනවා. කොහොමෙන් කොහොහොමෙන් හරි ඔන්න ඊලඟ දවසේ මහාචාර්යවරයා පුරුදු විදිහටම දේශනය පටන්ගෙන ටිකදුරක් කරගෙන ගියා. ඔන්න ඉතින් මනුස්සයා හැමදාම කරන වැඩේ එදත් කරන්න හිතාගෙන මෙන්න මෙහෙම කිවුවලු. ඔය ළමයි දන්නවද ස්වීඩනයේ ගණිකාවන්ගේ එක දවසක ආදායම ඩොලර් 3000ක් කියලා. මේක අහපු ගමන් අර සිසුවියන් සේරම මහාචාර්යවරයා තවත් අසභ්‍ය කතා කියන්න ඉස්සර වෙලා නැගිටලා පන්තියෙන් එලියට යන්න ලෑස්ති උනාලු. මේක දැකපු මහාචාර්යවරයා එකවරම අර සිසුවියන් අමතා මෙහෙම කිවුවා. "ඔයගොල්ලෝ දැන්ම මේ කලබලෙන් කොහෙද යන්න හදන්නේ, ස්වීඩනයට යන්න හෙට රෑ 10 වෙනකල් ප්ලේන් එකක් නෑ" කියලා.
Wednesday, July 30, 2014
අපූරු ලැට් එක
ඔන්න එක ගමක වන්දනා නඩයක් අටමස්ථානේ වැඳපුදාගන්න ගියාලු. කට්ටිය වන්දනාවේ ගිහිල්ලා එලිමහනේ කූඩාරම් ගහගෙන තමයි නැවතිලා ඉඳලා තියෙන්නේ. ඔන්න ඔය අතරේ රෑ දෙගොඩහරියේ මේ නඩේ හිටපු එකෙකුට බොග සෙට් උනාලු. දැන් ඉතින් මේ වෙලාවේ ලැට් හොයන්නේ කොහෙන්ද? පොර නඩේ හිටපු තව දෙතුන්දෙනෙකුට එයාගේ උවම්නාව කියලා බොගේ දාගන්න දිහාවක් හොයන්න ගියාලු කට්ටියත් එක්ක. ගෙනාපු බාල්දියකට අහල පහල වැවකින් වතුර ටිකකුත් අරන් ඒ ලඟම තිබුන කැලේ ටිකක් ඇතුලට ඇතුලට ගිහිල්ල තරමක් එලිමහන් තැනකට කට්ටිය ඇවිත් අර බොග සෙට් වෙච්ච යාළුවට වතුර බාල්දියත් දීල අනෙක් කට්ටිය ටිකක් ඈතට වෙලා මුර කරනවලු කවුරුත් ඒ පැත්තට එනවද කියලා බලන්න.
අර යාළුව වැඩේ කරගෙන ඇවිල්ල අනෙක් සගයෝ ටිකට කිවුවලු අපරාදේ කියන්න බෑ ගෙදර ලැට් එකේ වගේ බොග දාන්න තැනක් සෙට් උනා කියලා. කට්ටියට දැන් මේක ප්රෙහෙලිකාවක්ලු කොහොමද මේ කැලෙයක් ලඟ කක්කුස්සියක් තියෙන්නේ කියලා. වැඩේ තේරුනේ උදේ පාන්දර අහල පහල වෙනත් වන්දනා නඩයක ගෑනු කෙනෙක් මහා සද්දෙන් කාටදෝ බනිනව ඇහෙද්දි. එයා බැනල තියෙන්නේ බොග දාපු එකෙකුට. බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි. අර බොග සෙට් වෙච්ච එකා කලින් දවසේ රෑ යාළුවෝටිකත් එක්ක බොග දාන්න ගිහින් ගෙදර ලැට් එකේ වගේ බොග දැම්මා කියලා කියලා තියෙන්නේ අර ගෑනු කෙනා උදේට උයන්න ලෑස්ති කරල ගඩොල් කැට කීපයක් තියල හදපු ලිපකට බොගේ පාත් කරලා. ඇයි ඉතින් ලැට් එකේ වගේ කකුල් දෙක තියන්න ගල් දෙකත් තිබිලනේ. කොහොමෙන් කොහොමෙන් හරි අර බොග දාපු එකයි යාළුවෝ සෙට් එකයි මොනවත් කතා නොකර ඉඳලා නඩේ පිටින්ම හෙමීට එතනින් මාරු වෙලා ගියාළු.
Tuesday, July 22, 2014
ගහපන් බුදු හුලඟේ
මේ කතාවනම් ඔන්න සමහර විට ගොඩ දෙනෙක් අහපු එකක් වෙන්නත් පුළුවන්. ගමක වෙච්ච ඇත්ත සිද්ධියක් නිසාත් හාස්‍යජනක බව නිසාත් බ්ලොගේ දාන්න හිතුවා. වැඩිය විස්තර ඕන නෑ මෙන්න මේකයි සිද්ධිය.
එක ගමක හිටියලු මනුස්සයෙක් බණ්ඩා කියලා. පොරට හොස්ස අගින් මැස්ස යන්න බැරි පොඩි දේට කිපෙනසුළු ගතියක් තිබුණලු. ඉතින් මිනිහට ගමම කියන්නේ කුලප්පු බණ්ඩා කියලාලු. ඔන්න කුලප්පු බණ්ඩා දවසක් හේනට ගිහිල්ලා අමු බඩ ඉරිඟු කරලක් කාලා එන ගමන් බඩේ අමාරුවක් හැදිලා බොග සෙට් උනා. මිනිහට තිබුණ හදිස්සිය නිසාම අවශ්‍යතාවය කොහොම හරි ඉෂ්ඨ කරගන්න ඕන නිසා ගහක් යටට ගිහින් බොග දැම්මලු. දැන් තියෙන ප්‍රශ්නේ තමයි හෝදගන්න වතුර ටිකක් නැති එක. මනුස්සය හෙමීට ගෙදර පිලිකන්න පැත්තෙන් එනකොට වතුර මුට්ටියක් එලියේ තියනවා දැකලා. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ හොයපු දේ හම්බ උනානේ වතුර මුට්ටිය හලාගෙන මිනිහා පුක හේදුවාලු. ටික වෙලාවකින් පවුල ඇවිල්ලා අර වතුර මුට්ටිය අරන් කිවුවලු මම මේ කොච්චි මිරිස් ටිකක් තම්බලා මුට්ටිය එලියේ තියල තිබ්බ වතුර පිටින් ඒක ගන්නත් අමතක උනා කියලා. කුලප්පු බණ්ඩට එලොව පොල් පෙනුනේ එතකොට. ඒ වෙනකොටත් යන්තමට වගේ පුක දැවිල්ල අල්ලලයි තිබුණේ. ටික වෙලාවක් යනකොට තව වැඩි උනාලු. ඉවසගන්න බැරි තැන මිනිහා දිවුවා ඇලට ගිහින් විනාඩි 10ක් 15ක් විතර ඇලේ බැහැලා හිටියා. ගොඩට ඇවිත් බැලුවා ඒත් වැඩක් උනේ නෑ දැවිල්ල ආයෙමත් ආවා. බැරි තැන මිනිහා ගලක් උඩට නැගලා පුක එලියට එන්න සරම උස්සගෙන ගහපන් බුදු හුලඟේ කියලා කිවුවලු හුලං පාරක් බලාපොරොත්තුවෙන්.
Tuesday, July 15, 2014
කිරිබයියෝ රට ලැබෙයිද?
මේ සිද්ධිය උනේ ටිකක් ඉස්සර එක්තරා ගමක චන්ද පැවතුන කාලෙකයි ඕං. දන්නවනේ ඉතිං චන්දෙකදි චන්දෙ ඉල්ලන අපේක්ෂකයන්ගේ සහයට ලඟින්ම ඉන්න ගෝලබාලයෝ සෙට් එකකුත් ඉන්නවනේ. ඕං ඉතින් මේ ගමෙත් චන්දේ ඉල්ලපු එක චන්ද අපේක්ෂකයෙක් තමන්ගේ හොඳම ගෝලයත් එක්ක චන්ද ප්‍රතිඵල අහනවලු. හොඳම ගෝලයගේ නම කිරිබයිය ලු.
රෑ ජාමේ වෙනකොට චන්ද ප්‍රතිඵල ප්‍රකාෂය ආරම්ඹ්හ වෙලා. ප්‍රතිඵලත් හතක් අටක් විතර කියවුනාලු. දැන් අර චන්ද අපේක්ෂකයට මනුස්සයගේ ජයග්‍රහනය ගැන තිබුණේ අවිනිස්චිත බවක්. චන්දෙන් දිනනවට සාමාන්‍ය වශයෙන් එදා කිවුවේ රට ලැබෙනව කියලාලු. ඔන්න ඉතින් මේ මනුස්සයට තිබුණ දෙගිඩියාවට අස්වැසුමක් ලබාගන්නත් එක්ක කිරි බයියගෙන් ඇහුවලු කිරි බයියෝ රට ලැබෙයිද කියලා. කිරි බයියත් කිවුවලු ආයෙත් එහෙනං කියලා අර මනුස්සයට මද සැනසීමක් ඇතිකරමින්. තවත් ප්‍රතිඵල කීපයක් නිකුත් උනාලු. මනුස්සයගේ දෙගිඩියාව තවත් එහෙමමයි. ආයෙමත් කිරිබයියගෙන් ඇහුවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. කිරිබයියත් පෙර සේම උත්තර දුන්නා. මේ විදිහට චන්ද ප්‍රතිඵල ලැබෙන හැම වාරයක් පාසාම අර මනුස්සය කිරිබයියගෙන් අහනවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඉතින් කිරිබයියටත් මේක සෑහෙන කරදරයක් වෙලා තිබුණේ. ඇයි උත්තර දීල ඉවරෙකුත් නෑනේ. පහුවෙනකොට කොහොම කොහොම හරි කිරිබයියටත් තේරිලා තිබුණා මේ මනුස්සයා පරදිනවා කියලා. එහෙම හිතාගෙන ඉන්නකොට ආයෙමත් චන්ද අපේක්ෂකතුමා කිරිබයියගෙන් සුපුරුදු ප්‍රශ්නේ ඇහුවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඒ පාර කිරිබයියගෙත් ඉවසීමේ සීමාව පැනලයි තිබුණේ. මිනිහා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා එක පාරම රට නෙවෙයි තොට ලැබෙන්නේ මේක තමයි කියලා සරමත් උස්සලා පුක පෙන්නලා දිවුවලු පස්ස නොබලම. කොහොමෙන් කොහොමෙන් හරි අර චන්ද අපේක්ෂක තුමා පරාද වෙලා තිබුණලු. ඒ විතරක්යෑ කිරිබයිය කරපු වැඩෙත් ගමටම ආරංචි වෙලා දැන් මිනිහා පාරක තොටක දකිනකොටත් ගමේ නොසන්ඩාලයෝ අහනවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඒ වෙලාවට ඉතින් මනුස්සය හොඳවයින් කුණුහරප සංග්‍රහයක් කරනවලු එහෙම අහපු එවුන්ට.
Thursday, July 10, 2014
විදුහල්පතිගේ යුනියන් ජැක් එක
මේක එක්තරා ගමක ඉස්කෝලෙක වෙච්ච සිද්ධියක්. මේකයි වෙලාතියෙන වැඩේ ඕං. සාමාන්‍යයෙන් ඉස්කෝලෙක විදුහල්පති මාරු වෙනකොට පරන විදුහල්පතිවරයා පාසලට අයත් බඩුබාහිරාදිය අළුත් විදුහල්පතිට භාරදෙන්න ඕනෙ. ඉතින් මේ ඉස්කෝලෙත් හිටපු විදුහල්පතිවරයාට මාරුවීමක් හම්බ වෙලයි තිබුණේ. ඉතින් මනුස්සයා අළුත් විදුහල්පතිට බඩු බාරදෙන්න මෙයා ආපු දවස්වල ලැබුණු බඩු ලැයිස්තුව පරික්ෂා කළා. මේ බඩු ලැයිස්තුවේ ඉංග්‍රීසියෙන් තමයි බඩු වල විස්තරේ ලියවිලා තිබිලා තියෙන්නේ.
ඉතින් මනුස්සයා බඩු වල විස්තරේ මුල ඉඳලා අගටම කියවලා අදාල බඩුමුට්ටු ටික ලෑස්ති කරල තියලා අළුත් විදුහල්පතිට භාරදීල ගියාලු. අළුත් විතුහල්පතිත් ඔන්න බඩු භාරගෙන එකින් එක පරික්ෂා කරන්න ගත්තා. ඔය අතරේ මේ අළුත් විදුහල්පතිට දකින්න ලැබුණේ මේසයක් උඩ තිබුණ අඬු දුග අඬු කීපයක් දෙකට තුනට නමලා තිබුණ යකඩ ගැජට් එකක්. මිනිහට ප්‍රෙහෙලිකාවක් උනේ මේක ගැන සඳහනක් බඩු ලැයිස්තුවේ නොතිබීම. තවත් ටිකක ලැස්තුව කියවලා බලනකොට මේ ලැයිස්තුවේ සඳහන් තවත් එක භාණ්ඩයක් මේ බඩු ගොඩේ නැති වගකුත් මෙයාට තේරුනා. ඒ තමයි යුනියන් ජැක් ( Union Jack )යනුවෙන් සඳහන් වෙච්චි භාණ්ඩය. යුනියන් ජැක් කියන්නේ එංගලන්ත කොඩියට. ඉතින් මනුස්සයා හතර වටේ හොයලා බලනකොට පරන අල්මාරියක යට තට්ටුවේ කොනක තිබිලා රෙදි කෑල්ලක් හම්බ උනාලු. බැලින්නම් එංගලන්ත කොඩිය. ඒ කියන්නේ අර භාණ්ඩ ලැයිස්තුවේ යුනියන් ජැක් එක.
අර මේසේ උඩ දෙකට තුනට නමල තිබුණ යකඩ ගැජට් එක මොකක්ද කියල ගැටළුවකුත් දැන් ආවා. ටිකක් කල්පනා කරද්දී තමයි වෙලා තියෙන වැඩේ තේරුනේ. බැලින්නම් පරන විදුහල්පතිට බඩු ලැයිස්තුඒ අනෙක් සේරම හම්බ වෙලා. යුනියන් ජැක් එක හම්බ වෙලා නෑ. මදිවට මනුස්සයා යුනියන් ජැක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉඳල තිබිලත් නෑ. සේරටම වඩා පරන විදුහල්පති එයා වැඩ භාරගන්නකොට එයාට හම්බවෙච්ච ලැයිස්තුවේ මේක තිබුණද නැද්ද කියලා මිනිහට ගානකුත් නැතුවයි ඉඳලා තියෙන්නේ. මේක හොයාගන්න බැරුව තමයි මිනිහා ඒක මොකක්ද කියලා දන්නෙත් නැති නිසා අර යකඩේ ඒ වෙනුවට තියලා තියෙන්නේ.
මරු මිනිහ ටෝටල්
මේ දවස්වල ලංකාවයි දකුණු අප්‍රිකාවයි අතරේ පැවැත්වෙන ක්‍රිකට් තරඟමාලාව නරඹන අතරේ ඔන්න පොඩි කතාවකුත් මතක් උනා. ඒ තරමට හාස්‍යජනක නැතත් මේක තරමක් විනෝදාශ්වාදය ගෙන්දුන් සිද්ධියක්. ඔන්න දවසක් අපේ ටීම් එකයි තව කොහේදෝ රටක ටීම් එකකුයි අතරේ ක්‍රිකට් තරඟාවලියක් පැවතිච්ච කාලෙක කඩවල් සාප්පු ගානේ ටීවී දාගෙන මැච් එක පෙන්නනවලු. මැච් එකක් තිබුන දවසක ඔන්න ඔය විදිහට මැච් එක දාලා තිබුණ කඩේක ටීවී එකේ යන මැච් එක බලන්න සෙනග පොරකාගෙන ඉන්නවලු.
එදා ඔන්න මැච් එකේ එක පිලක් පන්දුවට පහර දීමේ වාරය අවසන් වෙලා ලකුණු පුවරුව ටීවී එකේ දාන වෙලාව ආවා. මේ අස්සේ පොඩි අඩියක් ගහලා ටිකක් ඩෝප් පිට හිටපු මනුස්සයෙකුත් ටීවී එකේ ගිය මැච් එක බලන්න එබුනලු. මිනිහා අර ටීවී එකේ දාල තිබුණ ලකුණු පුවරුව කියවන්න ගත්තා වෙරි පිටම. ඔන්න ඉතින් ආරම්භක පිතිකරුවාගේ ඉඳලා පහලට මිනිහා නම කියව කියවා ඒ එක එක්කෙනා ගහපු ලකුණු ගාන කියනවලු. මෙහෙම කියව කියවා ඉඳලා ඔන්න අන්තිමටම මෙහෙම කිවුවලු. අප්පේ මරු මිනිහ තමයි ටෝටල්, මිනිහ තනියම ලකුණු 250ක් ගහලා කියලා කියලා. මේක ඇහුන විතරයි මැච් එක බලන්න ආපු එවුන් සේරම බක බක ගාලා හිනා වෙන්න ගත්තලු . කට්ටියගෙන හූ හඬ මැද අර මනුස්සය හෙමීට පල්ලම් බැහැල ගිහිල්ලා. මිනිහට ඩෝප් බැස්සද දන්නේ නෑ වෙච්චි වැඩේට.
Monday, June 30, 2014
වචන පෙරලියක් කළ හරිය
මේ සිද්ධිය වෙලා තිබුණේ මීට ගොඩක් කාලෙකට ඉස්සර තලවකැලේ පැත්තේ තේ වත්තක් ආශ්‍රිතව. ඉතින් මේ කියන්න යන කතාවේ තේවත්ත අයිති කෙනා සුද්දෙක්ලු. මිනිහට ඕන උනා වත්ත තුබුණ ඉඩමේ පැත්තකින් වෙන්න බංගලාවක් හදාගන්න. එහෙම හිතලා ඒ පලාතේ හොඳට මේසන් වැඩයි වඩු වැඩයි දෙකම දන්න සුපිරි බාස් කෙනෙකුට වැඩේ බාර දුන්නලු ඔන්න. ඉතින් මේ බාස් සිංහල මනුස්සයෙක් මිනිහට ඉංග්‍රීසි මෙලෝ හසරක් බෑ. ඒ වගේම සුද්දට සිංහලත් බෑ. මේ දෙන්න අදහස් හුවමාරු කරගත්තේ වත්තේ වැඩ බලන මහත්තයෙකුගේ මාර්ගයෙන්.
ප්‍රශ්න මොක උනත් ඉතින් අර බාස් උන්නැහේ අපරාදේ කියන්න බෑ වැඩේ සුපිරියටම කරා. ලස්සනට බංගලාව හදල තිබුණා. දැන් ඉතින් ඔන්න අළුත හදපු බංගලාව බලන්න සුද්දා හදිසියේම ආව. ඇවිත් බැලුවා බංගලාව දිහා. මිනිහටත් අදහගන්න බෑ වැඩේ. ඒ තරමට සුපිරි. ඉතින් ඔන්න අර සුද්දට මේක ගැන ප්‍රශංසා කරන්න ඕන උනාලු. ඒත් මිනිහා සිංහල දන්නෙත් නෑ හරියකට. කරුමෙට එදා අර වත්තේ වැඩ බලන මහත්තයා ඉඳලත් නෑ. ඉතින් සුද්දා බාස් දිහා බලලා ඉංග්‍රිසියෙන් පොඩි යමක් කියලා මිනිහා එහෙන් මෙහෙන් අල්ලගත්ත සිංහල කෑල්ලකුත් දාලා මෙන්න මෙහෙම කිවුවලු "ඕල් බිල්ඩින් ලෙවල් මට්ටම්" කියලා. අර බාස්ට මේක හරියට තේරුනේ නෑ. මිනිහට මේක තේරුම් ගියේ වැඩේ සවුත්තුයි කියලා බංගලාව කඩලා බිමට ප්ලැට් කරන්න කිවුවා වගේ. එහෙම හිතල බාස් උන්නැහේ ගෝලයෝ ටිකත් එක්ක එකතු වෙලා අර බංගලාව පහුවදා එලි වෙනකොට කඩලා බිමට සමතලා කරලා තිබුණලු. ඇයි ඉතින් ලෙවල් මට්ටම් කියල සිංහලෙන්ම කියලනේ.
Sunday, June 22, 2014
නානා ලිඳේ
ඔන්න එක ගමක හිටියලු මනුස්සයෙක් නානා කියල. දවසක් මේ නානා ළිඳකට ගියාලු වතුරටිකක් ගන්න. ඉතින් බොලේ වෙච්ච ඇබැද්දියක මහත කියන්නේ මේ යෝදය පය ලිස්සලා ළිඳට වැටිලා. ඉතින් මිනිහා ළිඳ ඇතුලේ ජබ ගහ ගහ ඉන්නකොට ඒ අහලින් ගිය මනුස්සයෙකුට අහම්බෙන් වගේ මේ සද්දේ ඇහිලා තියෙනවා. මිනිහා නිකමට වගේ ඇහුවලු කවුද ළිඳේ කියලා. නානා එක පාරටම උත්තර දුන්නලු මම නානා කියලා. අර මනුස්ස්යත් කියපි එහෙනම් නාගෙනම වරෙන් කියලා. බැලින්නම් මිනිහට ඒක ඇහිල තියෙන්නේ මම නානවා කියන්න වගේ. ඇයි ඉති නානා ළිඳ ඇතුලෙනේ. කොහොමෙන් කොහොමෙන් හරි නානා මුලු දවසම ළිඳේ ඉඳල බොහොම අමාරුවෙන් ගොඩ ආවේ ළිඳට ආපු තව මනුස්සයෙකුගේ උදවුවෙන්.
Tuesday, June 17, 2014
අලුත් වාහනේට ආශිර්වාදය ලබාගත්ත හැටි
ඔන්න දවසක් සිංහල මනුස්සයෙකුයි දෙමළ මනුස්සයෙකුයි මුස්ලිම්
මනුස්සයෙකුයි සල්ලි දාලා හවුලේ වාහනයක් ගන්න අදහස් කළාලු. ගත්තේ බස් එකක් පාරේ දාලා දුවල කීයක් හරි හම්බ කරගන්න. ඉතින් මේ තුන්දෙනා කතා කරගත්ත විදිහටම තීරනයකට ඇවිල්ලා තුන්දෙනාගෙම සල්ලි වලින් බස් එක ගත්තා. දැන් ඉතින් ඉස්සරෝම සුභ කටයුත්තකට අත ගහනකොට ආගමේ ආශිර්වාදයත් ගන්න එපායෑ. එහෙම හිතලා සිංහල මනුස්සයා මුලින්ම වාහනේ අරන් පංසලට ගිහිල්ල පිරිත් කියලා සුක්කානම වටේ පිරිත් නූලක් ගැටගහගත්තලු. දෙමල මනුස්සයා වාහනේ කෝවිලට ගෙනියලා සුක්කානමේ පඬුරක් ගැටගැහුවලු. එහෙම කරලා ඒ දෙන්නා ඇවිත් අර මුස්ලිම් මනුස්සයාට කිවුවලු අපිනම් ආගමේ විදිහට ආශිර්වාදෙ ගත්තා දැන් උඹත් ආගමේ විදිහට කැමති දෙයක් කරපන් කියලා. මුස්ලිම් මනුස්සයා වැඩිය බල බල හිටියේ නෑ වාහනේ ගරාජ් එකකට ගෙනියලා බාස් කෙනෙකුගෙන් යකඩ කපන කතුරක් ඉල්ලගත්තලු. එහෙම ඉල්ලගෙන මිනිහ වාහනේ දුම් බටෙන් අඟලක විතර කෑල්ලක් කපලා දැම්මලූ. ඔන්න ඉතින් බ්ලොගේට දැම්ම කතාව මතක් උන වෙලාවේ.
Thursday, June 12, 2014
මෙට්‍රික් ක්‍රමයට හැරිච්ච කාලේ මතක කාටද?
මේ කතාව මම අහපු එකක්. නමුත් ඔය දේවල් වෙච්චි කාලේ මම ඉපදිලත් නෑ. සමහර විට අපේ යාළුන්ගෙන් කාට කාට හරි මේ රසවත් සිද්ධිය මතක ඇති. ඔන්න ඉතින් මේකයි කතාව. ඔය කවුරු කවුරුත් දන්නවනේ මිනුම් ක්‍රම ගැන. ඒ වගේම වර්තමානයේ මිනුම් කටයුතු කරද්දී භාවිතා වන මෙට්‍රික් ඒකක භාවිතයට එන්න ඉස්සර වෙලා පාවිච්චි වුනේ පැරණි සීජීඑස් ක්‍රමය කියලත් ගොඩක් අයට මතක ඇති. ඒ කියන්නේ අපි හිතුවොත් උදාහරනයකට දිග මැනීම කියලා පැරණි ඒකක ක්‍රමයට යාර, අඩි, අඟල් තමයි භාවිතා වෙන්නේ. මෙට්‍රික් ක්‍රමයටනම් මීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර්. මුළු ලෝකෙම මෙට්‍රික් ක්‍රමයට ඒකක ගණනය කිරීම් සම්මත කරගන්නකොට ලංකාවෙත් මේ වැඩේ උනා. ඒ කාලේ අපේ රටෙත් පාසල් ළමයි ඇතුලු පිරිස් මේ ගැන විවිධ බැනර් ප්‍රදර්ශනය කරමින් බස් බොඩි වල ලියමින් හරි උනන්දුවෙන් මේ පණිවිඩේ රටටම ගෙනියන්න කටයුතු කළාලු. ඔන්න ඉතින් මෙහෙම බිත්ති වල බස් බොඩි වල ලියපු වදන් වැකි බොහොමයක සඳහන් උනාය කියන්නේ "අපිත් මෙට්‍රික් ක්‍රමයට හැරෙමු" කියන වාඛ්‍ය ඛණ්ඩය. ඔය අතරේ සමහරු විහිලුවට මේ වාක්‍යයේ "හැරෙමු" කියන කෑල්ලේ (හැ ) යන්න මැකුවලු. දැන් මේක කාටත් පෙනුනේ " අපිත් මෙට්‍රික් ක්‍රමයට රෙමු" කියලා. මේක ඒ කාලේ සෑහෙන විනෝදාශ්වාදයක් ඇතිකරපු සිද්දියක් වෙලා තිබුණ කියලත් ආරංචියි ඕං.
Tuesday, June 10, 2014
සිග්නල් හුටපටේ
මේකත් පුංචි රසකතාවක් ඕං. ඉතින් මෙන්න මෙහෙමයි සිද්ධිය. දවසක් එක්තාරා යාළුවෝ දෙන්නෙක් පොඩි පාටියකට ගිහිල්ල මත්පැන් එහෙම ටිකක් විතර සප්පයම් වෙලා ලාවට වැදිල ඉන්න වෙලාවේ යන්න පිටත් උනාලු. ඒ වෙනකොට තරමක් රෑ බෝවෙලයි තිබුණේ ඔන්න. ඉතින් දෙන්නත් එක්ක යන්න පිට ටුනේ එක යාළුවෙකුගේ කාර් එකෙන්. ඔන්න ඉතින් ටික දුරක් වාහනේ පදවගෙන යනකොට පොඩි අකරතැබ්බක් උනාලු මගදි. උනේ හදිසියේම හෙඩ් ලැයිට් ක්‍රියා විරහිත වීම. සමහර විට ෆියුස් පිච්චෙන්න ඇති. හේතුව මොක උනත් දැන් දෙන්නට ගානට වැදිල හින්ද ලෙඩේ හොයන්නත් අමාරුයි. දැන් ඉතින් මොකද කරන්නේ?. ඔන්න එක්කෙනෙකුට පොඩි අදහසක් පහල උනා. මිනිහා කිවුවා කාර් එක එලවගෙන ගිය යාළුවාට අපි යන දිහාවටම යන වෙන වාහනයක් පස්සෙන් යමු කියලා. අනෙක් යාළුවත් ඒක අනුමත කරලා දෙන්නම දැන් ඒ පැත්තට යන වාහනයක් පස්සෙන් ඒගොල්ලන්ගේ කාර් එකත් එලවගෙන ගියා ඕං.
ඔන්න ඉතින් කිසි කරදරයක් නැතිව වාහනේ එලවපු යාළුවා බොහොම සාර්ථකව අර ඉදිරියෙන් යන වාහනේ ෆලෝ කරා. මෙහෙම ඒ වාහනේ පස්සෙන් සෑහෙන දුරක් ගියාට පස්සේ ඔන්න අර ඉස්සරහෙන් ගිය වාහනේ එක පාරටම නැවැත්තුවාලු කිසිම සිග්නල් එකක්වත් නොදී. සිග්නල් ඉතින් බ්රේක් තමයි. ඒත් පස්සෙන් ගිය යාළුවෝ දෙන්නට පොඩ්ඩක් වැදිල හින්ද මේ කිසිදෙයක් එච්චර ගානක් නෑ. හිටපු ගමන් මේ වෙච්ච වැඩේට වාහනේ එලවපු යාළුවට පොඩි කේන්තියකුත් ආවා. මිනිහා කාර් එකෙන් බැහැලා අර ඉස්සරහ වාහනේ එලවපු මනුස්සයගෙන් ඇහුවලු තමුසේ මොකද ස්ලෝඩවුන් සිග්නල් එකක්වත් අතින්හරි දාන්නේ නැතුව එකපාරට වාහනේ නැවැත්තුවේ කියලා. දන්නැද්ද ඉතින් ඩෝප් ගතියත් තිබුනනේ. මෙහෙම අහද්දී අර ඉස්සරහ වාහනේ මනුස්සයා ඇහුවලු. යකෝ මගේ ගෙදර මිදුලේ මගේ වාහනේ නවත්තන්න තමුසෙලට සිග්නල් දෙන්නේ මොන මගුලටද කියලා. බැලින්නම් අර දෙන්නා ඉස්සරහින් ගිය වාහනේ පස්සේ ඒ මනුස්සයාගේ ගෙදරටම ගිහිල්ලා.
Thursday, June 5, 2014
ලිංගික උපදෙස් වැඩසටහනක රසකතාවක්
ඔන්න දවසක් දා වෛද්‍ය කණ්ඩායමක් සාමාන්‍ය ජනයා සහභාගී කරවාගෙන ලිංගිකත්වය ආශ්රිත ගැටළු ආදිය සාකච්ඡා කරන වැඩසටහනක් පවත්වන්න තීරනය කළාලු. ඔන්න ඉතින් දිනයක් යොදාගෙන සැලසුම් කරපු විදිහටම මේ අය වැඩසටහන පටන්ගත්තා. මේ වැඩසටහනට බොහොම උනන්දුවෙන් කට්ටිය සහභාගී වෙලත් තියෙනවා. ඉතින් වැඩසටහන පටන්ගෙන බොහොම සුහදශීලීව මේ වැඩසටහනට සහභාගී වූ අයත් එක්ක අදහස් හුවමාරු කරගනිමින් වෛද්‍ය උපදේශන කණ්ඩායමත් බොහොම සාර්ථකව කටයුත්ත ඉදිරියට කරගෙන ගියා.
ඔන්න මෙහෙම වැඩසටහන කරගෙන යද්දී ප්‍රජනනය ගැන දැනුම ලබාදෙන කොටසට අවතීර්ණ උනා. උපදේශන මඩුල්ල ප්‍රජනන ක්‍රියාවලිය ගැන විස්තර කරන ගමන් අදාල දේශනය පවත්වපු වෛද්‍ය නිලධාරියා, කාන්තාවක් ගැබ්ගැනීමට හා දරුවෙකු ලැබීමටනම් අනිවාර්ය ලෙසම පිරිමියා ඇය සමග යෝනි මාර්ග සංසර්ගයේ යෙදියයුතු බවත් කිසිවිටක ගුද මාර්ගික සංසර්ගයෙන් දරුවන් නොලෑබෙන බවත් කියමින් ඒගැන කරුණු පැහැදිලි කළාලු. ඔන්න බොලේ මේක අහගෙන හිටපු එක වැඩිහිටි පුද්ගලයෙක් විහිලුවටද මන්දා ඇහුවලු එහෙම කොහොමද වෙන්නේ, ගුද මාර්ග සංසර්ගයෙන් ළමයි හම්බවෙන්න බැරිනම් කොහොමද මේ රටේ මෙච්චර දේශපාලකයෝ ඉන්නේ කියලා. අපේ රටේ සමහර දේශපාලකයන්ගේ වැඩ දැක්කහමනම් කතාව ඇත්තද කියලත් හිතෙනවා. ඉතින් මතක් වෙච්ච වෙලාවේ හිනා කතාව බ්ලොගේ දැම්ම ඕං.
ඔන්න මෙහෙම වැඩසටහන කරගෙන යද්දී ප්‍රජනනය ගැන දැනුම ලබාදෙන කොටසට අවතීර්ණ උනා. උපදේශන මඩුල්ල ප්‍රජනන ක්‍රියාවලිය ගැන විස්තර කරන ගමන් අදාල දේශනය පවත්වපු වෛද්‍ය නිලධාරියා, කාන්තාවක් ගැබ්ගැනීමට හා දරුවෙකු ලැබීමටනම් අනිවාර්ය ලෙසම පිරිමියා ඇය සමග යෝනි මාර්ග සංසර්ගයේ යෙදියයුතු බවත් කිසිවිටක ගුද මාර්ගික සංසර්ගයෙන් දරුවන් නොලෑබෙන බවත් කියමින් ඒගැන කරුණු පැහැදිලි කළාලු. ඔන්න බොලේ මේක අහගෙන හිටපු එක වැඩිහිටි පුද්ගලයෙක් විහිලුවටද මන්දා ඇහුවලු එහෙම කොහොමද වෙන්නේ, ගුද මාර්ග සංසර්ගයෙන් ළමයි හම්බවෙන්න බැරිනම් කොහොමද මේ රටේ මෙච්චර දේශපාලකයෝ ඉන්නේ කියලා. අපේ රටේ සමහර දේශපාලකයන්ගේ වැඩ දැක්කහමනම් කතාව ඇත්තද කියලත් හිතෙනවා. ඉතින් මතක් වෙච්ච වෙලාවේ හිනා කතාව බ්ලොගේ දැම්ම ඕං.
Sunday, June 1, 2014
සැමියගේ පටලැවිල්ල
ඔන්න තවත් පොඩි රසකතාවක් කියන්නයි මේ සූදානම. මේකත් වෙලා තියෙන්නේ ටිකක් ඈත ගමක. ඔන්න මෙහෙමයි සිද්ධිය ඕං. මේ ගමේ කසිප්පු ගුබ්බෑයමක් පටන්ගෙන කරගෙන යන්න පටන්ගත්තලු ටිකක් මදාවි වැඩ කරපු මනුස්සයෙක්. මේ වැඩෙත් එක්ක ඉතින් ගමේ මිනිස්සු මතට පුරුදු වෙන්න පටන්ගත්තා. ඔන්න ඉතින් ඒත් එක්කම ගැමියන්ගේ ආර්ථික තත්වය වගේම සෞඛ්‍යතත්වය වගේ දේවලුත් ටිකෙන් ටික පිරිහෙන්න ගත්තේ ඉබේටම. ඔක්කොටම වඩා පවුල් ප්‍රශ්න ආරවුල් වැඩි වෙච්ච එක ගමටම හිසරදයක් උනාලු.
දැන් ඉතින් මේක ගමේ ගෑනු උදවියට හොඳටම දැනෙන්න පටන් අරගෙන. ගමේ ගොඩ දෙනෙකුට මේ තත්වය හිසරදයක් වෙලා මේකට පිළියමක් කරන්න එක එක සැලසුම් කරා. මේ අතර ගමේ කුලඟන සමිතිය ඇතුලු කාන්තා සමිති වලිනුත් එක එක යෝජනා ගෙනැත් පවුල් ප්‍රශ්න වලදී කාන්තාවන් කෙසේ ක්‍රියා කළයුතුද කියන එක සාකච්ඡා කරන්න පොඩි රැස්වීමක් කැඳෙවුවලු ගමේ ගෑනු උදවිය එකතු කරගෙන.
ඉතින් රැස්වීම පටන් අරගෙන එක එක ප්‍රශ්න කතා කරලා තම තමන්ගේ ස්වාමි පුරුෂයන් එක්ක රණ්ඩු වෙන්නේ නැතිව හැකි තරම් මේ ගැටළු විසඳගන්න පුළුවන්නම් ඒකට මුල් තැනක් දෙන්න කට්ටිය තීන්දු කරගත්තලු. මේ අතරේ රැස්වීමේ මුලසුන ගෙන කතා කළ ගෑනු කෙනා කිවුවලු මේවගේ ප්රශ්නවලදී සැමියාට ආදරයෙන් කතා කර ප්‍රශ්න විසඳාගන්න උත්සහ කරන්න කියලා. ඔන්න බොලේ මේක කිවුව ගමන්ම වැඩසටහනට සහභාගි වෙලා හිටපු එක ගෑනු කෙනෙක් නැගිටලා කිවුවලු සැමියා ගැන මම බලාගන්නම් මේ ගමේ ඉන්න අනෙක් පත්තිතිනි අම්මලා එයාට ආදරෙන් කතා කරන්න ඕන නෑ කියලා. දැන් සංවිධායක මඩුල්ලම බැලුවලු මොකක්ද මේ හතර බීරි කතාව කියලා. බැලින්නම් මේකයි සිද්ධිය. අර සැමියා ගැන එයා බලාගන්නම් කියලා කියලා කියපු ගෑනු කෙනාගේ මනුස්සයගේ නම "සැමී" ලු. ගමේ අය මිනිහට කියන්නේ "සැමිය" කියලා හරියට නිකම් නලීන් අයියට නලියා කියනවා වගේ. ඉතින් මේ ගෑනු කෙනා අර කතාව වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ "සැමියා" කියලා හැමෝම කියන එයාගේ මනුස්සයට ආදරෙන් කතා කරන්න කියලා ගමේ ඔක්කොම ගෑණු අයට කිවුවා කියලා. කොහොමෙන් කොහොමෙන් හරි කතාව පත්තරේටත් ගියා ඕං. රසවත් සිද්ධියක් මතක් වෙච්ච වෙලාවේ මමත් ඒක බ්ලොගේ දැම්මා අපේ යාළුවො සේරටම කියවල ටිකක් හිනා වෙන්න.
Thursday, May 22, 2014
පොල් ගහට ධාතු වැඩලා
ඔන්න එක්තරා ගමක ජීවත් වෙච්ච සාමාන්‍ය ගම් වැසියෙක් හිටියා ඒ තරම් වත්කමක් නැති. ඉතින් මේ මනුස්සයාට හරිහමන් රස්සාවක් කියල දෙයක් තිබිලත් නෑ. ඔහේ දවස ගෙවාගන්නේ එදාට මොනව හරි කුලී වැඩක් කරලා. කුලී වැඩනම් කොච්චර කියලා කරන්නද? ඇරත් පවුල් කාරයෙක් උන ඒ මනුස්සයා කුලී වැඩ වලින් හම්ම්බ වෙන සොච්චම් මුදල ජීවත් වෙන්න කොහෙත් ම ප්‍රමාණවත් උනේ නෑ. ඉතින් මේ වගේ අයට මොනව හරි අමතර ආදායමක් තියෙන්නත් එපායෑ. ඔන්න මෙයාටත් අමතර ආදායම් මාර්ගයක් තිබුණා. ඒ තමයි හොරාට පොල් කඩන එකැ. මොනව කරන්නද ඉතින් ජීවත් වෙන්නත් ඕනේ නිසා මිනිහා ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් විදිහට මේක තෝරාගත්තා. ඇරත් නිකම් පොල් වේලිලා වැටිලා ප්‍රයෝජනයකට නැති වෙන එකත් එක්ක බලපුවාම මේ වැඩෙ කාට හරි ප්‍රයෝජනවත් නේ. එහෙමයි කියලා මම මේ හොරකම හරි කියනව එහෙම නෙවෙයි ආයිබොවන්ඩ. එහෙමට කියලා ප්‍රශ්නයක් නැති උනත් වත්තේ පොල් ගස් එකක් දෙකක් තියෙන මිනිස්සු දවසේ උවමනාව සපුරාගෙන බෙදාහඩාගන්නෙත් ගහේ ඵලදාවම නිසා අර මනුස්සයාගේ පොල් හොරකම ඒ වගේ අයට ටිකක් දැනෙන මට්ටමේ එකක් උනා.
ඔන්න ඉතින් අර පොල් හොරකමේ යන මනුස්සයා රාත්‍රී කාලයේ තමයි අමතර රාජකාරියට බහින්නේ. මේ වෙනකොට ගමේ කීපදෙනෙකුටම ඔය වැඩේ කරදරයක් වෙලා තිබිලත් තියෙනවා. එහෙමට මේක කරදරයක් වෙච්චි එක මනුස්සයෙක් පොල් හොරා අල්ලගන්න ක්‍රමයක් කල්පනා කරාලු. අර පොල් හොරා හැමදාම වගේ එකම වෙලාවට තමයි පොල් කඩන කාර්ය කරල තියෙන්නේ. ඉතින් ඔරා අල්ලන්න ගිය පොල්ගස් අයිතිකාරයට වැඩේ පහසු උනා. දවසක් පොල් හොරා එන වෙලාව මතක තියාගෙන ඉඳලා වත්ත අයිති කාරයා හෙමීට එලියට බැහැලා ටෝච් එකකුත් ඉනේ ගහගෙන. මිනිහා ගිහින් හොර රහසේ වත්ත අයිනේ පඳුරක් යටට වෙලා වත්තේ හතර මායිම ගැන හෝදිස්සි කළා. ඔන්න කිවුවත් වගේ පොල් හොරා වෙලාවටම ඇවිල්ලා වටපිට බලලා වත්තට ඇතුල් උනා. ඇතුල් වෙලා හොඳ ඵලදාවක් තියෙන ගහක් බලලා හෙමීට ගහට නගින්න පටන්ගත්තා. අයිතිකාරයා හෙමීටම මේක බලාගෙන ඉඳලා ගහට කිට්ටු කළා. හැබැයි ගහේ බාගයක් දුර නැගල හිටපු පොල් හොරාත් අයිති කාරයා ගහ යටට එනවා දැක්කලු. දැන් ඉතින් මොකද කරන්නේ? වැඩේ අතටම මාට්ටු. පොල් හොරාට අපූරු අදහසක් ඔලුවට ආවේ ඔය අතරේ. මේ ගමේ ගොඩක් අය හොඳ සැදැහැවත් පිංවතුන් කියලත් මිනිහට මතක් උනා. මිනිහා එක පාරටම අනේ සාධු සාධු කියකියා ගහේ ඉතිරිටිකත් නගින්න තියාගත්තා හෙන සාධුකාරයක් දීගෙනම. පොල් ගස් අයිතිකාරයට මේක හෙන ප්‍රෙහෙලිකාවක්.
අයිතිකාරයත් අතඇරියේනෑ. අර මනුස්සයා ගහෙන් බහිනකම්ම හිටියා. මිනිහා ගහෙන් බැස්සෙත් සාධුකාරය දීගෙනමයි. බැහැලා ගහ මුලට එනකොටම අයිතිකාරයා මිනිහා අල්ලගත්තා. අල්ලන ඇහුවලු පොල් හොරකමේ ආවේ ඇයි කියලා. පොල් හොරා ඩුන්න අපූරු උත්තරේට වත්ත අයිතිකාරයාටත් සිනා පහල උනේ ඉබේට. පොල් හොරා කිවුවලු පොල් ගහට සර්වඥ්ඥ ධාතු වඩිනවා මිනිහා දැකලා ධාතු වඳින්න ගහට නැග්ගයි කියලා. අනේ ඉතින් මේ ගොබිලා ගමේ මදාවි වැඩ නොකරන තලත්තෑනි අහින්සකයෙක් නිසා අයිතිකාරයත් ආයේ පැත්තපලාතේ හොරකමේ එන්න එපයි කියලා අඩපාලි කියලා මිනිහව අතඇරලා. හැබැයි ඉතින් මේ සිද්ධියෙන් පස්සේ තව වැඩක් වෙලා. ඒ තමයි සිද්ධිය ගම පුරා ආරංචි උනාට පස්සේ අර පොල් හොරකමේ ගිය මනුස්සයා පාරේ තොටේ දකිනකොට පොඩි එවුන් තරුණ කොල්ලෝ එහෙම "අනේ සාධු සාධු දාතු වැඩලා" කියලා කියනවලු. අරමනුස්සයාට සුද්ද සිංහල තමයි එවලෙට මතක් වෙන්නේ. ඔන්න ඉතින් ගමක වෙච්ච රසවත් සිද්ධිය මේ විදිහට ලියල දැම්මා විනෝදෙටත් එක්ක.
Subscribe to:
Posts (Atom)

















